UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිදහස් සටනට පණදුන් යතිවරයන් වහන්සේ

ශාස්ත්‍රවේදී පණ්ඩිත

අමුණුපුර පියරතන හිමි

රටක නිදහස් චින්තනය ප්‍රකාශනය වන්නේ එරට අධ්‍යාපනයෙනි. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ආරම්භ කළ විද්‍යෝදය පිරිවෙනින් බිහි වූ ගිහි පැවිදි උගතුන් රැසක් නිසා ලංකා ජාතික නිදහස් චින්තනයේ ආලෝකය දසදෙස විහිදෙන්නට විය. ක්‍රි. ව. 1875 දී රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාලෝක මාහිමියන් විසින් පෑලියගොඩ ආරම්භ කළ විද්‍යාලංකාර පිරිවෙනද නිදහස යනු චින්තන මාත්‍රයක් නොව ප්‍රගතිශීලි ජාතියක් විසින් ක්‍රියාවෙන් ලද යුතු යථාර්ථයක් බව රටට පෙන්වා දීමට මුල් වූ අධ්‍යාපන ආයතනයක් විය. භාරතීය නිදහස් සටන පිළිබඳ චින්තනයෙන් ප්‍රාණවත්වූ ගිහි පැවිදි උතුමන් රැසක් පියවර කීපයක් පෙරට තබා ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන්ගේ් නපුරු අවි ආයුධ අක්‍රිය කළහ.

ශී‍්‍රලංකාව; ධර්මද්වීපය ඉන්දියන් සාගරයේ මුතු ඇටය, තම්බපණ්ණි යන ප්‍රසන්න නම් වලින් ප්‍රකටව පැවැති අයුරු ද, මෙම භූමියට ගිජු වූ විදේශීය ආක්‍රමණිකයන් ලංකා රාජ්‍යය අල්ලා ගන්නට ප්‍රයන්ත දැරූ සෑම මොහොතකම සිරිලක් වැසියන් සටන්කොට ඔවුන් පලවා හළ අයුරු ද, ඉතිහාසය පුරා දක්නට ලැබෙයි. එවැනි ගිහි පැවිද උතුමන් රැසකගේ චරිතාපදාන වලින් ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රභවත් වී ඇත.

අට වැනි වීරපරාක්‍රම රජු දවස (ක්‍රි.ව.1505 දී) පෘතුගීසීන් ලක්දිවට පා තැබීමත්, ක්‍රමයෙන් ආක්‍රමණශීලීව කෝට්ටේ රාජ්‍යය අල්ලා ගැනීමත් ලංකා ශිෂ්ටාචාරයේ විශාල පරිවර්තනයකට හේතු විය. ක්‍රි.ව. 1602 දී ලන්දේසීන්ගේ පැමිණී ම ද, යළි ක්‍රි.ව 1763 දී ඉංගී‍්‍රසීන්ගේ පැමිණීම ද, ලාංකිකයන්ගේ දැඩි අසහනයට, ගුණාත්මක පරිහානියට, සමඟිය නැති වීමට, රාජ්‍ය පාලනයේ ව්‍යාකූලත්වයට මෙන්ම ජාතික ව්‍යසන රැසකට ද හේතු විය. එයින් ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන් ගේ පාලන බලය මෙහි කලක් තහවුරු වූ අතර, සිංහල රාජ්‍ය බලය එකල දුර්වල විය. ක්‍රි.ව. 1803 දී උඩරට රාජ්‍යය ආක්‍රමණය කළ ඉංගී‍්‍රසි පාලකයන් ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රටින් පිටුවහල් කිරීමත් ගිවිසුමකින් ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් කිරීමත් සිදුවිය.

