UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුන්දරත්වය දුටු බුද්ධියේ ඇස

පරිසරයෙන් ආශ්වාදය ලැබූ බුදුරදුන් ශ්‍රාවක තෙරුන් ද සමග නිතර වැඩ සිටියේ, ගිමන් හැරියේ සහ සැතපුණේ එළිමහනෙහි රුක් මුල් වල ය. බුදුරදුන්ගේ වාසස්ථාන වූයේ රුක් මුල්, වන සෙනසුන්, පාළු සොහොන් බිම් ආදී ස්ථාන යි. උන්වහන්සේ භික්‍ෂූන්ට සිවුරු සකස් කරගන්නා ලෙස අනුදැන වදාළේ මගධ කෙත් යායේ ස්වරූපය අනුව යි.

සෞන්දර්යය යනු, සුන්දර බවයි. ගිහි පැවිදි දෙපක්‍ෂයටම තම ජීවිතය සුවදායක එකක් කර ගැනීමට සෞන්දර්ය අවශ්‍ය ය. බුදු දහම ලෝකෝත්තර මෙන්ම ලෞකික සුවය සඳහා ද මඟ පෙන්වා ඇත. සතුට පී‍්‍රතිය, වින්දනයකි. එය අකුසලයක් නොවේ. තෘෂ්ණාවෙන් අයිතිකර ගැනීමේ හැගීමෙන් හෝ ආත්මාර්ථකාමි හැගීමකින් තොරව සෞන්දර්ය ආශ්වාදය විඳීමට බුදු දහමෙන් බාධාවක් නැත. බුදු දහම අගය කරන සෞන්දර්යය කාමුකත්වයෙන් තොර වින්දනයකි. සොබා දහම ඇසුරින් ලබන වින්දනයකි. කාමයෙන් ලබන වින්දනය, තාවකාලික ය. ඉන් පසුව දුක් වේදනා ගෙන දෙයි. එහෙත් බුදු දහම සොබා දහමෙන් ලද හැකි නිරාමිස සුවය පෙන්වා දෙන්නේ මිනිසාගේ කායික හා මානසික සුවය සඳහා ය.

සෞන්දර්ය ආශ්වාදය ඇති කරන්නේ පරිසරයේ අසිරිමත් සිදුවීම් ය. පායන හිරු, පියාසර කරන විහඟුන් ගලා යන ගංගා සහ දිය ඇළි, පිපෙන මල්, සැන්දෑ වළාකුළු, බැස යන හිරු, පායන සඳ, රුක්ගොමු, තණබිම්, සුරතල් සතුන්, මඳ පවන්, කුරුළු ගී, ඒ අතර වේ. මෙයට අමතරව ගීත ගායනා, නැටුම්, නාට්‍ය , උත්සව, චිත්‍ර, ආදිය ද මිනිසාගේ වින්දනය පිණිස හේතු වෙයි. එදිනෙදා ජීවිතයේ කායික හා මානසික පීඩා දුරු කර ගැනීමටත්, කායික මානසික සුවයෙන් යුතු පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීම සඳහාත් සෞන්දර්ය රස වින්දනයෙන් මහඟු අනුබලයක් ලැබෙයි. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර ධර්ම දේශනා කොට ඇත්තේ, පැවිදි සමාජය මුල් කර ගෙන ය. ඒ නිසා භික්‍ෂූන් වහන්සේට කම් සුවයේ ආදීනව විග්‍රහ කරමින් කළ දේශනා, බහුලව දක්නට ඇත. නමුත් ගිහි සමාජයට කම් සුවය තහනම් කොට නැත. ඇතැම් උගතුන් , බුදුරදුන් භික්‍ෂූන් වහන්සේට දේශනා කොට ඇති කම් සුවයේ ආදීනව ගැන සඳහන් දේශනා ගෙන හැර දක්වමින් සෞන්දර්යය රස වින්දනයට ද බුදු දහමින් අනුබල දී නැතැයි කියති. එසේ ප්‍රකාශ කරනුයේ බුදු දහමේ සියලු දේශනා අධ්‍යයනය නොකිරීම නිසාය. අධික ආශාවෙන් තොරව ගිහි සමාජයට කම්සුවය විඳීමට බාධාවක් නැත. ඒ තුළින් ආශ්වාද විඳීමටද තහනමක් නැත. කම් සැපයේ ආදීනව වටහාගෙන ඉන් මිදෙන මඟ බුදු දහමේ සඳහන් වෙයි.

