එක ම ලෝකයක්-එක ම සිහිනයක්
අද දින අවසන් වන බීජිං ඔලිම්පික් උළෙල දෙස ලෝකයේ ම අවධානය
යොමුවීම පුදුමයට කරුණක් නො වේ. එහෙත්, ධර්ම සන්නිවේදනයේ නිරත
අප, ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ ව කතා කිරීම බොහෝ අයට
පුදුමයක් විය හැකි ය. චීනයේ බීජිං නුවර දී ඔලිම්පික් උළෙල
පැවැත්වෙන සමයේ සටන් විරාමයකට එළඹීමෙන් ක්‍රීඩාව මඟින් සාමය හා
යහපත් ලෝකයක් ගොඩනැඟිය හැකි බව විදහා දක්වන මෙන් ඉල්ලා සිටින
යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය පසුගිය ඔක්තෝබරයේ දී සම්මත
කැර තිබීමෙන් ම මෙහි ඇති වටිනාකම වටහා ගැනීම පහසු ය.
ලෝකයේ රටවල් 205 ක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 10708 ක ගේ
සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව් 302 ක් සඳහා පැවැති මේ ක්‍රීඩා
උළෙලේ අසිරිය හෝ විශිෂ්ට වාර්තා ආදිය ගැන කතා කිරීම අපට අවශ්‍ය
නැත. එ සේ වූව ද ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු වන චීනය නමැති
බෞද්ධ රාජ්‍යයේ ශක්තිය ලොවට හෙළි කළ මේ මහඟු අවස්ථාව ආසියාවට
ආඩම්බරයක් බව කිව යුතු නැත. චන්ද්‍රමාස දින දර්ශනය, කඩදාසි
නිෂ්පාදනය, වෙඩිබෙහෙත් භාවිතය, මාලිමා යන්ත්‍රය, තේ පානය ආදිය
ලොවට දායාද කළ චීනයේ අභිමානය නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරය හමුවේ
මෙ සේ ප්‍රදර්ශනය කිරීම ද සතුටට කරුණකි.
එහෙත්, බීජිං ඔලිම්පික් උළෙල අප පාඨකයන්ට වැදගත් වනුයේ එම හේතු
නිසා නො වන බව කිව යුතු ය. ක්‍රීඩාව යනු සංස්කෘතික කාර්යයක් ය
යන නූතන පිළිගැනීම නිසා මේ පිළිබඳ ව අපි විශේෂයෙන් අවධානය යොමු
කළෙමු.
වඩාත් ඉක්මනින්, වඩාත් ඉහළට ශක්තිමත් ව යන ආදර්ශ පාඨය යටතේ
ඇරැඹි නූතන ඔලිම්පික් උළෙල, සංස්කෘතික කාර්යයක් වන්නේ කෙ සේ
දැයි යමකු තුළ කුතුහලයක් ඇතිවන්නට පුළුවන.
ක්‍රි.පූ. අටවන සියවස දක්වා දිවෙන ඉපැරැණි ගී‍්‍රක සම්ප්‍රදාය
අනුව සීයස් දෙවියන්ට ගෞරව පිණිස වසර හතරකට වරක් පවත්වන ලද
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංස්කෘතික අගයකින් යුතු විය.
ක්‍රීඩාවේ සංස්කෘතික ස්වභාවය වටහා ගැනීම පිණිස සිංහල ජන
ක්‍රීඩාවක් වන අං කෙළිය මෙහි දී උදාහරණ ලෙස ගත හැකි ය. නියඟ
ඇති වූ විට හෝ වසංගත රෝග ඇති වූ විට ගම්වාසීහු රැස් ව දෙපිලකට
බෙදී දේව පූජාවක් වශයෙන් අං කෙළියේ නිරත වූ හ. මේ පූජාව නිසා
දෙවියන් මහජන මතයට සලකතියි එ කල ජනයා අතර විශ්වාසයක් පැවැතිණ.
ජයග්‍රහණය නො ව සහභාගීත්වය ක්‍රීඩාවේ ජයග්‍රාහී අපේක්‍ෂාව වූව
ද ආගමික විශ්වාසයන් ඊට මුසු වී ඇති ආකාරය පිළිබඳ කදිම
උදාහරණයක් අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබී තිබේ. කෝටි සියයකට
අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවට ප්‍රථම කේවල ඔලිම්පික් රන්
පදක්කම හිමි වූයේ මෙ වර බීජිං ඔලිම්පික් උළෙලේ දී වායු රයිෆල්
වෙඩි තැබීමේ ඉසව්වෙනි. එම රන් පදක්කම හිමි කැර ගත් විසිපස්
හැවිරිදි සීක් ජාතික අබිනව් බින්ද්‍රා ගේ තරග ඉසව්ව පැවැත්වෙන
දිනට පෙර දිනයේ දී ඔහුට ජය පතා ඔහු ගේ පවුලේ සාමාජිකයන්
පූජාවක් පවත්වා තිබිණ. එ පමණක් නො ව අබිනව් ගේ ජය පතා දෙවියන්
යදින මෙන් ඉන්දීය ජනතාව ගෙන් ඉල්ලා සිටින පුවත්පත් දැන්වීමක්
ඔවුන් පළ කළ බව ද සඳහන් ය. ජර්මනියේ දී ක්‍රීඩා පුහුණුව ලබා
ඇමරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයයෙන් උපාධියක් ලබා සිටින
අබිනව් බින්ද්‍රා ගේ එම හැසිරීමේ අරුත කුමක් ද?
ශාරීරික ශක්තිය, පුහුණුව හා විනය ක්‍රීඩකයකු ගේ ජයග්‍රහණයක්
සඳහා අවශ්‍ය නමුදු මානසික ශක්තිය ඊට අත්‍යවශ්‍ය බව අබිනව් ගේ
හැසිරීම අපට කියා දෙයි. තමා අදහන ආගම වෙත අවසාන වශයෙන් ඔහු
විශ්වාසය තැබුවේ එ බැවිනි.
බුදු දහම තරගකාරීත්වය ප්‍රතික්‍ෂේප කළ ද, ක්‍රීඩකයකු ගේ මානසික
ශක්තිය වර්ධනය කිරීම සඳහා බෞද්ධ ඉගැන්වීම් උපයෝගී කැර ගැනීමෙන්
ලොවට ආදර්ශයක් සැපයීම අපට කළ නො හැකි ද? |