Budusarana Online Edition

UNICODE
[UNICODE]

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ අගෝස්තු මස 20 වැනිදා සඳුදා

 www.lakehouse.lk/budusarana | බෞද්ධ දර්ශනය . . . |

බුදුරජාණන් වහන්සේ ‘ලෞකිකවාදී’ නො වෙති

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ විශිෂ්ටතම සෞන්දර්යවාදියා බවත් එය අවිවාදාත්මකව පිළිගැනෙන බවත් එක් රූපවාහිනී නාලිකාවක බෞද්ධ සාකච්ඡාවක් මෙහෙයවූ නිවේදකයකුගේ මුවින් එක් පසළොස්වක පොහෝ දිනෙක පිට විය. සාකච්ඡාවට සහභාගි වූ (උගතුන් යැයි සැලැකෙන) කිසිවෙකුගේ මුවින් ඒ අදහසට විරුද්ධ ව හෝ එහි අසම්පූර්ණ බව දැක්වීමට හෝ වචන මාත‍්‍රයකු දු පිට නොවීම, අපගේ කුතුහලයට නැතහොත් මවිතයට හේතු විය. එනිසා මේ පිළිබඳ විමර්ශනයක යෙදීම සුදුසුයැයි හැ‍ඟේ.

බුදුරජාණන් වහන්සේ විශිෂ්ට සමාජවාදියා ලෙසද, මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියා ලෙසද, යම් – යම් අය යම් – යම් අවස්ථාවන්හි හඳුන්වනු ද අසන්නට මෙන්ම කියවන්නට ද මට මෙන්ම ඔබට ද ලැබී ඇතිවනවාට සැකයක් නැත. බුදු දහමෙහි කිසියම් පමණකට සමාජවාදී ලක්‍ෂණ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණ ද ඇති බව සත්‍යයකි. එමෙන්ම සෞන්දර්ය පිළිබඳ ද බුදුරදුන් විසින් ප‍්‍රකාශ කැරුණු දේ ති‍්‍රපිටකයට අයත් ග‍්‍රන්ථයන්හි අඩංගුව තිබේ. එපමණකින් බුදුරජාණන් වහන්සේ ඒ, ඒ වාදයන්හි එල්බ සිටි පුද්ගලයකු සේ ගැනීමට, අප ඉක්මන් විය යුතු නැත.

සර්වඥයන් වහන්සේ ලෝක ස්වභාවය බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන් ද හරිහැටි හඳුනා අවබෝධ කරගත් උත්තමයෙකි. එබදු ප‍්‍රඥාවන්තයකු කිසිදාක සෞන්දර්යයට ගරහන්නේ නැති බව සැබෑවකි. ගස කොළ ආදියෙහි අගය ද මනුෂ්‍යයාට මෙන්ම වෙනත් ජීවීන්ට ද එයින් සැලසෙන්නා වූ ඉමහත් සේවය ද ඔවුහු මැනැවින් දනිති. උපසම්පදා භික්‍ෂූන් වහන්සේට ගසක, වැලක කොළයක් කැඩීම පවා නුසුදුසු කි‍්‍රයාවක් ලෙස දක්වා ඇත්තේ මේ කරුණ නිසා ද විය යුතු ය. එමෙන් ම යම්, යම් අවස්ථාවලදී ස්වභාවික සෞන්දර්යයෙහි අගය දැක්වෙන සේ උන්වහන්සේ විසින් කරන ලද ප‍්‍රකාශ ති‍්‍රපිටකයේ නොයෙක් තැන්හී දක්නට ලැබේ. රූප සෞන්දර්යය පවා අගය කැරෙන ප‍්‍රකාශයක් මහා පරිනිර්වාණ සූත‍්‍රයේ දැක්වෙන්නේ ලිච්ඡවී රජ දරුවන් පිළිබඳ ය. ලිච්ඡවීන්ගේ රූ සපුව තව්තිසා දෙව්ලොව දෙවියන්ගේ රූප සෞන්දර්යයට එතැන දී සමාන කොට ඇත.

