UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මකර රුව සහ මකර තොරණ

සඳකඩ පහණ, කොරවක්ගල, මුරගල මෙන්ම මකර රුව සහ මකර තොරණට ද බෞද්ධ කැටයම් කලාවේ සුවිශේෂ ස්ථානයක් හිමිවන බව පැවසුවොත් එහි වරදක් නැත. ඒ තරමටම එය බෞද්ධ කැටයම් ශිල්පියාගේ කලා කෞශල්‍යය මෙන්ම බෞද්ධාගමික ලැදියාව මොනවට කියාපාන  නිර්මාණයකි. විශේෂයෙන් මකර රූපය මෙරටට හඳුන්වාදීමත් සිදුවූයේ මහින්දාගමනයෙන් පසු බව පිළිගැනීමට සිදුවේ.

මකරාගෙන් නිරූපිත සංකල්පයන් පිළිබඳව විමසිල්ලෙන් බැලීමේදී මකර රුව සහ මකර තොරණ ඉදිකිරීමේ දී කුමන අදහසක් පදනම් කොටගෙන සිදුකළේ ද යන්න සලකා බැලිය යුතුව තිබේ. ජලයට ධිපතිත්වය දරන වරුණ දිව්‍යරාජයාගේ වාහනය වන්නේ මකරායි. ඒ අනුව ජලාශ අසළ මකර රුව සහිත මකර තොරණින් මුරගල් අනුරාධපුරයේ අභයගිරියේ හමු වී ඇත.

සඳකඩ පහණ, කොරවක්ගල, මුරගල මෙන්ම මකර රුව සහ මකර තොරණට ද බෞද්ධ කැටයම් කලාවේ සුවිශේෂ ස්ථානයක් හිමිවන බව පැවසුවොත් එහි වරදක් නැත. ඒ තරමටම එය බෞද්ධ කැටයම් ශිල්පියාගේ කලා කෞශල්‍යය මෙන්ම බෞද්ධාගමික ලැදියාව මොනවට කියාපාන නිර්මාණයකි.

විශේෂයෙන් මකර රූපය මෙරටට හඳුන්වාදීමත් සිදුවූයේ මහින්දාගමනයෙන් පසු බව පිළිගැනීමට සිදුවේ. වෙහෙර විහාරස්ථානවල ප්‍රවිෂ්ට දොරටුවේ, විහාර මන්දිර අබියස, බෝධීන් වහන්සේගේ ප්‍රවිශ්ට ද්වාරය කොරවක්ගල් හි මෙම මකර රුව හෝ මකර තොරණ ඒ අනුව නිර්මාණය කෙරිණ. ක්‍රි.පූ. තුන්වැනි සියවසින් ද ඔබ්බට විහිදී යන මෙම මකර රුව ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බව ඉන්දියාවේ සාංචි, භාරුත්, බුද්ධගයා, යන ස්ථානවල දක්නට ලැබෙන කැටයම් කලාවෙන් අනූන වූ එකී නිර්මාණ දෙස බලන විට පෙනී යයි. අද දක්නට ලැබෙන නූතන මකර රූපය දක්වා ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් මකර රුව ක්‍රමික විකාශනයකට ලක් වෙමින් එදා මෙදාතුර පැවතෙමින් එන බව මෙහි ලා සඳහන් කළ යුතු ය. මකරාගෙන් සංකේතවත් වන්නේ කාලය බව විද්වත් මතයයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ප්‍රකාශ කරන්නේ කාලය විසින් සියලු දෑ විනාශ කරන නිසා මකරා තුළින් ඒ අදහස සංකේතවත් වන බව පිළිගත හැකි බවයි.

