බෞද්ධ මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් අනුව
තරහව පාලනය කරගනිමු
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
දර්ශන හා මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය කථිකාචාර්ය
කුඹුකන්දන රේවත හිමි
මුළු මහත් ලෝකයම ‘සෞඛ්‍යය’ කෙරෙහි මහත් අවධානයක් යොමු කරයි. එයින් ද
වර්තමානයේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය පිළිබඳ මනෝ වෛද්‍යවරුන්, මනෝ
විද්‍යාඥයන්ගේ් අවධානය බෙහෙවින් යොමුවන බවක් දක්නට ලැබේ. පුද්ගලයාගේ
කායික සෞඛ්‍යය කෙරෙහි මානසික ස්වභාවයෙහි බලපෑම, කය සහ මනස අතර ඇති
සම්බන්ධතාවය වැනි කරුණු මේ සඳහා හේතු විය හැකිය. පුද්ගල මානසික සෞඛ්‍යය
පිළිබඳ සැළකීමේ දී බෙහෙවින් සාකච්ඡාවට භාජනය වන මාතෘකාවකි ‘තරහව‘ යන්න.
තරහව මනසේ සෘණාත්මක චිත්තවේගයකි. පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය දුර්වලවීමට
මෙන්ම ඒ නිසා බොහෝ විනාශයක් ඇති කරවීම කෙරෙහි තරහව හේතු වේ.
ඒ අනුව ‘තරහ යෑම’ පාලනය කර ගැනීම, අඩුකර ගැනීම සඳහා යම් ක්‍රම ශිල්පයක,
අභ්‍යාසයක අවශ්‍යතාවය වර්තමාන සමාජය තුළ වඩාත් ඉස්මතු වී ඇත. ඒ අනුව
තරහව පාලනය කර ගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි පාඨකයාගේ අවධානය යොමු
කරවීම මෙම ලිපියෙහි අරමුණයි.
බෞද්ධ මනෝ විද්‍යාව ‘තරහව‘ යන්න ප්‍රධාන අකුසල මූලයන්ගේ දෝස යන්නෙන්
නියෝජනය වන බවත්, එය අයහපත් චිත්තවේගයක් ලෙසත් උගන්වයි.
තරහව ඇති කරවන සාධක බොහෝ ය. එම සාධකයන්ගේ බලපෑම පුද්ගල බද්ධ හෙවත්
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. මෙම සාධකයන් හඳුනා ගැනීම හෝ
එම සාධකයන් කෙරෙන් දුරුවීම හෝ තමා තුළින් එම සාධක ඉවත් කිරීම හා ඒ සඳහා
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් යොදා ගැනීම තරහව පාලනයට මඟ ලෙස මෙහිදී
සැළකේ. කෙසේ වුවද, තරහව පාලනය කෙරෙහි අවධානය යොමු කිරීමට තරහව විසින්
ජනිත කරනු ලබන ප්‍රතිඵලයන් සැළකීම වැදගත් විය හැකිය.
තරහ ගැනීමේ ආදීනව
තරහව, පුද්ගලයාට ඔහු වටා සිටින්නන්ට මෙන්ම භෞතික ද්‍රව්‍යන්ට ද බොහෝ
විනාශයන් සිදු කරයි. ඒ අනුව තරහවේ ආදීනව, ප්‍රතිඵල රාශියක් හඳුනාගත
හැකි අතර ඒවායින් සමහරක් ලෙස පහත ලක්ෂණ සැළකිය හැකිය.
