Budusarana Online Edition

UNICODE
[UNICODE]

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ අගෝස්තු මස 20 වැනිදා සඳුදා

 www.lakehouse.lk/budusarana | බෞද්ධ දර්ශනය . . . |

ආරෝග්‍ය මදය

“අහං අරෝගෝ, අවසේසා රෝග බහුලා. ගද්දූහන මත්තම්පි මයිහං ව්‍යාධි නාම නක්‍ෂීති උප්පන්නො මානෝ”

මම නිරෝගී පුද්ගලයකු වෙමි. අන් අය රෝග බහුලයෝ ය. මට සෙම්ප‍්‍රතිශ්‍යාවක් තරම්වත් රෝගයක් නැතියි ඇති කරගන්නා වූ මානය ආරෝග්‍ය මදය නම් වේ. නිරෝගී බව උතුම්ම ලාභය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පසේනදී කොසොල් රජතුමා වැනි රාජ්‍ය නායකයකුට ය. සියලු සම්පත් නො අඩුව තිබුණත්, ඔහුට නැති වූයේ නිරෝගී සම්පතයි. එය ද සුව කළ නොහැකි අසාධ්‍ය රෝගයක් නොව, ඕනෑවට වඩා ආහාර ගැනීම නිසා ඇති වූ මත් බවත්, නිදිමත ගතියක් ආදී වූ අපහසුතා ය.

නිරෝගී පුද්ගලයකු වීම, ප‍්‍රතිපත්ති පුරණයේදී ද ඉක්මන් ප‍්‍රතිඵල ලබා ගැනීමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එපමණක් නොව නිරෝගී බව ඇගැයීමට ලක් කළේ එවැනි අයට තනතුරු ද ප‍්‍රදානය කිරීමෙනි. බක්කුල හාමුදුරුවන්ට තනතුරු ප‍්‍රදානය කිරීම එවන් අවස්ථාවකි. “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං අප්පාබාධානං යදිදං බක්කුලො” හුදු ප‍්‍රාර්ථනාවෙන් පමණක් නිරෝගීකම ලබාගත නොහැකි බව මේ බක්කුල ථෙරාපදානයෙන් පැහැදි වෙයි.ඒ සඳහා උපයෝගී වන පින්කම් රාශියක් පෙර භව වලදී බක්කුල හිමියන් විසින් සිදුකොට ඇත. එකක් නම් අනෝමදස්සී බුද්ධෝත්පාද කාලයේ දී බමුණුකුලයක ඉපිද එම බුදුරදුන්ට ඇති වූ උදරාබාධයකට කැලයෙන් බෙහෙත් සොයා ගෙනැවිත් දී එම උදරාබාධය සුවකිරීම ය. නැවත පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී අප්පාබාධ ඇත්තවුන් අතුරෙන් අග තනතුරු ලත් භික්‍ෂුවක් දැක තමන්ද එවැනිම තනතුරක් ලබාගැනීමට ප‍්‍රාර්ථනා කර ඇත. විපස්සී බුදුරදුන්ගේ කාලයේ දී ද භික්‍ෂූන්ට උපත් රෝගයකට බෙහෙත් සපයා දී ඇත. අද බොහෝ දෙනෙක් නොදන්නා, එමෙන්ම ගණන් නොගන්නා සුවිශේෂ වටිනා පින්කමක් ද කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ දී බක්කුල හාමුදුරුවන් විසින් සිදු කොට ඇත. එනම් ජරාජීර්ණව, විනාශ වෙමින් පැවැති එක්තරා විහාරස්ථානයකට උපෝසථාගාර සහිත ආවාස ගෘහයක් කරවා දීම ය. එපමණක් නොව ගරා වැටෙමින් පවතින චෛත්‍යස්ථාන මාර්ග, ඒදඬු, පාලම්, අම්බලම් වැනි පොදු වස්තු අලුත්වැඩියා කිරීමෙන් ඇතැම් නිදන්ගත රෝගවලින් පවා සුවය ලැබූ අවස්ථා අපට පැරැණි පොතපත කියාදෙයි.

