UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සසුන තහවුරු කරන පැවිදි - ගිහි සබඳතා

බුදු සසුන පවත්වාගෙන යන සිව්වනක් පිරිස ප්‍රධාන වශයෙන් ගිහි හා පැවිදි යනුවෙන් කොටස් දෙකකි. භික්‍ෂු, භික්‍ෂූණී යන දෙපිරිස පැවිදි කොටස වශයෙන්ද , උපාසක උපාසිකා යන දෙපිරිස ගිහි කොටස් වශයෙන් ද හඳුන්වා දිය හැකි ය.

බෞද්ධ පැවිදි සමාජයේ භික්‍ෂු පරම්පරාව ආරම්භ වනුයේ බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුතුර දේශනාවෙන් අනතුරුව පැවිදි වූ කොණ්ඩඤ්ඤ තවුසාගේ පැවිදි වීමත් සමග ය. එසේ ආරම්භ වී ඉතා කෙටි කාලයකදී එය බෙහෙවින් ව්‍යාප්ත විය. බෞද්ධ ඉතිහාසය තුළ අපට හමුවන පරමාදර්ශී සමාජය එයයි.

ගිහියාගේත් පැවිද්දාගේත් ඒකායන අරමුණක් ඇත. එය ගිහි පැවිදි වශයෙන් වෙනස් වෙන්නක් නොවේ. සියලු දෙනාගේ ඒකායන අරමුණ නිවන් දැකීම යි. නැතහොත් සියලු දුක් නැති කිරීම යි. එසේ වුවද පැවිද්දා නිවන් අවබෝධය කරා යන ගමන ඉතා වේගවත් ය. එය ගිහියාට වඩා ඉක්මනින් සිදු වෙයි. ගිහියා ලෞකික ජීවිතය හා බැඳී කටයුතු කරයි. ගිහියාට වඩා පැවිද්දා නිවනට යන ගමන් වේගය වැඩිය.

මුල් කාලයේ දී භික්‍ෂූන් වහන්සේ සංචාරක ජීවිතයක් ගත කළ ද වේළුවනාරාම පුජාවත් සමග පැවිද්දන් ස්ථානගත වන්නට විය. නිවන පසක් කර ගැනීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ නිරතුරුව දහම් දෙසීමට උත්සුක වූහ. පළමු රහත් හැට නමට බුදුරජාණන් වහන්සේ දුන් අවවාදයෙන් එම අරමුණ මනාව පැහැදිලි වෙයි. එනම් “චරත භික්ඛවෙ චාරිකා බහුජන හිතාය බහු ජන සුඛාය “

බොහෝ ජනයාගේ හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්න යනු එහි තේරුමයි. සිගාලෝවාද සුතුරේ දී බුදු රජාණන් වහන්සේ ගිහි පැවිදි සම්බන්ධය පිළිබඳ හොඳ විග්‍රහයක් ඉදිරිපත් කොට තිබේ. සිඟාල නම් ගෘහ පුත්‍රයා සෑම උදෑසනක දීම ජල ස්නානය කොට දියෙන් ගොඩවිත් හය (6) දිසාවකට නමස්කාර කිරීමට පුරුදුව සිටියේය. එක් දිනයකදී ඔහු එසේ නමස්කාර කරන විට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළහ. එහි දී බුදුන් වහන්සේ සිඟාල ගෘහපතියා හා පිළිසඳර කථාබහක යෙදී ප්‍රශ්න කීපයක් ඔහුගෙන් විමසූහ.