බුදුරදුන් ඇතැම් අවස්ථාවල ගායනය හා වාදනය ද අගය කොට ඇත. සක්ක පඤ්හ සූත්‍රයට අනුව දිව්‍ය ලෝකයේ සිටින පංචසික නම් වීණා වාදන ශිල්පියා බුදුරදුන් වෙත පැමිණ වීණාව වාදනය කරමින් තම් පෙම්වතිය ගැන ගීතයක් ගායනා කළ පසු එය ඇසු බුදුරදුන්

සන්සන්දන්ති වො පංචසික
තත්තිස්සරෝ ගීතස්සරේන
ගීතස්සරෝ තත්තිස්සරේන

“පංචසිකය, ඔබගේ වාදනය සමග ගායනය ඉතා හොඳින් ගැලපෙයි “ ආදී වශයෙන් එය අගය කළහ. මේ අනුව තාලානුරූප ගායනය හා වාදනය ද බුදු වදනෙන් අගය කර ඇත. නමුත් භාව ප්‍රකෝප කරවන රාගය වඩවන වේග රිද්ම ගීත හා සංගීතය ද , වේග රිද්ම නැටුම් හා රැගුම් ද බුදු දහමින් අගය නොකරයි. නූතනයේ දක්නට ලැබෙන පොප් සංගීතය , රැප් කිරීම ආදිය බුදු දහමින් අගය නොකරයි. එවැනි නැටුම් හා ගැයුම් වලින් සිදුවන්නේ, කායික හා මානසික ආතතිය වර්ධනය වී පුද්ගලයා රෝගියෙකු වීම යි.

බුදුරදුන් , සොබාදහම සහ ඊට ඇලුම් කරන භික්‍ෂුව නිරතුරුව අගය කොට ඇත. ගෝසිංහසාල සූත්‍රය අනුව ගෝසිංහසාල වනය යනු, අතිශය චමත්කාර ජනක වනයකි. පෑල දිගින් රන්වන් හිරු බැස යත්ම රිදී රැස් විහිදුවමින් පුන්සඳ මඩල අහසේ පායා එයි. මුළු වනයම සඳරැස් දහරින් නැහැවී ඇත. මල් බඳුන් සේ සල් රුක්හි සුවඳ සල් මල් පිපී සුවඳ හමයි. වනයේ වැලි තලා මත මල් පෙති විසිරී සුවඳ විහිදුවයි. වරින්වර හමන මඳ පවන් ගතට ගෙන එන්නේ සිසිලසකි. මේ සුන්දරත්වය දුටු සියොත්හු භාවනා කරන්නාක් මෙන් නිහඬ වනයේ අසිරිය විඳ ගනිති. මෙවන් වු සුන්දර සාල වනයට සැරියුත්, ආනන්ද, අනුරුද්ධ රේවත, උපාලි යන තෙරවරු වැඩම කළහ. ගෝසිංහසාල වනය මෙවන් සුන්දරත්වයකට පත් වී ඇත්තේ කෙසේදැයි එම තෙරවරු සාකච්ඡා කළහ. ආනන්ද හිමියෝ බහුශ්‍රැත භික්‍ෂුවක් නිසා මේ වනය සුන්දර වී ඇති බව ප්‍රකාශ කළහ. දිවැස් ඇති භික්‍ෂුවක් නිසා වනය සුන්දර වී ඇති බව අනුරුද්ධ හිමියන්ගේ අදහස විය.