“රමණීයා ආනන්ද වේසාලි, රමණීයා උදේන ‍ෙච්තියං, රමණීයා ගෝතමක චේතියං....” (ආනන්ද වේසාලිය රමණීයයි, උදේන චේතිය රමණීයයි, ගෝතමක චේතිය රමණීයයි...)

“රමණීයා ආනන්ද රාජගහං, රමණීයා ගිජ්ඣකූටෝ පබතෝ, රමණීයා ගෝතම නිග්‍රෝධෝ....” (ආනන්ද රජගහ නුවර රමණීයයි, ගිජ්කුළු පව්ව රමණීයයි, ගෝතම නුගරුක රමණීයයි...)

මේ ආදී වශයෙන් රමණීය ස්ථාන සඳහන් කරමින් (සමහර විට) ඒ ස්ථානවලට යෑමට ද බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට යෝජනා කළ අවස්ථා ද මහා පරිනිර්වාණ සූත‍්‍රයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර මුඛ දේශනා අතර පරිසරය හා සම්බන්ධ උපමා හා යෙදුම් ද හිඟ නැත. ගංඟා, ඇළ, දොළ, මුහුදු, ගස්වැල්, මල්, ගල්, පර්වත, කුඹුරු, වනාන්තර, සතුන් ආදී බොහෝ ජීවි, අජීවි දේ සම්බන්ධ උපමා රූපක මෙන්ම විස්තර ද ඒ අතර වෙයි. ධර්මය කැටි කොට දැක්වෙන සාර සංග‍්‍රහයක් වශයෙන් සැලැකිය හැකි ධම්ම පදයේ ගාථා අතර ද උපමාදිය සඳහා යෙදුණු වස්තූන් ගෙන් ද ස්වාභාවික සෞන්දර්යය මතුවන බව පැහැදිලි ය. එහෙත් සර්වඥයන් වහන්සේ ඒවා යොදා ගෙන ඇත්තේ සෞන්දර්යය වර්ණනා කිරීමේ අරමුණකින් නොවේ. මන් ඉදිරිපත් කරන ධර්ම පිළිබඳ කරුණු ශ‍්‍රාවකයා (අසන්නා) ට පහසුවෙන් වටහාදීම සඳහා ය. ඒ උපමා, රූපකාදී යෙදුම් අවස්ථාවටත් ප‍්‍රස්තුතයටත්, ශ‍්‍රාවකයාගේ හෝ ශ‍්‍රාවකයන්ගේ තත්ත්වය නොහොත් තරාතිරමටත් වඩා යෝග්‍ය ලෙස යෙදී තිබෙන බව විමැසුම් ඇසින් බලන්නවුන්ට පෙනෙනු ඇත.

ගොවිතැනෙහි යෙදෙන කසී භාරද්වාජ බමුණාට කරුණු දේශනාවේ දී ගොවිකම හා බැඳුණු දේ උපමා වශයෙන් දක්වා, ගැඹුරු ධර්මයකි. මනාසේ ඉදිරිපත් කැරුණු හැටි පහත සඳහන් ගාථාවෙන් පැහැදිලි ව පෙනේ.

“සද්ධා බීජං තපෝ වුට්ඨි
පඤ්ඤා මෙ යුගනධ්ගලං
හිරි ඊසා මනෝ යොත්තං
සති මෙ පාලපාචනං”

මෙයින් කුඹුරු ගොවිතැන හා සම්බන්ධ බීජ, වැස්ස, නඟුල, නඟුල් කඳ, යොත හෙවත් රැහැන, නඟුලේ සිදුර, කෙවිට යන දේ සඳහන් වෙයි. එහෙත් තථාගතයන් වහන්සේට මේ දේවල් ගැන දේශනා කිරීමේ වුවමනාවක් නැත.

