UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

25 වන වරටත් පැවැත්වෙන

උඩුගම බෝධිරාජ මහා පෙරහර

ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර ජනවාරි 17 දින සවස 2.00 ට 25 වන වරටත් උඩුගම නගරයේ වීථි සංචාරය කෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ජීවමාන කාලයෙහි පමණක් නොව දස පෙරුම් දම් පිරූ බෝධිසත්ව සමයේද දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදින් ගේ අනේක විධ මහාර්ඝ පූජාමය පරිහාරයෙන් හෙවත් විචිත්‍ර පුද පෙරහරින් පුදනු ලැබූ ආකාරය වංශ කතාවන්හි හා බෞද්ධ සාහිත්‍යයෙහි මැනවින් අන්තර්ගත ය.

මහින්දාගමනයෙන් පසු සගමිත් මහ රහත් තෙරණිය විසින් ශ්‍රී මහාබෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීමත් සමග බුද්ධාභිවන්දන පූජෝත්සව සඳහා අසිරිමත් පෙරහර පැවැත්වීම අපට හුරුවිය.

1976 දී එවකට පැවැති සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හා එවකට ඉන්දීය ජනරජයේ ඉන්දිරා ගාන්ධි අගමැතිණියගේ හා එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මැතිතුමාගේ මූලිකත්වයෙන්ද, ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපතිවරයා වූ භාරතදේශයේ ප්‍රධාන සංඝනායක නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන්ගේ මැදිහත්වීමෙන්ද, ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන සභාපති වූ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඉන්දියාවේ සිට රාජ්‍ය ගෞරව සහිතව මෙරටට වැඩමවා, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාර භූමියට වැඩම කරවන ලදහ.

1977 ජනවාරි 10 දින එවකට ගාල්ල මහා දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් මෙම බෝධිරෝපණය සිදු කරන ලදී.

ඊට උපහාර පිණිස 1978 ජනවාරි 10 දින සිට ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ආරම්භ කරන ලද්දේ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ඇතිව හා උඩුගම හා අවට ගම්වාසින්ගේ සහාය ඇතිවය. ගුණානන්ද හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වත්මන් විහාරාධිපති , හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී උඩුගම සමිත නාහිමිපාණන් ෂසින් අඛණ්ඩව වසර කිහිපයක් පෙරහර පවත්වන ලදී.

පසුගිය කාලපරිච්ජේදයේ ඇති වු ගංවතුර ආදී විවිධ ව්‍යසන හා කරදර හේතුවෙන් වසර කිහිපයක් පෙරහර පවත්වා නොමැත. 2008 ජනවාරි 17 දින 25 වන වරටත් පෙරහර පැවැත්වීමට උඩුගම සමිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී උඩුගම සාරානන්ද හිමියන් ඇතුළු පෙරහර කමිටුව මේ වන විට කටයුතු යොදා ඇත. ගාලු දිසාවේ මහා සංස්කෘතික මංගල්‍යය නමින් හැඳින්වෙන උඩුගම බෝධිරාජ පෙරහර අලිඇතුන් , උඩරට , පහතරට හා සබරගමු සංස්කෘතිකාංග වලින් සමලංකෘතව ජනවාරි 17 දින පස්වරු 2.00 සිට උඩුගම නගරයේදී වීථි සංචාරය කෙරේ. පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්වෙන මෙම මහා පෙරහරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවය. උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමයෙන් ගමන් අරඹා උඩුගම බාර්හන්දිය දක්වා ගමන්කොට අනතුරුව උඩුගම කැටගොඩ බස්නැවතුම් පොළ දක්වාද ගමන්කොට නැවත රාත්‍රි 7.00 ට පමණ විහාරස්ථානයට ගෙවදීමට නියමිතය. අනතුරුව රාත්‍රි 8.00 ට විහාර භූමියේදී සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්වේ. මැති ඇමතිවරු රැසක්ද පෙරහරේ සමාරම්භක උළෙලට සහභාගි වීමට නියමිතය. ලක්දෙරණට උඩුගම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]