UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මොරටුව ලුනාව උයන ශ්‍රී බෝධිරාජාරාමය


දර්ශනපති
අගලකඩ සිරිසුමන හිමි

මොරටුව, ලුනාව ගම්මානය, ගාලුපාරේ කුරුස හන්දියේ සිට ඇරඹෙන උයන පාර ඔස්සේ ගොඩ නැගී ඇති සුන්දර ගම්මානයකි. බෞද්ධ හා ක්‍රිස්තියානි භක්තිකයින් සහජීවනයෙන් වාසය කරන මෙම ගම්මානය, මොරටුවට ආභරණයක් සහ වටිනා සෞන්දර්යය උරුමයක් වන ලුනාව කලපුව එක් පැත්තකින් ද සුන්දර මුහුද වෙරළ තීරය අනෙක් පසින් ද පිහිටි භූමි ප්‍රදේශයක් තුළ පිහිටා තිබෙයි.

මෙම ගම්මානයේ වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික ජීවිත වෙනුවෙන් සැකසුණු ප්‍රධාන විහාරස්ථාන දෙකකි. ශ්‍රී විශුද්ධාරාමය පැරණි විහාරස්ථානය වන අතර එය මුල් කොට වාර්ෂිකව පැවැත්වෙන පෙරහර ලුනාව පෙරහර ලෙස ශ්‍රී ලංකාව පුරාම ජනපි‍්‍රයව පවතී.

ශ්‍රී බෝධිරාජාරාමයට දීර්ඝ ඉතිහාසයක් නොමැති වූවද එම ස්ථානය ගොඩ නැගී ඇත්තේ ඓතිහාසික බෝධීන් වහන්සේ කේන්ද්‍ර කොට ගෙන ය. විහාරස්ථාන භූමිය වසා පැතිරුණු බෝධිරාජයන් වහන්සේ බැතිබර ජනතාවගේ චිත්තාපේක්‍ෂා ඉටු කර දීමේ අනුහස් ඇතිබෝධියක් ලෙස පිළිගැනීමට ලක්ව තිබෙයි. එබැවින් ගම්වාසීන් තමන්ගේ දුක් දොම්නසේ දී මෙන්ම සොම්නසේදී ද බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට හුරු පුරුදු වීම අතීතයේ සිටම සිදුව තිබෙයි. ඔවුන්ට බෝධිරාජයන් වෙතින් ලද මෙම මානසික සහනය හේතුවෙන් පසුකාලීනව මෙහි විහාරස්ථානයක් බිහිවන්නට හේතු වෙයි.

ආරම්භයේ ඉතා කුඩාවට ඇරඹි විහාරස්ථානය වර්තමානයේ ප්‍රදේශයේ සියලු ආගමික සමාජයීය කටයුතු සිදු කෙරෙන ආගමික කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙයි. බෝධීන් වහන්සේ වෙතට පැමිණෙන බැතිමතුනට පහසුවෙන් තම වැඳුම් පිදුම් සිදු කර ගැනීමට අලංකාර බෝධි ඝරයක් ඉදිව තිබෙයි. සමාධි බුදුරුව සහිත බුදුමැදුර ද ඉදිවෙමින් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේ ද විහාරස්ථානය අංග සම්පූර්ණ, තත්ත්වයට පත් කිරීමට දායක වෙයි.



ආවාස පහසුකම් සහිත පුස්තකාල ධර්මශාලා නව තෙමහල් ගොඩනැගිල්ල


බෝධි රාජයාණන් වහන්සේ


විහාරස්ථානය ආසන්නයේ ඇති ලුනාව කලපුව

විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝරත්නයට පහසුවෙන් භික්‍ෂු ප්‍රතිපදාව රැක ගැනීම සඳහා අවශ්‍ය ආවාස පහසුකම්, පුස්තකාල, ධර්මශාලා, සහිත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවීම ලුනාව ගම්මානයට ලද අනගි දායාදයක් වැන්න. රුපියල් මිලියන පහළොවක් මේ සඳහා ධනය වැය වූ අතර වර්ෂ දෙකක් තුළ මෙය ඉදි කිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. මේ ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු සියල්ල සිදු කෙරුණේ සාමය හා දයාව සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්‍ෂිකා පර්මන් ජාතික උර්සුලා බෙයර් මහත්මියගේ මෙහෙයවීමෙනි. බුදුදහමේ එන කරුණාව හා දයාව දර්ශනයක් ලෙස පෝෂණය කොට තමාගේ දර්ශනය බවට පත් කර ගනිමින් මෙතුමිය “සුදු අම්මා” නමින් රටපුරා දුගී ජනයා හඳුනාගෙන තිබෙයි. ජර්මනිය ඇතුළු විවිධ රටවල වෙසෙන පරිත්‍යාගශීලින්ගේ ආධාර මුදල් යොදවා ලුනාව ශ්‍රී බෝධි රාජාරාමයේ ඉදි කළ මෙම ධර්ම මන්දිරය මගින් සමාජ කටයුතු රාශියක් ම මේ වන විට ආරම්භව තිබෙයි.