ඒවා ගැන දේශනා කිරීමේ පරමාර්ථය වූයේ බමුණාට ධර්මය සම්බන්ධ කරුණක් අවබෝධ කර දීමය. ඒ පුද්ගලයා ගේ වෘත්තිය හා සම්බන්ධ උපකරණ හා කරුණු ඒ සඳහා මනා සේ උපමා වශයෙන් යොදා ගැනිණි. මෙය අතිශය යෝග්‍ය උපක‍්‍රමයකි. මෙය දැක, බුදුරජාණන් වහන්සේ මහා ගොවියෙකියි කීමට අප ඉක්මන් විය යුතු නැත.

රජුන් සමඟ කැරුණු සවෝදාත්මක දේශනයන්හි දී ඔවුනට ගැලපෙන උපමා හා සිද්ධි යොදා ගෙන ඇති අයුරු සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙන් මෙන්ම ති‍්‍රපිටකයේ තවත් බොහෝ තැන්වලින් දැක ගත හැකි ය. ඒ හැම තැනෙකම උපමාදිය ඉතා යෝග්‍ය වූවද දහම් කරුණුම මූලික වෙයි. හෙවත් වැදගත් වෙයි.

ධම්ම පදයේ අරහත්ත වග්ගයෙහි රහතන් වහන්සේගේ ස්වභාවයක් හෙවත් ගුණයක් දැක්වීම සඳහා ගාථා ද්වයකම පහත සඳහන් උපමා වාචක යෙදුම දක්නට ලැබේ.

“ආකාසේව සකුන්තානං
ගති තේසං දුරන්නයා “

මෙයින් කියැවෙන්නේ අහසෙහි පියාඹා යන පක්‍ෂීන්ගේ මග නැතහොත් පියවර නොදත හැකිවාක් මෙන්ම, රහතන් වහන්සේගේ පුනර්භවයක් ද නො දත හැකි බවය.එහෙත් මේ උපමා ගාථා කියවන්නා තුළ ද අසන්නා තුළ ද කුරුලු රංචුවක ගේ පියාසර කිරීම පිළිබඳ සුන්දර චිත්ත රූපයක්ද මැවෙනු ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය සුන්දර දර්ශනයක් මවා ශ‍්‍රාවකයා පිනවීම නොවේ. උන්වහන්සේගේ එකම අරමුණ වන්නේ රහතන්ගේ ස්වභාවය ශ‍්‍රාවකයාට මනාසේ පැහැදිලි කර දැක්වීම ය. එහෙයින් බුදුරදහු සෞන්දර්ය පිළිබඳ යම් වැනුමක් කළ සේක් ද, එය ධර්මයට අනුගතවම ඉදිරිපත් කළ සේක.

“රමණීයානි ආරඤ්ඤානි
යත්ථ නරමතී ජනො
වීතරාගා රම්ස්සන්ති
න තෙකාම ගවේසිනො”

යනුවෙන් ධම්ම පදයේ අරහන්ත වග්ගයේ එන ගාථාවෙන් දැක්වෙන්නේ රහතන් වහන්සේ අරණ්‍යාදියට කැමැති වන්නේ, එහි සෞන්දර්යයට බැඳීමෙන් නොව, ඒ ස්ථාන ජනයාගෙන් තොර හෙයින් හොඳ විවේකදායක ස්ථාන වන නිසා බව ය. කම් සැප නොසොයන හෙයින් ඔවුන් වහන්සේට එවන් ස්ථානයෝ වඩා යෝග්‍ය වෙති. බුදුරදුන්ට ද මේ කරුණු සාධාරණය.