උඩරට ගිවිසුමෙන් එසේ රට ඉංගී‍්‍රසි අධිරාජ්‍යයට පාවාදීම නිසා ලක්දිව පුරා කැරැලි කෝලාහල ඇති විය. දෙපක්ෂය විසින් ගිවිසුම කියවා අත්සන් තබන්නට පෙරම එක් අවිනීත සොල්දාදුවෙක් ඉංගී‍්‍රසි කොඩිය එසවී ය.

සුදුහුම්පොල රජමහා විහාරයේ වැඩ සිටි වාරියපොල ශ්‍රී‍්‍ර සුමංගල නාහිමියන් එදා එසේ එස වූ ඉංගී‍්‍රසි කොඩිය බිම හෙළා පයින් පාගා ගිවිසුම අත්සන් කිරීමට පෙර එසේ කිරීමට ඉඩ නොදෙමි’ යි ප්‍රකාශ කළහ. මේ නිසා වාරියපොල ශ්‍රී‍්‍ර සුමංගල හිමි වීර නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවී මුවක් පාසා දිව ම තුරක් සේ සජීවී ව අදත් පවතින්නේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කිරීමෙන් ආරම්භ වූ, සීලයෙන්, ප්‍රඥාවෙන් සහ ගුණයෙන් ජනතාවට ආදර්ශයෙක් වූ මහ සඟ රුවන එදා සිට රජවරුන්ට අනුශාසනා කිරීම, ජනතා සන්තානය ලොවුතුරු ගුණයෙන් ප්‍රභවත් කිරීම මෙන්ම රට, ජාතිය සත්බුදු සසුන ආරක්ෂා කොට පෝෂණය කිරීම වැනි ලක් ජනතාවගේ සියලු ජනතා අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කළ ආකාරය වාසනාවක් ම විය.

අප දේශීයේ ස්වභාවය, සභ්‍යත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිව ඉංගී‍්‍රසින් විසින් සිදුකළ පාලනය නිසා ඇති වූ අපමණ කැරැලි කෝලාහලවලින් ක්‍රි.ව. 1818 දී ඇති වූ උඩරට කැරැල්ල ප්‍රධාන ය. මෙහි දී දඹුලු විහාරයේ ගිරානේගම චන්දජෝති හිමියන් ප්‍රධාන මහාසංඝරත්නය පුරෝගාමී වූ බව සඳහන් වෙයි. කුඩාපොල හාමුදුරුවන් වෙඩි තබා මැරවූයේ ද මෙම කැරැල්ල සම්බන්ධ වූ බව ප්‍රකාශ කරමිනි. භික්ෂුන් වහන්සේ ඉංගී‍්‍රසි පාලනයට පක්ෂපාත කර ගැනීමට නොහැකි වී ඒ පසුව ගම් පළාත්වල වැඩ සිටි ප්‍රධාන භික්ෂූන් වහන්සේ මර්දනය කිරීමට ඉංගී‍්‍රසි රජය, සොල්දාදුවන් මෙන්ම මිෂනාරී හු ද සියලු බලතල යෙදු නමුත් භික්ෂූන් වහන්සේගේ පෙර ගමන වළක්වන්නට එදා කවරකුට හෝ නොහැකි විය.

ඉංගී‍්‍රසි රාජ්‍ය පාලනයෙන් අක්‍රිය වූ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට ක්‍රි.ව. 1869 දී ලක්දිව ප්‍රථම බෞද්ධ පාඨශාලාව ආරම්භ කළ දොඩන්දූවේ පියරතන තිස්ස නායක හිමියන්ද; නිදහස සමරන මේ මොහොත් සිහිපත් කළ යුතු උතුම් බුද්ධ පුත්‍රයෙකි. බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වශයෙන් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ශ්‍රී නාමය ද යුග පුරුෂයකු වශයෙන් ලංකා සම්බුද්ධ ශාසනාම්බරයේ දීප්තිපත් තාරකාවක් වශයෙන් හා ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදයට අභියෝගයක් වශයෙන් එදා 19 වන සියවසේ දී ශ්‍රී‍්‍ර ලංකා ඉතිහාසයට එක්විය.