මකරාගෙන් නිරූපිත සංකල්පයන් පිළිබඳව විමසිල්ලෙන් බැලීමේදී මකර රුව සහ මකර තොරණ ඉදිකිරීමේ දී කුමන අදහසක් පදනම් කොටගෙන සිදුකළේ ද යන්න සලකා බැලිය යුතුව තිබේ. ජලයට අධිපතිත්වය දරන වරුණ දිව්‍යරාජයාගේ වාහනය වන්නේ මකරායි. ඒ අනුව ජලාශ අසළ මකර රුව සහිත මකර තොරණින් මුරගල් අනුරාධපුරයේ අභයගිරියේ හමු වී ඇත. අභයගිරියෙන් හමුවූ එබඳු මුරගලක කිහිඹි මුහුණ හෙවත් කීර්ති මුඛය සහිත මකර රූපය දැක ගත හැකි ය. එහි ඇති තවත් මුරගලක ලියවැල් කැටයම් කරන ලද මකර රූප හමුවේ. තවද එහි සිංහ හා ගව රූ ඇසුරින් නිර්මාණය කරන ලද මකර තොරණක් ද දැක ගත හැකි ය. රත්න ප්‍රාසාද මුරගලෙහි එබඳු ආකාරයේ මකර තොරණක් අපට හමුවේ. මෙම රත්න ප්‍රාසාදයේ හමුවී ඇති මුරගලෙහි වූ මකර රූපය අතිශයින් අලංකාර පෙනුමක් ගෙන දෙන අතර දෙපසට මුව අයාගෙන සිටින මකර රූ දෙකක් සහ ඉහළට මුව අයාගෙන සිටින මකර රූ දෙකක් ද දැකිය හැකි ය. වාමන රූප වැලක් මකර මුඛ සතර සම්බන්ධ කර තිබේ.

විශේෂයෙන් මහනුවර යුගයේ විහාරස්ථානවල මකර රුව සහිත මකර තොරණ නිර්මාණය කරන්නට ඇත්තේ වරුණ දෙවියන් ඇසුරින් බව අපට සිතිය හැකි ය. ඊට හේතුව නම් වරුණ යනු උපුල්වන් දෙවියන්වන හෙයින් මෙරට බුදු සසුන රැක බලා ගැනීමට බුදුන් වහන්සේ විසින් පවරන ලද්දේ උපුල්වන් දෙවියන්ට වන හෙයිනි. එමනිසා වරුණ හෙවත් උපුල්වන් දෙවියන් ගේ වාහනය වන මකරා සහිත මකර තොරණ මහනුවර යුගයේ විහාරස්ථාන වල විහාර මන්දිර ප්‍රවිෂ්ට ද්වාරයන්හි ආරක්‍ෂාව අපේක්‍ෂාවෙන් ඉදි කරන්නට ඇත. නිර්මාණකරුවා බුදුසසුනේ රැකවරණය පතා වරුණ දෙවියන්ගේ ආරක්‍ෂාව විහාර භූමියට ලබා දීම අදහස් කළා විය හැකි ය. ගම්පොළ යුගයේ පිළිම ගෙය තුළට මකර තොරණ පිවිසීමද මීට කදිම සාක්‍ෂියකි.

චිත්‍ර කලාව පිළිබඳව අර්ථ විවරණය කෙරෙන රූපාවලිය නම් සංස්කෘත ග්‍රන්ථය ප්‍රකාශ කරන්නේ මකර රූපයේ අඟපසඟ තුළින් කිසියම් සත්ව කොට්ඨාස කිහිපයකගේ අංග ලක්‍ෂණ නිරූපනය වන බවකි. ඒ අනුව ඇතකුගේ සොඬවැලක් ද, සිංහයකුගේ පාද ද, කිඹුලකුගේ දත් ද, වඳුරකුගේ ඇස් ද, ඌරකුගේ කන් ද, මත්ස්‍යයකුගේ කඳ ද ගුරුළුපියාපත්ද ඊට අමතරව විචිත්‍ර ලියකම් ද ඇතුළු කොට මකර රූපය නිර්මාණය කර ඇත.

ඒ බව රූපාවලියේ මෙසේ සඳහන් වේ.