ඔබ මෙසේ සිදු කරන්නේ ඇයි? කුමක් අරමුණු කරගෙන ද? කාගේ පෙළඹවීමකට ද? යනුවෙන් බුදු හිමියෝ ඔහුගෙන් විමසූහ. සිඟාල ගෘහ පුත්‍රයා පිළිතුරු දෙනුයේ තම පියාගෙන් ලැබුණු උපදෙස් අනුව සියලු දිසා නියෝජනය වන පරිදි මෙසේ නමස්කාර කරන බවයි. බුදුරජාණන් වහන්සේ සිඟාල ගෘහ පුත්‍රයාගේ එම ක්‍රියාවෙහි නොවැදගත්කම පෙන්වා දුන්හ.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සුතුරෙ හි දී සිඟාල ගෘහපතියාට පෙන්වා දුන්නේ සමාජයේ සියලු දෙනාටම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කිරීම නියම සදිසා නමස්කාරය බවයි. සමාජයේ පුද්ගලයන් කාණ්ඩ (6) හයකට බෙදා, ඒ ඒ පුද්ගල කණ්ඩායමට තමන්ගෙන් ඒ ඒ අවස්ථාවලදී ඉටු විය යුතු යුතුකම් එහි පෙන්වා දී ඇත.

එම සම්බන්ධතා ජාලයට ඇතුළත් ගිහි පැවිදි සම්බන්ධය පිළිබඳ එහි මෙසේ විස්තර වෙයි. “උද්දං ශ්‍රමන බ්‍රාහ්මනා “ යනුවෙන් සඳහන් කරන පරිදි උඩ දිශාව යනුවෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් එහි දක්වා ඇත. ගිහියා හා පැවිද්දා අතර ඉටු විය යුතු යුතුකම් එහි දැක්වෙයි. පැවිද්දන් විසින් ගිහියන් වෙත යුතුකම් (6) හයක් ද ගිහියන් විසින් පැවිද්දන් වෙත යුතුකම් පහක්ද (5) ඉටු කළ යුතු බව එහි දැක්වෙයි.

ගිහියන් විසින් පැවිද්දාට ඉටුවිය යුතු යුතුකම් පහ

1.මෙත්තා සහගත කාය කර්මයෙන් යුතුවීම
2. මෙත්තා සහගත වචී කර්මයෙන් යුතු වීම
3.මෙත්තා සහගත මනෝ කර්මයෙන් යුතු වීම
4. නොවැසූ දොරින් යුතු වීම
5. සිවුපසයෙන් උපස්ථාන කිරීම

පැවිද්දා විසින් ගිහියාට ඉටුවිය යුතු යුතුකම් හය

1. පවින් වැළැක්වීම
2. යහපතෙහි යෙදවීම
3. අනුකම්පා සිතින් ක්‍රියා කිරීම
4. නො ඇසු දේ කියාදීම
5. ඇසු දේ මනාව පැහැදිලි කර දීම
6. ස්වර්ග මෝක්ෂ මාර්ගය කියා දීම

ගිහි පැවිදි දෙපක්‍ෂයෙහිම සම්බන්ධතා ගොඩනැංවීම සඳහා උපකාරී වන ප්‍රධාන කරුණු ඉහත යුතුකම් මාලාවෙන් අනාවරණය වෙයි.

සිඟාලෝවාද සුතුරට අනුව පැවිද්දා විසින් ගිහියා කෙරෙහි අනුගමනය කළ යුතු පළමු පියවර වශයෙන් දක්වා ඇත්තේ පවින් වැළැක්වීමයි. එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන් , මදයට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය පානයෙන් ගිහියා මුදවා ගැනීමයි. එදිනෙදා ජීවිතයේදී සිදුවන මෙවැනි වැරැදි වලින් ගිහියා මුදවා සමාජයේ අන් අයද තමා හා සමාන කොට සැලකීමේ වැදගත්කම ගිහියාට හඳුන්වාදීම, පැවිද්දාගේ යුතුකමකි.

පැවිද්දාගෙන් ඉටුවිය යුතු දෙවැනි යුතුකම ගිහියා සුචරිතයෙහි යෙදවීමයි. නැතහොත් කුසලයෙහි කැමැත්ත ඇතිකරවීම යි. ගිහියා සමාජය තුළ හැසිරිය යුතු සදාචාරවත් පිළිවෙත පැහැදිලි කිරීම වැදගත් ය. ගිහියා දැහැමි මගට ගැනීමෙහි දී පැවිද්දා සතු වග කීම අති විශාල ය. කම් සැප සොයමින් ඒ සඳහා ගිජු බවකින් කටයුතු කරන ගිහි පුද්ගලයා ඉන් මුදවා පියවරින් පියවර සදාචාරයට හා නිවන් සැපතට නැඹුරු කිරීම පැවිද්ද තම පරම යුතුකම සේ සලකා කටයුතු කළ යුතු ය.

