Budusarana

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana || මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |


අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]


Editorial

අධ්‍යාපනයේ හෙට දවස

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයෙහි 26(1) වගන්තිය වෙත අප පාඨකයන් ගේ අවධානය යොමු කැරීම මැනවැයි සිතමු.

“අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයකුට ම අයිතියක් ඇත්තේ ය. ප‍්‍රාථමික හා මූූලික අවස්ථාවල දී පමණක්වත් අධ්‍යාපනය නොමිලයේ විය යුතු ය. ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතු ය. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට සාමාන්‍යයෙන් අවස්ථාව සැලැසිය යුතු වන අතර, දක්ෂතා පදනම් කොට උසස් අධ්‍යාපනය අත්කැර ගැනීමේ අවස්ථාව සමාන ව සැලැසිය යුතු ය.”

අධ්‍යාපනය නමැති මානව අයිතිය වෙත අප පාඨකයන් ගේ අවධානය යොමු කැරිමට විශේෂ හේතුවක් තිබේ. ඒ අන් කිසිවක් නිසා නො ව, රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමේ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය නිසි ලෙස තේරුම් ගැනීම පිණිස ය.

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැරීමේ දී කි‍්‍රයාත්මක වූ අංක 2006/20 දරන චක‍්‍ර ලේඛයෙහි ඇතැම් කොන්දේසි මගින් මූලික අයිතිවාසිකම් කඩවීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නව නිර්දේශ කිහිපයක් ලබා දී තිබිණි. පසුගිය 8 වන දා පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන විවාදයේ දී එම නිර්දේශ පිළිබඳ ව දැඩි විවේචන එල්ල විය. අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා පළ කැර ඇති මේ අදහස් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ගැන පාඨකයන්ට යම් අවබෝධයක් ලැබෙනු නිසැක ය.

‘දරුවන් ගේ බුද්ධි මට්ටම මැනීම නො ගැළපෙන දෙයක් බව අධ්‍යාපනඥයින් අපට දැනුම් දුන්නා. දෙමාපියන් ගේ තරාතිරමට, අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු දීමත් නො ගැළපෙන දෙයක්. මෙය බරපතළ අසාධාරණයක්. මොකද, පාසලකට සිය දෙනකු ඇතුළත් වෙන කොට ඉන් දෙකයි විශ්ව විද්‍යාලයට යන්නෙ. සියයට අනූ අටක් උපාධිය ගන්නෙ නැහැ. එහෙම නම්, ඒ සියයට දෙකට අයිති දෙමාපියන්ට තමයි අර ලකුණු දෙක ලැබෙන්නෙ.”

මෙබඳු විවේචන නිසා, දරුවා ගේ කුසලතා සඳහාත්, මව්පියන් ගේ අධ්‍යාපන සුදුසුකම් හා රැකියාව සඳහාත් ලකුණු ලබාදීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශය බැහැර කැර නව චක‍්‍රලේඛනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එහෙත්, මේ සමාජ අර්බුදය එයින් අවසන් වී නොමැත. එය වටහා ගැනීම පිණිස එක් උදාහරණයක් මෙහි දක්වමු.

ජනවාරි මාසයේ මුල් සතියේ දරුවන් බිහි කැරීමට අපේක්‍ෂාවෙන් සිටින ශී‍්‍ර ලාංකික මව්වරුන් දෙසැම්බර් මස 31 ට පෙර සිය දරුවා සිසේරියම් සැත්කම් මඟින් බිහි කැරීමේ ප‍්‍රවණතාවක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. මෙය, පාසල් වලට දරුවන් ඇතුළත් කැරීමේ තරගයේ ප‍්‍රතිඵලයකි. වසරකට 340,000 ක් පමණ වන මෙ රට දරු ප‍්‍රසූති අතුරින් 110,000 ක් පමණ සිසේරියම් සැත්කම් මඟින් සිදු කැරේ. ගම හා නගරය අතර ඇති අසමාන සංවර්ධනය නිසා අයහපත් තරගයක් පවතින බව ඇත්ත ය. එහෙත් මෙය, සමාජ ආකල්ප හා අනුකරණාත්මක ජීවන රටාව හේතුකොට ගෙන උත්සන්න වූ සමාජ තත්ත්වයකි. එ බැවින් මෙයට පිළිතුරු සෙවිය යුත්ත් නව චක‍්‍රලේඛ මඟින් ම නො වේ. නගරයේ ජනපි‍්‍රය පාසලකට තම දරුවා ඇතුළත් කැරීමට වෙහෙසෙන දෙමව්පියන් ගේ ප‍්‍රථම උත්සාහය වංචනික ලෙස පදිංචිය තහවුරු කැරීම ය. එම වංචනික කි‍්‍රයාවලියට තම දරුවා ද යොදා ගන්නා දෙමව්පියන් විසින් ම අධ්‍යාපනයේ පරමාර්ථ විනාශ කැරෙන බව කිව යුතු නැත.

අධ්‍යාපනය මානව අයිතියක් යැයි මෙහි දී යළි අවධානයට ගත යුතු ව තිබේ. යහපත් පුරවැසියකු නිර්මාණය කැරීම අධ්‍යාපනය මත රඳා පවතින බැවින් අධ්‍යාපනය සමාජ වගකීමකි. එහෙත් අවසානයේ දී සිදු වී ඇත්තේ දැනුම හඹා යෑම මිස යහපත් මිනිසකු බිහි කැරීම නො වේ. මේ සියලු වාද විවාද මඟින් පැවැසෙනුයේ සාරධර්ම අධ්‍යාපනයක් අවශ්‍ය බව ය. එහි දී බුදු දහමෙන් ලැබිය හැකි ප‍්‍රයෝජන අපමණ ය.

 || මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]