ප්‍රචණ්ඩකාරී සිතිවිලි ඇතිකිරීම, දරුණු සිහින පෙනීම, හිසරදය, ශාරීරික
හානි, තුවාල, අධික රුධිර පීඩනය, සමාජීය සම්බන්ධතා අසතුටුදායක වීම,
ආදරය, සෙනෙහස නොලැබීම, රැකියාවෙහි උසස් වීම් නොලැබීම, රැකියා අහිමිවීම,
ඇබ්බැහිවීම්, ඇතිවීම, පුද්ගල පාලනය අහිමි වන බවක් දැනීම නිසා භීතිකා
ඇතිවීම, අන්‍ය පුද්ගලයින් අසාර්ථකත්වයට පත්කිරීම, අන්‍යයන් භේද භින්න
කිරීම, වස්තු දේපල විනාශ කිරීම, සම්පත් විනාශ කිරීම, අන්‍යන්ගේ
අවශ්‍යතා නොසළකා හැරීම, අන්‍යයන්ට උදව් නොකිරීම, ලිංගික අප්‍රාණිකත්වය,
ග්‍රස්ථිය හැසිරීම් පිරිසුදුකම පරීක්ෂා කිරීම, සර්ව සම්පූර්ණත්වය,
අශිෂ්ට භාෂා භාවිතය, අනවශ්‍ය වියදම්, අවධානම් හැසිරීම්, වේගයෙන් රිය
පැදවීම්, මිනී මැරීම්, සමේ පැහැය දුර්වර්ණවීම, හා මරණය තෙක් තරහව
පවත්වා ගැනීමෙන් සංසාරික දුක් විඳීමට සිදුවීම.
ඉහතින් දක්වා ඇත්තේ තරහව විසින් ඇති කරවනු ලබන ප්‍රතිඵලයන් කිහිපයක්
විය හැකිය. එතෙකුදු වුවත්, තරහව පුද්ගලයාට, සමාජයට, ලෝකයට සිදුකරන
විනාශය සුළු පටු නොවන බව තේරුම් ගැනීමට ඒවා ප්‍රමාණවත් වේ.
ඒ අනුව සමාජයේ සෑම කෙනෙක්ම තරහව පාලනය කර ගැනීම කෙරෙහි උත්සුක වීම
වැදගත් වේ. සෑම කෙනෙකුට ම තරහව චිත්තවේගය ඇතිවේ.
නිවන් නොලැබූ සියලු දෙනා තරහාව අත්විඳීන බව කීමෙහි වරදක් නැත. එබැවින්
තරහ නොයන බව කීමට වඩා තරහ යන බව තේරුම් ගනිමින් තරහව පාලනය කර ගැනීම
කෙරෙහි යොමුවීම වැදගත් වේ. ඒ අනුව මින් ඉදිරියට තරහව පාලනය කර ගැනීම
සඳහා භාවිතා කළ හැකි බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් කෙරෙහි අවධානය
යොමු කෙරේ.
තරහව පාලනය කර ගැනීම සඳහා සම්පූර්ණ බුද්ධ චරිතය ම ආදර්ශවත් කර ගත
හැකිය. බුදුන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි ම මෛත්‍රීය දැක් වූ සේක.
උන්වහන්සේ කෙරෙහි නින්දා, අපහාස, හිරිහැට කරදර කළ දේවදත්ත තෙරුන්
වහන්සේ විංචිමානවිකාව, උදේනි කෝසම්බි රජුගේ බිරිඳ වැන්නවුන් කෙරෙහිද
තමන් වහන්සේට බොහෝ කුළුපගව සිටි ආනන්ද, නන්ද, රාහුල තෙරුන් වහන්සේ
කෙරෙහි මෙන් එම මෙත් සිත එක සමාන වූ බව බෞද්ධ පොතපත කියයි.
