UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,

ඩී. ආර්. විජයවර්ධන මාවත,

ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:

2429598, 2429429

ෆැක්ස්:

2429329, 2449069

ඊමේල්:

[email protected]

පර්දාවේ පැටලීම

මිනිසකුට ආගමක් අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද? මේ ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර ලොව සියලු දෙනා දනී නම්, ආගමේ නාමයෙන් සිදු කැරෙන මුම්බායි ත්‍රස්තප්‍රහාරය (26/11) වැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය නො හැකි ය. මෙහි දී සමස්ත ලෝකයට ම ගුරු කොට ගත හැකි බුදු වදනක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.

“මහණනි, ම විසින් දෙසන ලද ධර්මය පසුරකට උපමා කළ හැකි යි. එය එතෙර යෑම සඳහා ය. දැඩි කොට ගැනීම සඳහා නො වේ. මහණනි, ධර්මය පසුරක් වැනි යැයි දන්නා ඔබ විසින් හොඳ පවා හළ යුතු ය. නරක දේ ගැන කියනු ම කවරේ ද?”

මෙය, ධර්මයේ නාමයෙන් සටන් වදින සියලු දෙනා විශේෂයෙන් දැන ගත යුතු සත්‍යයකි. බුදුන් වහන්සේ ගේ මේ මහඟු උපදේශය බෞද්ධයන් ට පමණක් නො ව සියලු ආගමිකයන්ට එක සේ වැදගත් වේ. එ බැවින් ආගමේ නාමයෙන් සිදුවන හානිදායක ක්‍රියා ගැන කතා කිරීමේ දී එම බුදු වදන ඉතා ප්‍රයෝජනවත් වේ යැයි සිතමු. මුස්ලිම් බාලිකාවන් ගේ පාසල් නිල ඇඳුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව දෙස අප බැලිය යුත්තේ ද ධර්මය (ආගම) පසුරකට උපමා කොට වදාළ බුදු රදුන් ගේ මහඟු උපදේශය අනුව ය. කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලය, කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය හා මෝදර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය යන විදුහල්වල ඉගෙනුම ලබන මුස්ලිම් බාලිකාවන්ට සිය සම්ප්‍රදායික ඇඳුමෙන් සැරැසී පාසල්වලට පැමිණීමට අවසර නො දීම නිසා ගැටලු මතු වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කැර තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ 1980.12.12 දිනැති අංක 37/95 දරන චක්‍ර ලේඛය මඟින් මුස්ලිම් ශිෂ්‍යාවන්ට සම්ප්‍රදායික පන්ජාබ් ඇඳුමෙන් සැරැසී පාසල් වලට පැමිණීමට අවසර දී තිබිය දී මේ තත්ත්වය උදා වී ඇතැයි යන්න ප්‍රධාන චෝදනාව ය. පන්ජාබ් ඇඳුමට අවසර දීම, වැඩිවියට පත් ගැහැනු ළමයකු දෙපාවල වළලුකර දක්වාත්, ගෙල කොටසත් හිසත් අනිවාර්යයෙන් ආවරණය කළ යුතු යැයි දැක්වෙන ඉස්ලාම් රීතියට අනුව කරන ලද්දකි. මේ ඉස්ලාම් රීතිය කෙතරම් බලවත් ද යත්, බහරේනයේ අල් ගසාර් නමැති කෙටි දුර ධාවන ශූරීය බීජිං ඔලිම්පික් උළෙලේ දී සම්ප්‍රදායික ඉස්ලාම් ඇඳුමෙන් සැරැසී තරග කළ ආකාරයෙන් පැහැදිලි ය. එහෙත්, මෙ බඳු ඉස්ලාම් නියමයන් පිළිබඳ වාද විවාද බොහෝ කලක සිට පවතින බව ද අපි දනිමු. තුර්කියේ මුස්තාපා කෙමාල් (1881 – 1938 )නායකත්වය දුන් මුස්ලිම් සම්ප්‍රදායයන් ගේ දරදඬු විලංගුවලින් කාන්තාවන් මුදා ගැනීමේ ව්‍යාපාරය,1805 සිට 1848 දක්වා මොහොමඩ් අලි විසින් ගෙන ගිය ඊජීප්තු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, නසීර් උද්දීන් ෂා ගේ (1848 – 96) ඉරාන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉන් කිහිපයකි. එ සේ වූව ද විසිඑක් වන සියවසේ දී පවා ඉස්ලාම් කාන්තාවන් ගේ මුහුණ ආවරණය (FACE VEIL)  පිළිබඳ විවාදය තවමත් අවසන් වී නොමැත.