“ගජේන්ද්‍ර හස්තං ධෘත සිංහ පාදං - කරාල දන්තංහනුමද්විනේත්‍රම්

වරාහ කර්ණං හෘදි මත්ශ්‍යදේහං - විචිත්‍ර පත්‍රං මකරස්වහාවම්” වශයෙනි.

මෙය හෙළ බසින් මෙසේයි.

“ඇත් සොඬ සිහ පා යුග කන් ඌරා

දත් පෙළ කිඹුලුය යුග නෙත් වඳුරා

වෙත් මසු ඇඟ ගුරුළගේ පිය පතරා

යුක්තය මේ හැම ගෙන් යුත් මකරා”

මෙලෙස සතුන් කිහිප දෙනෙකුගේ සංකලනයක් ලෙස මකර රුව සමන්විත වූයේ පොළොන්නරු යුගයෙන් පසුව බවපෙනේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව භාරතීය නිර්මාණවලද මකර රුව යොදා ගෙන ඇත්තේ මනඞකල්පිත තත්ත්වයකිනි. ඒ අනුව ඒ ඒ අංශ නියෝජනය වනු පිණිස මකරා යොදා ගෙන ඇති බව පෙනේ. මේෂ, වෘෂභ ආදී රාශි දොළොසින් දස වැන්න නම් කර ඇත්තේ ද ‘මකර’ යන නමිනි. හින්දු දේව කතා පුරාණයනට අනුව කාම දේවයා වන අනංගයාගේ කොඩියටද මකර රුව ඇතුළු කර ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ මඟුල් ලකුණු අතරට ද මකරා ‘ස්වර්ණ මකරා’ වශයෙන් ඇතුළු කර ඇති බව පෙනේ. අනුරාධපුර යුගයේ මකර රූපය වඩාත්ම යොදා ගෙන ඇත්තේ ආගමික ගොඩනැගිලි වල පියගැට පෙළ දෙපස කොරවක්ගල් වලය. සාමාන්‍යයෙන් මකරුන් වර්ග තුනක් ශ්‍රී ලංකාවේ කොරවක් ගල්වල දක්නට ලැබෙන බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ ශූරීහු පවසති. එනම් මත්ස්‍ය මකරා හිස මුදුනේ ගැටයක් සහිත මකරා, සහ එවැනි ගැටයක් නැති මකරා වශයෙනි.

මුල් අවධියේ දී බොහෝ විට කොරවක් ගලට ගෙන ඇත්තේ මත්ස්‍ය හිස පමණි. නමුත් පසුකාලීන වූ මකර තොරණ වල සම්පූර්ණ මකරා දක්නට ලැබේ. මත්ස්‍ය මකරා සහිත කොරවක්ගල් සහිත දොරටුවක් ජේතවනාරාමයේ ගොඩනැඟිල්ලක වෙයි. ඉන්දියානු මකරා මත්ස්‍යයකු ප්‍රභව කොට ගත් සතකු සේ සැලකිය හැකි ය.

මුල්කාලයේ සරල හැඩයක් ගත් කොරවක් ගල් පසුකාලීනව මකර මුඛයකින් විහිදෙන ලියවැල් සමූහයකින් සමන්විත අලංකාරවත් නිමවුමක් විය. ලියවැල මුලට එලෙස මකර කට එක් වූයේ කොරවක්ගල විකාශයේ සිව්වැනි පියවර වශයෙනි. එහිදී ලියවැල මකර දිව ලෙස දිස්වේ. ලියවැල මකර කටෙන් විහිදී යන ආකාරයට දැක්වීමෙන් කිසියම් සුන්දර වස්තුවක් වූවද විනාශය ප්‍රභවය කොට ගෙන ඇති බව දැක්වේ. මකරා විසින් කාලය සංකේතවත් කරන අතර කාලය විසින් සුන්දර වස්තු ගිල දමනු ඇත. රත්න ප්‍රාසාදයේ මුරගල ඊට හොඳ නිදසුනකි. අනුරාධපුර පමණක් නොව පොළොන්නරු නටබුන් අතර ද මකර රුව සහිත නිර්මාණ රැසකට අපට හමුවේ. පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රධාන බුදුරුව නෙළා ඇති ස්ථානයේ පිටුපස පර්වත මුහුණතේ තොරණක සැරසිල්ලක් අල්ප උන්නතව නෙළා ඇති අතර එහි සිරස් කුලුනු දෙකක් සහ තිරස් ස්ථම්භ දෙකෙළවර මකර මුඛ වලින් සරසා ඇත. ගල් විහාරයේම විද්‍යාධර ගුහාවේ නෙළා ඇති වැඩහුන් බුද්ධ ප්‍රතිමාවද එලෙස නිමවා ඇත. වජ්‍රාසනාරූඪව වැඩ හිඳින එම බුද්ධ ප්‍රතිමාව පිටුපසද නෙළා ඇති තොරණේ මකර මුඛ දක්නට ලැබේ.