තරහව ඇතිවීම කෙරෙහි බෙහෙවින් බලපාන සාධක ලෙස විවේචනයන්, නින්දා, අපහාස
ආදිය හඳුනා ගත හැකිය. බුදු දහමේ සඳහන් වන අටලෝ දහම ඉගැන්වීමට අනුව
පුද්ගලයාට කෙදිනක හෝ මුහුණ දීමට සිදුවන ධර්මතාවයන් අටකි. ලෝකයේ අප
සියලු දෙනාම පාහේ පුරුදු වී ඇත්තේ, ලෝකයෙන් ප්‍රසංසා, ගෞරවයන්,
පිළිගැනීම්, ලාභ සත්කාර සම්මානයන් බලාපොරොත්තු වීමට ය. එහෙත් ඒවාට
ප්‍රතිපක්ෂ නින්දා අපහාසයන් ආදිය ද බලාපොරොත්තු නොවූවද යම් දිනෙක
අත්දැකීමට සිදුවීම විය හැකි බව අප තේරුම් ගත යුතු වේ. ඒ අනුව අප තුටු
කරන සාධක ඉදිරියෙහි සතුටින් ඉපිල යන්නා සේ අප දුකට, කනස්සල්ලට හෝ
අපහසුතාවයන්ට පත්කරනු ලබන සාධකයන්හි දී කෝප නොවී, තරහ බවින් මිදී
හැසිරීමට ද උත්සාහ ගැනීම හෙවත් අටලෝ දහමින් යම් පමණකට හෝ නොසැලී සිටීමට
උත්සාහ කිරීම අවශ්‍ය වේ. බුදු දහමට අනුව ලෝකයේ නින්දා නොලබන්නෙකු නැත.
(නත්ථි ලොකෙ අනින්දිතෝ) එබැවින් අප සියලු දෙනාටම නින්දා ආදියෙන්
ගැලවිය නොහැකි බව හා එවැනි ප්‍රතිචාරයන් අභිමුව සන්සුන්ව ක්‍රියා කිරීම
වඩාත් සුදුසු චර්යාවන් වේ.
තරහව අත්විඳීන සෑම විටකම අප තුළින් දක්නට හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ,
එම තරහාවේ ඉලක්කයෙහි සෘණාත්මක පැතිකඩ පිළිබඳ පමණක් දැකීම, කල්පනා කිරීම
හෝ සංජානනයයි. අපි තරහවෙන් සිටින විට නිතරම මිනිසුන්ගේ වැරදි, නරක
පැති, ගුණාංග චරිත ලක්ෂණ දැකීමට පුරුදු වී සිටිමු. මේ වෙනුවට අදාළ
වස්තුවෙහි හෝ පුද්ගලයාගේ හොඳ යහපත්, වටිනා, වැදගත් ගුණාංගයන්, චරිත
ලක්ෂණ, දැකීමටත් කල්පනා කිරීමටත් පුරුදු විය යුතු වේ. එමගින් තරහවට
අදාල පුද්ගලයින් පිළිබඳ අපගේ සංජානනය නිවැරදි වීමෙන් තරහව ඇතිවීම,
පැසවමින් දිගුකල් පවත්වා ගැනීම අඩුකර ගත හැකිය.
තරහව පාලනය කර ගැනීම සඳහා ඉවහල් වන ඉගැන්වීම් බුදු දහමේ කර්මය පිළිබඳ
ඉගැන්වීම තුළින් ඉදිරිපත් වේ.
ඊට අනුව අයහපත් වචන ප්‍රකාශ කිරීම, ක්‍රියාවන් කිරීම හා සිතිවිලි ඇතිකර
ගැනීම අයහපත් ප්‍රතිඵල ගෙන දීමට හේතු වේ. තරහව සිත් ඇතිවන අයහපත්
චිත්තවේගයකි. එය පුද්ගලයා බොහෝ අයහපත් චර්යාවන්, දුෂ්කරතාවයන්,
හිංසනයන්, ආක්‍රමණශීලී චර්යාවන්, විහිංසනයන් හා අපරාධී හැසිරීම් කෙරෙහි
යොමු කරවයි. මෙම සියල්ලෙහි ප්‍රතිඵල, ආදීනව ඉතා භයානක විය හැකිය. ඒ
අනුව තරහව පුද්ගලයා දුකට කරදරයට පත්කරවීමට හේතු වන ආකාරය බෞද්ධ කර්ම
න්‍යාය මගින් තේරුම් ගත හැකිය. අන් අය නිසා වුවද තම සිතේ තරහව ඇති කර
ගැනීම තමාට බොහෝ දුක් ඇතිවීමට හේතු වන බැවින් තරහව උපදින හැම විටම ඉන්
මිදීමට උත්සහ ගැනීම වැදගත් වේ.