පසුගිය දෙසැම්බර් මස 2 වන දා ඩේලිනිවුස් පුවත්පතට එස්. පතිරවිතාන විසින් ලියන ලද ලිපියක උපුටා දක්වා ඇති පරිදි ඊජීප්තුවේ ආගමික උරුමයන් පිළිබඳ අමාත්‍ය මහමුඩ් හම්ඩ් ෂැක්ෂුක් පවසා ඇත්තේ ඊජිප්තු කාත්තාවන් ගේ මුහුණු ආවරණය (නිකාබ්) ඉස්ලාමීය නියමයක් නො වන බව ය. ඉස්ලාම් නියමය වන්නේ කාන්තාවන් සම්පූර්ණයෙන් සිරුර ආවරණය කැර ගත යුතුය යන්න මිස මුහුණු හා අත් ආවරණය කැර ගැනීම නො වේ යැයි ද ඔහු කියා තිබේ. කොරානය පළමුවරට ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කළ මොහොමඩ් මාර්ඩූකේ පික්තාල් (1875 – 1936 ) පවසා ඇත්තේ ද කාන්තාවන් විසින් මුහුණු ආවරණය කිරීම ඉස්ලාම් සම්ප්‍රදායයක් නො ව ක්‍රිස්තියානි උරුමයක් බව ය.

එ සේ නම් ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් සිය දියණියන් ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ මෙ බඳු කරුණු සැලැකිල්ලට ගැනීමෙනි. මෙහි දී බෞද්ධයන් ඊට මැදිහත් වීම අනවශ්‍ය ය.

ලෝක ඉතිහාසයේ අපකීර්තිමත් ම ආගමික ගැටුම් ලෙස සැලැකෙන යුරෝපීය ක්‍රිස්තු භක්තිකයෙක් විසින් තම ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම සඳහා එකළොස් වන සියවසේ සිට දහතුන් වන සියවස දක්වා දියත් කළ කුරුස යුද්ධ පහ අප ගේ අවධානයට ලක් විය යුතු ය. පළමු වන කුරුස යුද්ධයට හේතු වූයේ අලුතින් ඉස්ලාම් ආගම වැලැඳගෙන සිටි තුර්කියේ සෙල්ජුක්වරුන් යටතේ පැවැති ප්‍රදේශ වෙත වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට සිදු කළ පීඩාවන්ට එරෙහි ව යුද වැදීම යැයි අපි මෙයට කලින් ද පෙන්වා දී ඇත්තෙමු.

එ පමණක් නො ව අප රටේ ඉස්ලාම් අන්තවාදී දේශපාලනය පරාජය කිරීමේ දී තුර්කියේ සෙල්ජුක්වරුන්ට කි‍්‍රස්තු භක්තිකයන් දැක් වූ රළු ප්‍රතිචාර බෞද්ධයන්ට නො ගැළපෙන බව ද අපි කියා ඇත්තෙමු.

මෙහි දී මතුවන ප්‍රශ්නය නම්, ඉස්ලාම් අන්තවාදී ප්‍රවණතාවන්ට මුහුණ දෙන්නේ කෙ සේ ද යන්නයි. ඉස්ලාම් බාලිකාවන් ගේ පාසල් නිල ඇඳුම පිළිබඳ කාරණය වැදගත් වන්නේ මෙතැන දී ය. මුස්ලිම්වරුන් අතර ම පොදු එකඟතාවක් නොමැති මේ කරුණු කෙරෙහි බෞද්ධයන් මැදිහත් නොවීම එක් අවශ්‍යතාවකි. අනෙක් අතට බුදු දහම ජීවන මාර්ගය බවට පත් කැර ගැනීම බුද්ධිය පිළිබඳ කාරණයක් මිස සම්ප්‍රදාය පිළිබඳ කාරණයක් නො වේය යන්න තේරුම් ගැනීම ය.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]