රටක නිදහස් චින්තනය ප්‍රකාශනය වන්නේ එරට අධ්‍යාපනයෙනි. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ආරම්භ කළ විද්‍යෝදය පිරිවෙනින් බිහි වූ ගිහි පැවිදි උගතුන් රැසක් නිසා ලංකා ජාතික නිදහස් චින්තනයේ ආලෝකය දසදෙස විහිදෙන්නට විය. ක්‍රි. ව. 1875 දී රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාලෝක මාහිමියන් විසින් පෑලියගොඩ ආරම්භ කළ විද්‍යාලංකාර පිරිවෙනද නිදහස යනු චින්තන මාත්‍රයක් නොව ප්‍රගතිශීලි ජාතියක් විසින් ක්‍රියාවෙන් ලද යුතු යථාර්ථයක් බව රටට පෙන්වා දීමට මුල් වූ අධ්‍යාපන ආයතනයක් විය. භාරතීය නිදහස් සටන පිළිබඳ චින්තනයෙන් ප්‍රාණවත්වූ ගිහි පැවිදි උතුමන් රැසක් පියවර කීපයක් පෙරට තබා ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන්ගේ නපුරු අවි ආයුධ අක්‍රිය කළහ. එසේම ඉතිරි බාධකය අභිබවා නිදහසේ ජයදද? නංවන්නට ලාංකිකයාට අවශ්‍යව තිබූ චින්තන ශක්තිය ලබාදීමට විද්‍යාලංකාර පිරිවෙන වැනි නිකේතන සමත්විය. බුදුසසුන සහ නිවැරැදි දේශපාලන ගමන්මඟ ජනතා සියලු අභිමතාර්ථ ඉටු කළ හැකි බලවේග දෙකක් බව ජනතාවට ප්‍රත්‍යක්ෂ කරදීමට විද්‍යාලංකාර වැනි පිරිවෙන්හි ඇඳුරුවරු සමත් වූහ.

බුදුසසුනේ සහ සිරිලක් වැසියාගේ ප්‍රගතියේ ගමන්මඟ වෙනස් කරන්නට යුරෝපීය පාලකයන් හා ක්‍රිස්තියානි දේවගැතිවරුන් ගත් ඇතැම් ප්‍රයත්න මානව හිමිකම් පිළිබඳ ව්‍යවස්ථා පවා අභිබවා ගිය බව ප්‍රකට ය. මේ නිසා දෙස, සසුන බස, ආරක්ෂා කරන්නට එදා සිටි අයට බලවත් ප්‍රයත්නයක් දරන්නට සිදු විය.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති, කොරතොට සෝභිත, ආදී මහාස්ථවිරයන් වහන්සේ බෞද්ධ නායකයන් හා එක්ව බෞද්ධ අධ්‍යාපනයන් නඟා සිටුවීමට, බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට මෙන්ම ලක්බිම ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් කර ගැනීමට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කළහ.

වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ පාණදුරාවාදය; බෞද්ධ භික්ෂූන් වහන්සේට සහ ජනතාවට නිදහස්ව, නිවහල්ව නිර්භවය ජාතික නිදහස් මගෙහි ගමන් කරන්නට සහ ආගම, ජාතිය, සභ්‍යත්වය පිළිබඳ අභිමානයෙන් ක්‍රියා කිරීමට නව ජීවයක් ලබාදීමට හේතු විය.

කිතුදහම, සිංහල ජාතියට බලයෙන් පිළිගැන්වීමට ප්‍රයත්න දැරීමෙන්, ලංකා ශිෂ්ටාචාරය පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවන්නට විය. රාජ්‍ය පාලකයන් හා පූජකයන් විසින් අනර්ථකාරී නීතිරීති සකස් කිරීමත්, දේශීය ඇතැම් ජනයා වෙනස් මඟක ගමන් කිරීමත් නිසා, සමඟිය සමාදානය තුරන් විය. රටේ නොයෙක් ප්‍රදේශවල කැරැලි නායකයන් බිහි විය. මෙම අවිචාර සමයේ දී නාගරික ඇතැම් ධනවත් පුද්ගලයෝ ක්‍රිස්තියානි පරිසරයේ හැදීවැඩී දේශීයත්වය පහත් කොට සැලකූහ.