අප අත්විඳින තරහවේ ඉලක්කය බොහෝ විට භෞතික වස්තූ®න්ට වඩා අප ඇසුරු කරන
අප වටා සිටින පුද්ගලයන් ය. අන්‍යයන් කෙරෙහි අප තුළ ඇති වන තරහව පාලනය
කර ගැනීම සඳහා යොදාගත හැකි පාඩමක් වශයෙන් බුදුදහමේ සංසාරය පිළිබ¼ඳ
ඉගැන්වීම් සැළකිය හැකි වේ. ඊට අනුව අපි සියලු දෙනා ඉපදෙමින් මැරෙමින්
නැවත ඉපදෙමින් සසරෙහි ගමන් කරන්නෝ වෙමු. එම සසර ගමන තුළ අප මවක්,
පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, බිරිඳක්, සැමියෙක්, පුතෙක්, දුවක්,
යහළුවෙක්, නෑදෑයෙක් හෝ අසල්වැසියෙක් වී සිටින්නට ඇත. වර්තමානයෙහි අපගේ
තරහවේ ඉලක්කය වී ඇත්තේ, පෙර භවයක තම මව, පියා , සහෝදරයා, සහෝදරිය,
නෑදෑයා, යහළුවා, දුව හෝ පුතා වීමට බැරිකමක් නැත.
එමෙන්ම අපගේ් ජීවිතය පවත්වා ගැනීම සඳහා අප වටා සිටින්නන් බෙහෝ
ආකාරයන්ගෙන් උපකාරී වන බව කල්පනා කිරීම සුදුසුය. එනම් අප ආහාරයට ගන්නා
ආහාර, බීමට ගන්නා ජලය, අඳීන ඇඳුම් මෙන්ම වාසය කරන නිවාස ආදිය සඳහා
ඔවුන්ගේ දායකත්වයන් විවිධාකාරයෙන් සැපයේ. තමාට උපකාර කළවුන්, සම්බන්ධතා
ඇතියවුන් කෙරෙහි තරහව ඇති කර ගැනීමට නොව මෛත්‍රී සහගතවීම පුරුදු කර ගත
යුතු වේ. ඒ අනුව සමාජයේ සියලු දෙනා තමාට බොහෝ ආකාරයන්ගෙන් සම්බන්ධ හා
උපකාරී වන බැවින් එම සම්බන්ධතා සලකා තරහව පාලනය කර ගැනීමට උත්සහ ගත
යුතු වේ.
පාලනය කරන ක්‍රම
තරහව පාලනය කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකි වඩාත් ප්‍රායෝගික ක්‍රම
ශිල්පයක් ලෙස බුදුසමයේ සඳහන් වන ‘දානය’ හඳුනා ගත හැකිය. තම තරහකරුවන්,
සතුරන් මිතුරන් බවට පත්කර ගැනීමේ සරලම ක්‍රමය මෙය වේ. සාමාන්‍යයෙන් අප
පුරුදුව ඇත්තේ අප තරහ ගස්වන පුද්ගලයන්ගේ මුහුණ දෙසවත් නොබලා ඔවුන්ගේ
දර්ශනයෙන් ද ඉවත්වීමට ය. මෙයින් දෛනික ව තරහව මේරීමක් වැඩීමක් මිසක
සංසිඳීමක් නැති වී යාමක් සිදු නොවේ. දානය, පරිත්‍යාගය හෙවත් යමක්
කෙනෙකුට දීම මගින් පුද්ගලයා සතුටු කළ හැකිය. ඒ අනුව අසතුටින්, තරහින්
සිටින පුද්ගලයා යමක් ලබන විට සතුටු වෙමින් තරහව වෙනුවට යාහළුකම,
මිත්‍රත්වය, කුලුපගතාව ඇතිකර ගත හැකිය. මේ නිසා තරහ කරුවන් කෙරෙහි තරහ
සිත් ඇතිකර ගනිමින් විරුද්ධව ක්‍රියාකිරීම වෙනුවට සමීප වෙමින් මිතුරන්
ලෙස කටයුතු කිරීමට දානය උපකාර කර ගැනීම තරහව පාලනයට හා නැතිකර ගැනීමට
උදව් වේ.