බුදුරජාණන් වහන්සේ සෞන්දර්යාත්මක වස්තූන්හි නො ඇලුණ ද සාමාන්‍ය ජනයා පෘථග්ජනයා සෞන්දර්යයට නැඹුරු වීම පිළිබඳ ගරහන්නට හෝ දොස් පවරන්නට නොපෙළඹුණු සේක. සාමාන්‍ය ජයනා ස්වභාවයෙන් ම සෞන්දර්යයට නැඹුරු බවත් එය සාමාන්‍ය සමාජ සංස්ථාවට අයහපතක් නොවන බවත් තථාගතයන් වහන්සේ දැන සිටියහ. එහෙයින් සෞන්දර්යයට මෙන්ම සෞන්දර්ය නිර්මාණ වලට ගැරහීමට අවශ්‍යතාවයක් බුදුන්වහන්සේට නොවීය. එහෙත් ඔවුන් වහන්සේ සෞන්දර්යවාදියකු ලෙස හැඳින්වීම, සාවද්‍ය ය.

පඤචස්කන්ධ නමැති දිව්‍ය ගාන්ධර්වයා බුදුරදුන් කරා එළඹ, තම පෙම්වතිය වූ සූර්යවච්ඡසාව පිළිබඳ ගීතයක් ගායනා කෙළේ බේලුවපාණ්ඩු විණාවද වාදනය කරමිනි. ඒ අවස්ථාවේ දී වාදනයේ ස්වරය, ගීත ස්වරය, හා මනා සේ ගැළපුණු බව දක්වමින් බුදුරදුන් පන්සිළුට ප‍්‍රශංසා කළ බව ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. සිද්ධාර්ථ කුමාරයා නැටුම්, ගැයුම්, වැයුම් ආදී සෞන්දර්යය විෂයන්හි රස වින්දනයෙහි යෙදෙමින් ගිහි සැප විඳි බව ප‍්‍රකට කරුණකි. එබඳු කෙනෙකුට පැවිදි බිමට පත් වූව ද ගීතයක තත්ත්වය මනා සේ අවබෝධ කර ගැනීමට හැකි ය. එනිසා අවස්ථානුකූල ලෙස, එම වෘත්තියේ යෙදෙන්නකුට දක්‍ෂතා පිළිබඳ ප‍්‍රශංසා කිරීම, බුද්ධත්වයට නිගරුවක් ද නොවේ. එහෙත් පඤ්චස්කන්ධ ඒ අවස්ථාවේ නිර්වාණාවබෝධය කිරීමේ කුසලතා සපුරා සිටියේ නම්, සර්වඥයන් වහන්සේ ඔහු ගේ ගීතය ගැන ප‍්‍රශංසා මුඛයෙන් වර්ණනා කරනු වෙනුවට නිර්වාණාවබෝධය සඳහා බණක් දෙසනු නොඅනුමාන ය. එවන් ලෝකෝත්තර වාසනා ගුණයක් නොතිබූ තත්ත්වයක සිටි ඔහුට අවස්ථාවේ හැටියට යෝග්‍ය ප‍්‍රශංසාවක් බුදුරදුන් විසින් සිදු කැරිණි. බුදුරදුන් වැනි උත්තමයකු තබා ශිෂ්ට සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු වන් කෙනකුගේ නිරවද්‍ය වෘත්තීය දක්ෂතා අගය කරනු මිස, ගැරහීමට ලක් කරන්නේ නැත.

“නච්ච ගීත, වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාධියාමි” යනුවෙන් සිල් පදයක් පනවන ලද්දේ ලෞකිකත්වයෙන් ඈත් වී ලෝකොත්තරත්වයට ළං වීමේදී ඒ සඳහා සෞන්දර්යාත්මක විෂයයන් ගෙන් ද ඈත් විය යුතු හෙයිනි. සෞන්දර්යවාදියාට ස්තී‍්‍ර රූපයද අතිශය සෞන්දර්ය වස්තුවකි. නන්ද කුමාරයාගේ පෙම්වතිය වූ ජනපද කල්‍යාණිය පඤ්ච කල්‍යාණියකි. එහෙයින් ඕ ලෞකික තත්ත්වයෙහිලා සලකන කල සෞන්දර්ය පිණ්ඩයක් වූවාය. බුදුරදුන් මහා සෞන්දර්යවාදියකු නම්, තම ඤාති සහෝදරයා වූ නන්ද කුමරුන්ගෙන් ඇය වෙන් කරන්නට කි‍්‍රයාත්මක නොවනු ඇත. සද්ධර්මරත්නාවලියේ නන්ද තෙරුන් පිළිබඳ කතාව කියැවූවකුට බුදුරජාණන් වහන්සේ නන්ද කුමරු ඇයගෙන් වෙන් කිරීමට උත්සුක වූයේ මන්දැයි මනාසේ වැටැහෙනු ඇත.