භික්ෂුවගේ තෙවන යුතුකම ලෙස දක්වා තිබෙන්නේ අනුකම්පා සිතින් ක්‍රියා කිරීම යි. බොහෝ භික්‍ෂූන් වහන්සේ තමන්ට නිතර සිවුපසයෙන් උපස්ථාන කරන ගිහියන් කෙරෙහි සුළු අඩුපාඩුවක් දුටුවිට කළ කිරෙති. ගිහියාට දොස් පරොස් නගති. එවැනි අවස්ථාවලදී කරුණාවෙන් අනුකම්පා සිතින් ගිහියා කෙරෙහි කටයුතු කළ යුතුය. ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ගිහියාට අනුකම්පා සිතින් සැලකීමට පැවිද්දා කටයුතු කිරීම වැදගත් වෙයි.

පැවිද්දාගෙන් ගිහියා නිරතුරුව බලාපොරොත්තු වන්නේ නිවැරැදි මාර්ගෝපදේශයි. එතෙක් ගිහියා නො ඇසූ දේ කියා දීම විශේෂයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරීම, මෙහිදී වැදගත් වෙයි. ගිහියාගේ මෙලොව ජීවිත සුරක්‍ෂිතභාවය උදෙසා ද සිරිත් දියුණුව සඳහා ද ධර්මයෙන් අනුශාසනා පැවැත්වීම අවශ්‍ය වෙයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවට උපදෙස් දුන්නේ නිරතුරුවම ගිහියාට ධර්මය දේශනා කරන ලෙස ය.

“දෙසෙථ භික්‍ඛවෙ ධම්මං “ යන බුදු වදනින් එය පැහැදිලි වෙයි. ඒ අනුව පැවිද්දා තමාට නිරතුරුවම උපස්ථාන කරන ගිහියාට ධර්ම දානය සිදු කළ භික්‍ෂූන් වහන්සේ විසින් ගිහියාට සැලකිය යුතු වන්නේ, ධර්මය වටහා දීමෙනි. දැහැමි පිළිවෙතෙහි යෙදවීමෙනි.

ගිහිතංථූප කරොනංතනං
නිචවමාමිස දානතො
කරෝථ ධම්ම දානෙන

තෙසං පචථූප කාරෙතො” යනුවෙන් බෞද්ධ දර්ශනයෙහි සඳහන් පරිදි තමාට නිතරම ආමිසයෙන් සලකන ගිහියාට ධර්ම දානය කොට ප්‍රති උපකාර කිරීමට වගබලා ගැනීම, වැදගත්ය.

උපතේ පටන් මිය යන තුරු ජීවිතයේ සෑම අවස්ථාවකදීම ගිහියන් අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු නොයෙක් චර්යා ධර්ම පිළිබඳ සුදුසු අවස්ථාවලදී අනුශාසනා කිරීම, ගිහි පැවිදි සම්බන්ධයේදී අපේක්‍ෂා කැරෙන්නකි. ගිහියාට ධර්මය පිළිබඳ ජීවිත සර්ථකත්වයට අවශ්‍ය කරුණු පිළිබඳ නොඇසූ දෙයක් වේ නම් එය කියාදීම භික්‍ෂුව ගේ පරම යුතුකමයි. එමෙන්ම ඇසු යම් දෙයක් වේ නම් එය මනා ලෙස තව දුරටත් පැහැදිලි කරදීම ද අවශ්‍යය.

එසේ පැවිද්දා විසින් සිදුකරන නිවැරැදි මඟ පෙන්වීමෙන් ගිහියාගේ ජීවිතය සුවපත් වනු ඇත. එමගින් මුළු මහත් සමාජයට යහපතක් වනු නියත ය.