පොළොන්රුව දළදා මළුව නමින් හඳුන්වන භූමි භාගයේ නිශ්ශංකමල්ල රජු විසින් නිම කරන්නට ඇතැයි සැලකෙන වටදා ගෙයට පිවිසෙන සෝපාන පංති හතරෙහි යොදා ඇත් කොරවක් ගල් වලද මකර මුඛ යොදා තිබේ. මේවා බොහෝ දුරට අනුරාධපුර කොරවක්ගල් හා සමාන බවක් පෙන්වන බව දැක්විය හැකි ය.

මකර තොරණ මකරුන් දෙදෙනකුගේ සංකලනයකින් නිර්මාණය වී ඇත. මකර තොරණේ මකරුන් දෙදෙනා සම්බන්ධ වන්නේ කීර්ති මුඛ නම් වූ භයංකාර පෙනුමක් ගෙන දෙන මුහුණකිනි. ඊශ්වර දෙවියා කීර්ති මුඛ ලෙස හැඳින්වේ. හින්දු දේව සංකල්පය අනුව එසේ සැළකෙන අතර කීර්ති ශ්‍රී රාජසිංහ වැනි නායක්කර් වංශික රජවරුන් මගින් මහනුවර සමයේ ඇරඹුණු විහාරස්ථානවල මෙම මකර තොරණ කිඹිසි මුහුණක් හෙවත් කීර්ති මුඛයකින් යුතුව ඉදිකරන්ට විය. ඒ අනුව විහාරස්ථාන වලට ඊශ්වර දෙවිඳුන්ගේ රැකවරණය පතා එලෙස මකර තොරණට කීර්ති මුඛය එක්කරන්නට ඇත. සුවිසල් වූ දෙනෙත් ද, දෙපසට දික් වූ දත් ද, කිඹිසි මුහුණද රෞද්‍ර බවක් පෙන්වයි. මකර හිස වටා ලියවැල් මෝස්තර දක්නට ලැබේ. දෙපස මකරුන්ගේ මුඛයෙන් පිටවන ලියවැල් හා සත්ව රූප කීර්ති මුඛය තුළට යන ආකාරය දැකුම්කලු ලෙස කැටයම් කර ඇත. ඇතැම් මකර තොරණවල කීර්ති මුඛය දෙපස හිරු සඳු රූපද, ඊට අමතරව දේව රූපද නිර්මාණය කර ඇත. මෙලෙස මකර රූපය දෙපස දේව රූප දැකිය හැකි විහාරස්ථානවලට නිදසුන් ලෙස ගඩලාදෙණිය හා ලංකාතිලක විහාරයන් දැක්විය හැකි ය.