විචාර බුද්ධියෙන් ජනතාව පෙළගස්වා, අධිරාජ්‍යවාදී පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගෙන අභිමානවත්  ‍ෛස්වරී රටක් බිහිකිරීමට එදා වැඩ සිටි මහා සංඝරත්නය හැම අතින්ම මූලික වූ බව, පැහැදිලි ය.

එදා ජනතාවට නිදහසේ වටිනාකම වටහාදීමට පැළෑනේ වජිරඤාණ මාහිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් විය. බුදු දහමත්, බෞද්ධ ශිෂ්ටාචාරයත්, දේශීය ජනතාවගේ අනර්ඝතම සම්පත්බව සිත්ගන්නා බසින් පැහැදිලි කොට, උන්වහන්සේ ජනතාව ප්‍රබෝධමත් කළහ. එමෙන්ම, විවිධ භාෂාඥානයෙන් බෞද්ධ දර්ශනය සහ සමයාන්තර අදහස් චතුර ලෙස දේශනා කිරීමට සමත් පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කළ පැලෑනේ වජිරඤාණ මාහිමියන් වහන්සේ, රට, දැය, සමය ආරක්ෂා කොට පෝෂණය කිරීමෙහිලා ලංකා ඉතිහාසයේ ලිය වී ඇත. කැප වූ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස ලංකා ඉතිහාසයේ ලියැවී ඇත.

ධීර - වීර- ශූර බුද්ධ පුත්‍රයන් වහන්සේ හැටියට අනගාරික ධර්මපාල හිමි, කලුකොඳයාවේ පඤ්ඤාසේකර මාහිමි, උඩකැන්දවල සිරි සරණංකර හිමි, ඇස්. මහින්ද හිමි යන පැවිදි උතුමන්ගේ නම් අප පුන පුනා සිහිපත් කළයුතු වන්නේ, ලංකා මාතාව නිදහස් කර ගැනීමට අවංක චේතනාවෙන් හා පරමාදර්ශයෙන් ඔවුන් වහන්සේ ක්‍රියාකළ බැවිනි.

එසේ වූ කවි බස තම අවිය කරගෙන නිදහස පිළිබඳ හැඟීම් කිරි දරුවාගේ පටන් තරුණ මහලු සැම දෙනාගේම සන්තානගත කොට ලංකා මාතාවට තිරසර ජීවයක් ලබා දුන් ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගේ නාමය, පරපුරෙන් පරපුරටම අමරණීය වන්නේය. සාහිත්‍යයේ පරමාර්ථය වන්නේ කාලීන සමාජ අවශ්‍යතා ඉටු කිරීම යි. ලාංකිකයන්ගේ ඇතුළාන්තයට භාව්‍යෝත්පාදක බසකින් නිදහස පිළිබඳ සිතිවිලි ප්‍රවේශ කරන්නට, මහින්ද හිමියන් පෙරමුණ ගත් බව, මෙවැනි කවි වලින් පැහැදිලිව පෙනී යයි.

බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස

සිතව් සිහල ජාතියෙ පෙර පැවැති යස

නගව් තව තවත් තිරසර තරුණ ගොස

වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස

ඇස්. මහින්ද හිමියන්ගේ වචන විරිත සමග සංකලනනය වූ එවැනි නිර්මාණ එකල පාඨකයා තුළ නිදහස පිළිබඳ ප්‍රබල හැඟීම් ජනිත කිරීමට සමත් වූ බව පෙනී යයි.

 

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]