බෞද්ධ සාහිත්‍යය පුරා පැතිර ඇති බෞද්ධ චරිත කතා ද තරහව පාලනය කර ගැනීම
සඳහා ආදර්ශයන්, ආකෘතීන් සපයයි. අප තරහව අත්දකින විට එම චරිතයන් සිහියට
නගා ගැනීම තරහ මුසු අවස්ථාවන්හි දී ක්‍රියා කළ යුතු ආකාරය මතක් කර දීමට
ඉවහල් වේ.
එකිනෙකාට විරුද්ධව ගමන් කිරීම තරහව වර්ධනය කරයි. එක් පාර්ශවයක් හෝ
ප්‍රතිචාර නොදක්වන්නේ නම් අනෙක් පාර්ශ්වය පමණක් ඉදිරියට නොයයි.
ප්‍රතිචාර නොදැක්වීම කිසිවෙකුගේ දුබලකමක්, අසමර්ථතාවයක් නොවේමය. තම
ඉඳුරන් තිදොර පාලනය කර ගැනීම කුසලතාවයකි.
එම කුසලතාවය සෑම දෙනාටම නැති බැවින් තම හැකියාව, කුසලතාවය පිළිබඳ සතුටු
විය යුතු වේ. එම කුසලතාවයන් වර්ධනය කර ගැනීමටත් තරහව පාලනයටත් බෞද්ධ
චරිත කතා යොදා ගැනීම සඳහා යොමුවීම වැදගත් වේ.
මුලින් සඳහන් කළ පරිදි තරහව සෘණාත්මක හෙවත් නිෂේධනාත්මක චිත්තවේගයකි.
පුද්ගල මනසේ ඇතිවන එවැනි බොහෝ චිත්තවේගයන් පාලනය කර ගැනීම සඳහා වන
ක්‍රම ශිල්ප කිහිපයක් සබ්බාසව සූත්‍රයෙහි සඳහන් වේ. එම ක්‍රම ශිල්ප
තරහව ඇති වන අවස්ථාවන්හි දී භාවිතා කිරීමෙන් තරහව පාලනය කරගත හැකි වේ.
සූත්‍රයෙහි සඳහන් වන ක්‍රම ශිල්ප පහත පරිදි වේ.
දස්සනා - තරහව ආදී කෙලෙස් දැකීම
සංවරා - ඉන්ද්‍රියන් සංවර කර ගැනීම, පාලනය කර ගැනීම
අධිවාසනා - තරහවට යට නොවී ඉවසා සිටිමි
පරිවජ්ජනා - තරහව ඇති කරවන, වැඩි කරවන සාධකවලින් ඉවත්වීම
විනෝදනා - තරහව කෙලෙස් ඉවත් කර ගැනීම
තරහව සම්බන්ධ ව කටයුතු කිරීමේදී ඉහත ක්‍රම ශිල්පයන්ගේ වැදගත්කම කියා
නිම කළ නොහැකිය. තම සිතේ තරහව දැකීමට අපි උත්සාහ කළයුතු වෙමු. සිතේ
තරහව ඇතිබව දැකීම නිසා තරහව සම්බන්ධව ක්‍රියා කිරීමට කටයුතු කළ හැකි
වේ.