සෞන්දර්ය වස්තුවකට බැඳෙනවාට වඩා නිර්වාණාවබෝධය අගනා හෙයින් තථාගතයන් වහන්සේ ඔහු තුළ ඇය පිළිබඳ පැවැති දැඩි ආලය කෙමෙන් ලිහිල් කර සම්පූර්ණයෙන් තුරන් කිරීමට කි‍්‍රයාත්මක වූයේ සම්‍යක් ප‍්‍රයෝගානු සාරයෙනි.

එසේ කරන ලද්දේ නන්දයන් තුළ තිබුණු රහත්වීමේ වාසනා ශක්තිය හෙවත් කුසලතාව බුදු නැණින් දැන සිටි හෙයිනි. එවන් වාසනා ගුණයක් ඔහු තුළ නොවූයේ නම් බුදුරදුන් කරනු ඇත්තේ නන්ද කුමරු හා ජනපද කල්‍යාණිය ගේ සරණ මංගල්‍යයට ආශීර්වාද කරමින් ඒ ගිහි දිවිය සාර්ථක වීමට උපයෝගී වන අනුශාසනා ධර්ම දේශනාවක් කිරීමය. රජ සැප, ගිහි සැප, සෞන්දර්යය ආත්ම කොට ගත් වින්දනයට වඩා විමුක්ති මාර්ගයෙහි වටිනාකම දැක්වීම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙතයි.

මාගන්දි බමුණා හා බැමිණිය තමන්ගේ ඉතා රූමත් දියණිය වූ මාගන්දියා කුමරිය බුදුරඳුන්ට සරණ පාවා දීමට ඉදිරිපත් කෙළේ ඔවුන් වහන්සේ පිළිබඳව හරිහැටි හැඳින වටහා ගෙන නොවේ. (පසු කාලයේදී උදේන රජුට බිසොවක වන්නට තරම් සොඳුරු රුවක් තිබූ ) මාගන්දිය කුමරිය පිළිබඳ බුදුමුවින් නිකුත් වූ ප‍්‍රකාශය මෙසේය.

“කිමෙමිදං මුත්තකරීස පුණ්ණං
පාදාපිනං සම්ඵුසිතුං න ඉචෙඡ”

“මල මූයෙන් පිරුණු මේ අසූචි ගොඩ පාදයෙන් ස්පර්ශ කිරීමට වත් (මම) නොකැමති වෙමි.

රුවැත්තියකට මෙසේ පවසා රූපයෙන් මතු වන සෞන්දර්යයට මෙවන් හෑල්ලුවක් ගැරහීීමක් කිරීමට, මහා සෞන්දර්යවාදියකුට හැකිද? මෙයින් ගම්‍ය වන්නේ බුදුරදුන් මහා සෞන්දර්යවාදියකු ලෙස හැඳින්වීමට නුසුදුසු කමයි.

ජනමාධ්‍ය ඔස්සේ මෙවන් බොල් අදහස් හිස් බස් පැතිර යන මේ යුගයේ බෞද්ධයන් වූ අප ඒ අදහස්වලට එක්වරම නතු නොවී, බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කාලාම සූූත‍්‍රය හා අනුගතව විමසා බැලීම යෙහෙකි.