මෙම සියලු හිමිවරුන්ගේ අදහස් වලට සවන් දුන් බුදුරදුන් දේශනා කළේ “යම් භික්‍ෂුවක් මෙම වනයට පැමිණ බිම වාඩි වී කය සෘජුව තබාගෙන කෙළෙසුන්ගෙන් මිදීමේ අධිෂ්ඨානයෙන් භාවනා කරන්නේ නම් එම භික්‍ෂුව නිසා වනය සුන්දර වන බවයි.” මේ අනුව පැහැදිලි වන්නේ කෙළෙස් දුරු කිරීමට උත්සාහ දරන භික්‍ෂුව සිටින පරිසරය ද සුන්දර වන බවයි. බුදු සිරිත තුළින් සොබා දහමේ අපූර්වත්වය මැනවින් විග්‍රහ වෙයි. බෝසතුන් මෙලොව ජනිත වූයේ මනහර සුවඳවත් සල්මලින් පිරි ලුම්බිණි උයනේ දී ය. බුදු බවට පත් වූයේ චමත්කාර පරිසරයක පිහිටි බෝ රුක් සෙවණේ ය. පිරිනිවන්පාන ලද්දේ සුවඳ සල් මල් වලින් ගැවසුණු උපවර්තන සල් උයනේ දී ය. බෝසතුන් ආර්ය පර්යේෂණය සඳහා යොදාගෙන ඇති භූමි භාගය අතිශය මනරම් බව මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රයෙහි සඳහන් වෙයි.

“රමණීයෝ ඒත භූමිභාගෝ, පාසාදිතෝච වන සන්ඩො නදී ච සන්දති, සේතකා සුපතිට්ඨා රමණීයා” (මෙම ස්ථානය ඉතා රමණීයය. සිත් ප්‍රබෝධමත් කරවන පිපුණු කුසුමින් හා විහඟුන්ගේ සුමිහිරි ගීත නාදයෙන් යුතු වන ලැහැබකි. පිරිසුදු ජල ධාරාවකින් යුත් ගංගාවක් ද ඇත. ගඟ දෙපස සුදු වැලිතලාවන් ය.) ආදී ලෙසින් බෝසතුන් එහි සුන්දරත්වය වර්ණනා කොට ඇත.

පරිසරයෙන් ආශ්වාදය ලැබූ බුදුරදුන් ශ්‍රාවක තෙරුන් ද සමග නිතර වැඩ සිටියේ, ගිමන් හැරියේ සහ සැතපුණේ එළිමහනෙහි රුක්මුල් වලය. බුදුරදුන්ගේ වාසස්ථාන වූයේ රුක්මුල්, වන සෙනසුන්, පාළු සොහොන් බිම් ආදී ස්ථානයි. උන්වහන්සේ භික්‍ෂූන්ට සිවුරු සකස් කරගන්නා ලෙස අනුදැන වදාළේ මගධ කෙත් යායේ ස්වරූපය අනුවයි. සිවුර පාට කර ගැනීම සඳහා භාවිතා කිරීමට අනුදැන වදාළේ ගස්වල මුල්, පොතු, කඳ, මල් තම්බා ලබාගත් ශාක සාරයි. බුදුරදුන් වැඩම කළ ස්ථානවලදී දුටු චමත්කාරය තම මුවින්ම ප්‍රකාශ කොට ඇත.

රමණීයං ආනන්ද වේසාලිං,
රමණීයං උදේන
චේතියං, රමණීයං ගෝතම්භ

චේතියං, රමණීයං චාපාල චේතියං.... යනාදී ලෙස “ආනන්ද විශාලා මහනුවර රමණීයයි. උදේන චෛත්‍යය රමණීයයි... යනාදී ලෙස එය සඳහන් වේ. බුද්ධ කාලයේ විසූ උග්ගසේන නම් නාට්‍ය කරුවාගේ නාට්‍ය සංදර්ශනද බුදුරදුන් නරඹා එහි අඩුලුහුඬුකම් ද පෙන්වා දෙමින් ප්‍රශංසා කොට ඇත.

බුදුරදුන්ගේ ශ්‍රාවක තෙරවරුන්ගේ සහ ශ්‍රාවිකාවන්ගේ උදාන වාක්‍ය තුළින් ද සොබා දහමේ චමත්කාරය මැනවින් පිළිබිඹු වෙයි.