තරහව ඇතිවීම මෙන්ම වැඩිවීම කෙරෙහිද ඉන්ද්‍රියන්ගේ අසංවරය හේතු වේ. රූපය
සමඟ ඇලීම් හෝ ගැටීම් ඇතිවීම කෙරෙහි හේතුවන්නේ ඉන්ද්‍රියන්ය. ලෝකය
කෙරෙහි ඇලීමත් ගැටීමත් දෙකම තරහව ඇතිවීමෙහිලා බලපායි. එබැවින්
ඉන්ද්‍රිය සංවරය ඉතා වැදගත් වේ. තරහවට යටත්වීම හෝ තරහාවේ වහලෙකු වීම තව
තවත් තරහව ඇතිවීම හෝ වැඩිවීම කෙරෙහි බලපායි. එබැවින් වඩාත් උචිත ක්‍රමය
නම් තරහව ඉවසා සිටීමයි. තරහව ඇතිවිටෙක පොදුවේ සියලු දෙනාටම අනුගමනය කළ
හැකි ක්‍රම ශිල්පයක් ලෙස තරහව ඇති කරවන සිද්ධි, අවස්ථාවන්, පුද්ගලයින්
වැනි සාධක වලින් ඉවත්වීම සැළකිය හැකිය. එමඟින් තම සිතේ තරහව ඇතිවීම
මෙන්ම වැඩිවීම ද අඩුවේ. ඒ අනුව ඉහත ක්‍රම ශිල්ප ප්‍රායෝගික ව පුහුණු
කිරීම ඉතා වැදගත් වේ. මෙත්තානිසංස සූත්‍රය හා කරණීයමෙත්ත සූත්‍රය ආදිය
ද තරහව උපදින හැම විටකම තරහව වෙනුවට මෛත්‍රීය හුරුකර ගැනීමට උගන්වයි.
පුද්ගලයාගේ කය, වචනය, හා සිත හැඩගැස්වීම සඳහා මඟ පෙන්වන ඉගැන්වීම්
ඇතුළත් සූත්‍රයක් ලෙස රාහුලෝවාද සූත්‍රය සැළකිය හැකිය. ඊට අනුව ඕනෑම
ක්‍රියාවක් වචනයක් හෝ සිතිවිල්ලක් කිරීම කීමට හෝ සිතීමට පෙරත් පසුවත්
තමන්ට, අන්‍යයන්ට හා ;දපාර්ශ්වයටම යහපතක් සිදුවේ නම් හා හොඳ ප්‍රතිඵල
ඇති කරයි නම් එවැනි ක්‍රියාවන් කළ යුතුවේ. වචනයන් කිව යුතු වේ. හා
සිතිවිලි පමණක් සිතිය යුතු වේ.
ඊට විරුද්ධව, නරක ක්‍රියා, වචන හා සිතිවිලි බොහෝ විනාශ, අපරාධ ඇතිකරයි.
තරහව නරක චිත්තවේගයකි. එය තමන්ටත්, අන්‍යයන්ටත් දෙපාර්ශවයටම අහිතකර
ප්‍රතිඵල ඇති කරයි. ඒ අනුව කැඩපතකින් මුහුණ පරීක්ෂා කරන්නාක් මෙන් සිත,
සිතිවිලි මැනවින් පරීක්ෂා කරමින් තරහවේ ආදීනව නරක ප්‍රතිඵල සලකමින් එය
පාලනය කර ගැනීමට වෙහෙසිය යුතු වේ.
තරහව ඇතිවීම කෙරෙහි බලපාන තවත් සාධකයක් ලෙස තමනට අවශ්‍ය පරිදි යම් යම්
දෑ ඉටු නොවීම හඳුනාගත හැකිය. එනම් යම් වැඩක් කෙනෙකු ලවා ඉටුකරවා ගැනීමට
අපේක්ෂා කරන විට එය බලාපොරොත්තු වූ ආකාරයෙන් සිදුනොවන විට තරහව ඇතිවේ.
මෙවැනි විටෙක අප කල්පනා කළ යුත්තේ අපට අවශ්‍ය පරිදි ලෝකය නොපවත්නා
බවයි. ඉහතින් සාකච්ඡා කොට ඇත්තේ තරහව අත්විඳීන විටෙක ඉන් මිදීම සඳහා
උපකාරී විය හැකි ඉගැන්වීම් කිහිපයකි.
ඒවා තරහව ඇතිවන විටෙක ක්‍රියාකළ යුතු ආකාරය සිහිකර දෙයි. ඒවා
ප්‍රායෝගිකව භාවිතයට ගැනීමෙන් අපගේ කායික සෞඛ්‍යය හා මානසික සෞඛ්‍යය
මැනවින් පවත්වා ගත හැකිය. |