සත්වයාට රෝගාබාධ වැළඳෙන විවිධ හේතුකාරක කීපයක් ගිරිමානන්ද සූත‍්‍රය අපට හෙළි කරයි. ඕනෑකමින් රෝගාබාධ හදාගෙන ඒවා පූර්ව කර්මයට භාරදෙන ඇතැම් පුද්ගලයන්ට මේ සූත‍්‍රය නිසි පිළිතුරු දෙයි. ශරීරගත වා, පිත්, සෙම් කිපීමෙන් රෝග වැළඳෙන්නේ තුන් දොස් කිපීමට හේතුවන ආහාර පාන ගැනීමෙනි. සෘතු විපර්යාසයෙන් ද ලෙඩ රෝග වැළඳෙන අතර ස්වභාව ධර්මයේ වෙනස්වීම් නිසාද වසංගත රෝග පැතිරීම නිසා ද රෝගාබාධ වැළඳෙයි. (උතු පරිනාමජා) විසම වූ ඇවතුම් පැවතුම් නිසා ද (විසම පරිහාරජ) සතුරන්ගේ විවිධ උපක‍්‍රම නිසා ද (ඕපක්කමිකා) රෝගාබාධ වැළඳෙන බව එහි දක්වා ඇත. ඇස, කණ, නාසය, දිව, ශරීරය යන සලකාංගයෙහිම ඇතුළත පිටත දෙකේම රෝග සෑදේ. රහත්වීමේ වාසනාව තිබියදීත් චක්ඛුපාල හාමුදුරුවන්ගේ ඇස් අන්ධ වූයේ, කර්ම විපාකයකිනි. (කම්මවිපාකජා ආබාධා)

සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය ආදී තවත් රෝග රාශියක් ද එහි ලැයිස්තුගත කොට ඇත. මේ අතර දිනපතා දිවා, රාතී‍්‍ර දෙකේම පිළියම් කොටත් සුව නොවන නිසා බඩගින්න පරම රෝගය බව ද දේශනා කළහ. (ජිගච්ඡා පරමා රෝගා) පුරාණ ශාන්ති කර්ම වල පැවසෙන ආකාරයට මේ ශරීරය තුළ අටානුවක් රෝග, නවානූවක් ව්‍යාධි වැළඳෙන්නේ නම්, නිරෝගිකම මොන තරම් උතුම් සුවයක් විය හැකි ද? සියලු කෙලෙසුන් නැසීමෙන් පූර්ණ මානසික නිරෝගී භාවය ලැබූ ආර්යයන් වහන්සේ ද කායික රෝගයන්ට ගොදුරු වූ අවස්ථා බෞද්ධ සාහිත්‍ය ය තුළ දක්නට ඇත. ඒවා බොහෝ විට කර්ම විපාකජ ආබාධයෝ ය. මහා කාශ්‍යප මහා මොග්ගල්ලාන, මහා චුන්ද ආදී මහ රහතන් වහන්සේ ද, භාග්‍යවතුන් වහන්සේ ද ගිලන් වූ අවස්ථාවලදී සප්ත බොධ්‍යාංග ධර්මයන්ගේ බලයෙන් සුවපත් වූ බව එම සූත‍්‍ර වල දැක්වෙයි.

ලෞකික දියුණුව සලසා ගැනීමේ දී මුලින්ම තිබිය යුතු ලක්‍ෂණය හැටියට දක්වා ඇත්තේ නිරෝගී සුවයයි. අධ්‍යාපනය, රැකීරක්‍ෂා, ව්‍යාපාර ආදී කිසිවක් රෝගීව සිට කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ළඟා කර ගත නොහැකි ය.