රමණීයානි අරඤ්ඤානී
යන්ථන රමණී ජනෝ
වීතරාගා රමෙස්සන්තී
නතේකාම ගවේසිනෝ

යන ගාථා ධර්මයට අනුව සාමාන්‍ය ජනයා සිත් නොගන්නා වනය වීතරාගී රහතුන් සිත් අලවා වාසය කරන්නේ, උන්වහන්සේ කම්සැප නොසොයන නිසා බව පැහැදිලි වේ. එමෙන්ම බුද්ධ ශ්‍රාවක රහතන් වහන්සේගේ අරමුණ ගිහි සමාජයේ අරමුණ නොව කාමයෙන් තොරව නිරාමිස සුවයක් විඳීම බවද පැහැදිලි වේ.

ගමේවා යදිවාරඤ්ඤේ
නිම්නේවා යදිවා ථලේ
යන්ථ අරහන්තෝ තිට්ඨන්ති
තං භූමිං රමෙණ්‍යකං

සංයුක්ත නිකායේ රාමනෙය්‍යක සූත්‍රයේ සඳහන් ඉහත ගාථා ධර්මයෙන් විග්‍රහ වන්නේ ගමක, ආරණ්‍යයක, නිම්නයක හෝ තැනිතලාවක රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටී නම් එම භූමි භාගය රමණීය වන බවයි.

බුද්ධ කාලයේ වැඩ සිටි සප්පක තෙරුන් අජකරණී නම් ගඟ අසබඩ වැඩසිටිමින් අවට පරිසරයේ සුන්දරත්වය වර්ණනා කොට ඇත්තේ මෙසේ ය.

“තැති ගනී දැක වැහි වලාවන් විදාගෙන සිය සුදු පියාපත් කොකුන් පියඹන නවාතැන් වෙත නදිය අජකරණී වේය මට හරි රමණී” යනුවෙනි.

කළුදායී මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට තම මව්බිමට වැඩම කරන ලෙස ආරාධනා කරමින් කිඹුල්වත් පුරයේ මඟ දෙපසෙහි ඇති සොබා දහමේ අසිරිය වර්ණනා කළ ගාථාවක් මෙසේ ය.

දූමානි ඵුල්ලානි මනෝරමානී
සමන්තතෝ සබ්බ දිසා පවන්ති
පත්තං පහාය ඵලමාසසානං
කාලෝ මහාවීර භගීරතානං

යන එම ගාථා ධර්මයෙන් පැහැදිලි වන අරුත මෙසේ ය. ගස්වල තිබූ පරණ කොළ හැලී අලුත් කොළ ලියලා ඇත. එම ගස්වල දළු ගිනි සිළු මෙන් බබළයි. මහා වීරයාණෙනි, දැන් ගමට වැඩම කිරීමට කාලයයි. යනුවෙනි. පරිසරයේ තිබූ ගස්වල චමත්කාර බව මේ වර්ණාවෙන් මනාව ඉස්මතු වෙයි.

වනවච්ඡ තෙරුන්ද නිතර වනයෙහි වාසය කරමින් එහි අසිරිය විඳගත් රහත් තෙරනමකි. උන් වහන්සේ වනයේ අසිරිය වර්ණනාකොට ඇත්තේ,

“පෑදි දිය රැඳී ඇති
පුළුල් ගල් තලා ඇති
වඳුරු මුව පිරි ඇති
දිය සෙවෙල් බැඳී ඇති
ඒ මහා පර්වතයෝ
මාගේ සිත් ගනිත්”

යනුවෙන් අසන්නා තුළද චිත්ත රූප මැවෙන පරිද්දෙනි. කාමයෙන් තොරව එසේ රහත්හු නිරාමිස සුවයක් පරිසරයේ චමත්කාරය තුළින් ලැබූහ.

මෙලෙස බුදු දහම නිරතුරුව සොබා දහම තුළින් මැවෙන සුන්දරත්වය අගය කොට ඇති දහමකි. නූතනයේ එය බෞද්ධ උත්සව, පෙරහර, චිත්‍ර, මූර්ති, වන්දනා ගමන් හා නැටුම් ගැයුම් වැයුම් වලින්ද අත්විඳීනු ලැබේ. බුදු දහමට අනුව ඇලීමෙන් හා ගැටීමෙන් තොරව සොබා දහමේ අසිරිය සුන්දර ලෙස අපිත් විඳගනිමු.

 

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]