මහනුවර යුගයේ මකර තොරණ විවිධ වෙනස්කම් වලට භාජනය වී විකාශය වූ බව අපි දනිමු. බොහෝ විට මකරා මුව ඉහළට අයාගෙන සිටින අයුරින් දැක්වූවද, දෙපසට මුව අයා සිටින මකර තොරණ ඉදිකළ අවස්ථා ද දැක ගත හැකි ය. රිදී විහාරයේ මකර තොරණේ මකර මුව තුළ සිංහ රූප දෙකක් ද, මකර මුඛ තුළට ඉහළින් දේව රූප හා තාපස රූපද විචිත්‍ර අයුරින් වර්ණවත් කර ඇත. ඊට අමතරව බෝගොඩ විහාරයේ මකර තොරණ ද ඉදිකර ඇත්තේ මකරා දෙපසට මුව අයාගෙන සිටින අයුරිනි. තවද, මකර තොරණ සඳහා මාධ්‍ය වශයෙන් මැටි පමණක් නොව ලී ද භාවිත කර තිබීම මහනුවර යුගයේ ඉදි කළ මකර තොරණේ දැක ගත හැකි ය. දළදා මාලිගයේ මකර තොරණ ගලින් ඉදිකර තිබෙනු දැක ගත හැකි ය.

තවද, ගම්පොළ හා මහනුවර යුගවල බුද්ධ ප්‍රතිමා සම්බන්ධ අනිවාර්ය වාස්තු විද්‍යාත්මක අංගයක් ලෙසින් ඉදි වූ මකර තොරණින් ප්‍රතිමා ගෘහයේ පසුතලය තුළින් උදාරත්වය, පෞරුෂය මොනවට ඉස්මතු කරවයි. උඩුනුවර ලංකාතිලක රජමහා විහාරයේ පිවිසුම් දොරටුවේ ඇති මකර තොරණ, මාහැඟි කලා නිර්මාණයක් ලෙස දැක්විය හැකි ය. ගඩලාදෙණියේ ප්‍රතිමා මන්දිරයේ ඇති මකර තොරණ ගඩොලින් තනා බදාමයෙන් නිමකොට වර්ණාලේප කර ඇත්තේ සෞන්දර්යාත්මක අගය වඩ වඩාත් නැංවෙන අයුරිනි.

මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වලට අනිවාර්ය අංගයක් ලෙසින් මකර තොරණ යොදන ලද බවට නිදසුන් රැසක් දැක්විය හැකි ය. ඒ අතර, කුරුණෑගල රිදී විහාරය, දඹුල්ල ලෙන් විහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගය සූරියගොඩ ශ්‍රී නරේන්ද්‍ර සිංහාරාමය, ලේවැල්ල ගංගාරාමය යන ස්ථානවල ඇති මකර තොරණ විශේෂයෙන් දැක්විය හැකි ය.

කුරුණෑගල රිදී විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිටුපස ඇති මකර තොරණ සාම්ප්‍රදායිත මකර තොරණට වඩා වෙනස් බවක් දක්වයි. එක් අතකින් එය පොළොන්නරුව ගල් විහාරයේ වැඩහුන් බුද්ධ ප්‍රතිමාව පිටුපස ඇති මකර මුඛවලට සමානත්වයක් දක්වයි.

මකර තොරණ සම්බන්ධයෙන් පළ කෙරෙන විද්වත් මත පිළිබඳව මඳක් සොයා බැලීම වැදගත් ය. මෙහිදී පරණවිතාන ශූරීන් විසින් ඉදිරිපත් කර ඇති මතය සැලකිල්ලට භාජනය කළ යුතුව තිබේ. ඒ අනුව මකර රූ දෙක හා කිඹිසි මුහුණෙන් (කීර්ති මුඛයෙන්) විනාශය අර්ථවත් කරවයි. සත්ව පේළිය, ලියවැල හා පද්මය මගින් සංසාර චක්‍රය සංකේතවත් කරවයි. මකරාගේ අංග වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංච උපාදානස්කන්ධයන් ද, හිරු සඳු මගින් දිවා රාත්‍රී දෙකද, දේව හා තාපස රූප මගින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ද, අර්ථවත් කෙරෙන බව පරණවිතාන මතයයි. මෙහි ඇතැම් මකර තොරණක දෙපස ඇති හිරු සඳු මඟින් සදාකාලික භාවය පිළිබිඹු කරවන බවද තවත් මතයකි.

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]