ආරෝග්‍ය මිච්ඡේ පරමං ච ලාභං
සීලංච වුද්ධානුමතං සුතංච
ධම්මානුවන්තී ච අලිනතා ච
අත්ථස්ස ද්වාරා පමුඛා ජලේතෙ

ඥානයෙහි ලක්‍ෂණ දහයක් ඇති බව දක්වන සංස්කෘත සාහිත්‍යය, නිරෝගී බව ද එහි දෙවන ස්ථානයට ඇතුළත් කර ඇත.

“අක්‍රොධ මාරොග්‍ය ජිනේන්ද්‍රියත්වං..”

බුදුරජාණන් වහන්සේ තමන් තුළ යම් ආරෝග්‍ය මදයක් වී නම්, එය ප‍්‍රභාණය කර ගැනීමට යොදා ගත් ක‍්‍රමයක් පිළිබඳ වැදගත් පාඩමක් අංගුත්තර නිකාය අපට කියා දෙයි.

“අහං චෙව ඛොපන ව්‍යාධිධම්මො සමානො ව්‍යාධිං අනතීතො පරං ව්‍යාධිතං දිස්වා අට්ටීයෙය්‍යං හරා යෙය්‍යං - ජිගුච්ඡෙය්‍යං න මෙ තං අස්ස පතිරූපං” (අ.නි.3.1.4.9)

තමන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකුව, ව්‍යාධිය නොඉක්මවූවකුව ව්‍යාධියට පත් තවත් කෙනකු පිළිකුල් කරන්නේ නම් එය තමන්ට තරම් නොවන්නේ යැයි නුවණින් සලකා, ආරෝග්‍ය මදය සර්වප‍්‍රකාරයෙන් ප‍්‍රහීණ කළ බව, එහිදී දේශනා කොට ඇත.

රෝග මෙන්ම රෝගීන් ද දවසින් දවස වැඩිවන මෙවන් යුගයක, ජීවිතයේ යථාර්ථය දකින්නෙකුට එය කොතරම් අනගි අවස්ථාවක් කරගත හැකි ද? රෝගයකු දකින, ඒ පිළිබඳ ආරංචි වන සෑම අවස්ථාවකට “ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධිං අනතීතෝති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” යි දෙසූ පරිදි අනේ මමත් මොහු මෙන් ව්‍යාධිය උරුම කොට ඇත්තකු වෙමි යැයි නිරන්තර භාවනාවක් සේ ප‍්‍රත්‍යවේක්‍ෂා කළ යුතු බව, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. රෝගියකුට උපස්ථාන කිරීමේ පින නිසා තමන්ට නිරෝගී සුවය ලැබීමත්, තමන් ද රෝගියකු වූ විට තමන්ට උපස්ථාන කිරීමට පිරිස් ලැබීමත් සිදුවෙයි. එය, එහි යහපත් ප‍්‍රතිඵලයෝ වෙති.

මෙසේ පරම ලාභයක් වූ නිරෝගිකම මදයක් කරගෙන සමහර මානසික රෝගීන් බවට පත් වෙති. එසේම තවත් අය ඇති රෝග වසාගෙන, හංගා ගෙන, තමන්ට කිසිම රෝගයක් නැතැයි මහත් උජාරුවෙන් කතා කරති. “මට නම් ජීවිතේටම රෝහලක ගත කර නැතැයි” කියමින් කාමරේ මේස ලාච්චු වල පෙති, කරල්, ඉන්ජෙක්ෂන්, තෙල්, කී‍්‍රම් වර්ග, පමණක් නොව ඊටත් වඩා වෛද්‍ය උපකරණ ද ගොඩගසා ගෙන ඇති ලෙඩ, හංගාගෙන හොරෙන් බෙහෙත් කරමින් තමන්ට කිසිම ලෙඩක් නැතැයි කීම, නම්බුකාරකමක් ලෙස සිතන අය ද සිටිති.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]