ශ්‍රී සුමංගල දහම් පාසල දෙවසරක් තුළ ශිෂ්‍යයන් තුන්සීය ඉක්මවා ගිය ගුරුවරුන් විසි පස් දෙනකුගෙන් යුතුව ප්‍රදේශයේ බාල පරම්පරාව සංස්කෘතික දරුවන් බවට පත් කරලීමේ වැදගත්ම කාර්යය විහාරස්ථානය කේන්ද්‍රකොට සිදු වෙයි. ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පිහිටි ඒ.බී. මවුරි සමාගම දහම් පාසලේ දරුවන්ට දිවා ආහාරය පිරිනැමීම ආරම්භයේ සිටම සිදු කෙරෙයි. එමෙන්ම මෙම වසරේ ඇරඹි බෝ සෙවන පෙර පාසල ගම්වැසි දරුවන්ට බෞද්ධ ආගමික පරිසරයක හැඩ ගැසෙන්නට මග පෙන්වන වැදගත් මෙහෙවරක් ඉටු කරයි. සේව්ද චිල්රන් ආයතනය මේ සඳහා අවශ්‍ය මූලික සම්පත් සියල්ල සපයා දී තිබෙයි. කොටපොල අමරකිත්ති, අක්මීමන දයාරතන හිමිවරුන්ගේ විමධ්‍යගත අරමුදල් මත දහම්පාසලට අවශ්‍ය සියලු ඩෙස් පුටු සපයා තිබීමද සිහිපත් කළ යුතු ය.

මේ හැර අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය ක්‍රියාත්මක කරවන වෘත්තිය පාඨමාලා ප්‍රදේශවාසී විරැකියාවෙන් යුතු තරුණියන්ට විශාල අතදීමක් කර තිබෙයි. සණස සංවිධානය, සමෘද්ධි සංවිධානය හා තවත් විවිධ තරුණ, ළමා සංවිධාන ද ආරම්භ වී ඇති අතර, ගම්මානයෙහි විශාල සමාජ සංස්කෘතික පෙරළියක සමාරම්භය මේ ඔස්සේ සිදුව තිබෙයි. බෞද්ධ ජනයා පමණක් නොව අනෙකුත් ආගමිකයන්ට ද මෙම ප්‍රතිලාභ ලබා ගන්නට අවස්ථාව සලසා තිබීම විශේෂයෙන් වැදගත් කරුණක් වෙයි.

අලංකාර ලුනාව කලපුව සමීපයෙහි මහා සමුදුර පේන තෙක් මානයෙහි පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාමය ඔස්සේ වර්තමානයේ මුළු ගම්මානය ම පිබිදී තිබෙයි. දුප්පත් පොහොසත් කිසිදු බේදයකින් තොරව ජනතාවගේ සියලු ආගමික සමාජීය අවශ්‍යතා ඉටු කෙරෙන විහාරස්ථානය ලුනාව කලපුවට එක් කර ඇත්තේ ද අලුත් චමත්කාරයකි.

ඉතා කෙටි කාලයක් තුළ මෙම විහාරස්ථානය මෙලෙස සංවර්ධනය කරලීම පිණිස ප්‍රධාන නායකත්වය සම්පාදනය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. තරුණ යතිවරයෙකු වශයෙන් ප්‍රබුද්ධ සමාජයේ හැම දෙනාගේ ගෞරවාදරයට ලක්ව ඇති අගලකඩ සිරිසුමන හිමියන් ජනතාවගේ සිත් නිවන ධර්ම දේශකයෙකු වශයෙන් බුදුදහමට ඉටු කරන්නේ ෂපුල මෙහෙවරකි. උන්වහන්සේගේ ජාතික ආගමික මෙහෙවර ලුනාව ශ්‍රී බෝධිරාජාරාමයට පමණක් නොව මොරටුව ප්‍රදේශයටම විශාල ශක්තියක් ව තිබෙයි. ලුනාව ගම්මානයේ ජනතාවගේ ශාසනික සංස්කෘතික සාරධර්ම සංවර්ධනය කරලීම පිණිස විශාල අනාගත දර්ශනයකින් ක්‍රියා කිරීමට ශ්‍රී බෝධිරාජාරාමය ආශි‍්‍රතව මෙම ජූලි මස 24, 25, 26 දිනවල ශාසනික කටයුතු රාශියක් සිදුකෙරේ. එහිදී උත්සවාකාරයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ජාතියට පිදෙයි . මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දෙසිය නමක් මේ වෙනුවෙන් ලුනාව ගම්මානයට වැඩමවීමත් පාර්ලිමේන්තුවේ කථානායක ධුරන්ධර වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් රාශියක් මේ සඳහා සහභාගී වීමත් මෙම අවස්ථාවේ ලුනාව ගම්මානය ලද ආශිර්වාදයක් වන්නේ ය.

ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය අනාගතයේ සියලු ජනතාවගේ සිත් පහන් කරවන ධර්මාලෝකයේ කෙම් බිමක් බවට පත්වේවා.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]