සිඟාල ගෘහපතියාට දේශනා කළ පරිදි, ගිහියාට ස්වර්ග මාර්ගය හෙවත් නිවන් මාර්ගය කියාදීම පැවිද්දාගේ හය වන යුතුකමයි. පාපයෙන් සිදුවන අයහපතත් කුසලයෙන් සිදුවන යහපතත් ගිහියාට අවබෝධ කර දිය යුතු ය. ගිහියාගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට දේශනා පවත්වා කාමයට නැඹුරු වූ පුද්ගලයා ඉන් ඈත් කරවා දාන කථා, සීල කථා ආදී වූ අනු පිළිවෙළ කථා මාර්ගයෙන් ගිහියා ස්වර්ග මෝක්ෂ මාර්ගයට ගත යුතු ය. එසේ කටයුතු කිරීමෙන් පැවිද්දා තම යුතුකම් කොටස මැනවින් ගිහියාට ඉටු කළා වනු ඇත. එසේ කිරීමෙන් අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව ගිහි පැවිදි සම්බන්ධය තහවුරු වනු ඇත.

ගිහියා පැවිද්දාගේ ගමන්, බිමන්, ඉදුම් හිටුම්, හැඳීම් පෙරවීම් කථා බහ ආහාර ගැනීම ආදි ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලා ඒවා යහපත් නම් ඒ අනුව ප්‍රසාදයට පත්වෙයි. එසේ ප්‍රසාදයට පත්ව එම පැවිද්දාගෙන් දහම් ඇසීමට නැතහොත් ධර්මය දැන ගැනීමට පි‍්‍රය වෙයි. එසේ ධර්මය අසා සතුටු වී පැවිද්දා තමාගේ කළ්‍යාණ මිත්‍රයකු බවට පත් කර ගනියි. එවිට ගිහි පැවිදි සම්බන්ධය වඩා දියුණු වෙයි.

බෞද්ධ ගිහියා සහ පැවිද්දා අතර පවතිනුයේ නොබිඳිය හැකි නොසිඳිය හැකි සම්බන්ධතාවයකි. පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියාගේ සහය වැදගත් වෙයි. ගිහියාගේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිත සාර්ථක භාවය උදෙසා ද පැවිද්දාගේ මඟ පෙන්වීම, උපදේශය වැදගත් වෙයි.ගිහියා තම ජීවිතය, සාර්ථක කර ගැනීම උදෙසා නිරතුරුව පැවිද්දාගේ ඇසුර ලබාගත යුතු ය.

පුද්ගල ජීවිතයක් සුරක්‍ෂිත, සාර්ථක , ආදර්ශ සම්පන්න ජීවිතයක් බවට පත්කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ උපදෙස් ලබා දී ඇත.ගිහියාගේ දුකෙහි දී ද සැපේදී ද පැවිද්දා නිරතුරුව ගිහියාට පිහිටකි. එනම් උපතේ සිට මිය යන තුරුද මිය ගිය පසු පුණ්‍යානුමෝදනා කිරීම දක්වා ද පැවිද්දා හා ගිහියා සම්බන්ධ වෙති. මෙසේ ගිහි පැවිදි සම්බන්ධතාව හොඳින් පවත්වාගත යුතු ය.

එසේ පවත්වා ගතහොත් ශාසනයේ චිර පැවැත්මට එය හේතුවනු ඇත. ගිහි පැවිදි සම්බන්ධය අඩාල වන විට ශාසනයේ පැවැත්මට එය බාධාවක් වනු ඇත. එය පුද්ගල ජීවිත පරිහානියට ද හේතු වෙයි. එබැවින් මෙම සම්බන්ධය අන්‍යෝන්‍ය ගෞරවය හා සුහදතාව සුරැකෙන ලෙස පවත්වා ගැනීම ගිහි පැවිදි දෙපිරිසගේම වගකීමයි.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]