බුදුරජාණන් වහන්සේ කිනම්වාදී වූ සේක්දැයි කෙටියෙන් හෝ මේ අවස්ථාවේදී විමසා බැලීම අවශ්‍යය. ඒ සඳහා බුද්ධ ධර්මයෙහි මූූලික හරය දැක්වෙන සූූත‍්‍ර කෙරෙහි යොමු විය යුතුය. බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්වන සූත‍්‍රයේ බුද්ධ ධර්මයෙහි විශේෂිත හරය අඩංගු වෙයි. දෙවනුව දේශිත අනාත්ම ලක්‍ෂණ සූත‍්‍රය ද පළමු වන සූත‍්‍රය හා අනුගතව අනිත්‍ය , දුක්ඛ අනාත්ම යන ති‍්‍රලක්‍ෂණය පිළිබඳව පැහැදිලි කෙරෙයි. සච්ච විභංග සූත‍්‍රය ද මුලින් දෙසන ලද කරුණු තව දුරටත් පැහැදිලි වන දේශනාවකි. චතුරාර්යසත්‍යය විවරණය කෙරෙන මේ සූත‍්‍රය විමුක්ති මාර්ගය මනා සේ පැහැදිලි කෙරෙන්නෙකි.

නිවන හෙවත් විමුක්තිය පිළිබඳවත් නිවන් මග හෙවත් විමුක්ති මාර්ගය පිළිබඳවත් පැවැසෙන සැම සූත‍්‍රයකින්ම විග‍්‍රහවන්නේ සංසාරගත සත්වයාගේ ඇතිවීම, පැවැත්ම හා නැවැත්ම යන තෙ කරුණයි. පටිච්චසමුප්පාද ධර්මයද මේ ගණයට වැටෙයි. ‘මේ හේතුව නිසා මේ ඵලය හටගනී. ඒ ඵලය හේතුව බවට පත් වී තවත් ඵලයක් හට ගනී. ‘ ආදී වශයෙන් සත්වයාගේ සංසාර ගමන දැක්වෙන එය හේතුඵල වාදයකි. එය දිගින් දිගටම කොටස් වශයෙන් බෙදෙමින් විග‍්‍රහ වෙයි.

අවිජ්ජා පච්චයා සංඛාරා , සංඛාර පච්චයා විඤ්ඤාණං ආදී වශයෙන් නාමරූප, සළායතන , ඵස්ස, වේදනා, තණ්හා උපාදාන, භව, ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛදෝමනස්ස යනුවෙන් සත්වයාගේ ඇතිවීම හා පැවැත්ම විග‍්‍රහ වෙයි.

සතිපට්ඨාන සූත‍්‍රයෙන් සත්වයා ස්කන්ධ ධාතු, ආයතන ආදී වශයෙන් සියුම් ලෙස බෙදා දැක්වෙයි. බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදී (බෙදා දැක්වීමේ වාදය ගත්) බව කියැවෙන්නේ මේ නිසාය.

විමුක්තිය සඳහාම දේශනා කරන ලද සතිපට්ඨාන සූත‍්‍රයේ ප‍්‍රථම අනුපස්සනාව සඳහා භාවනාරම්මණය (බවුන් අරමුණ ) වන්නේ මෘත ශරීරයෙහි මළ සිරුර කල් ගතවීම අනුව අවස්ථා නවයයි. එය නව සිවථිකය නමින් ඉදිරිපත් කොට ඇත. මෙය සෞන්දර්යාත්මක වස්තුවක් නොව, ඉතා පිළිකුල් සහගත අසුභ වස්තුවකි. මෙයින් පෙනෙන්නේ විමුක්තිය සඳහා සෞන්දර්යය ඔස්සේ නොව, යථාර්ථය වටහා ගැනීම ඔස්සේම ගමන් කළ යුතු බවයි.

ගිහි දිවිය සාර්ථක කරගැනීම සඳහා දේශනා කැරුණු ව්‍යග්ඝපජ්ජ , සිගාලෝවාද, පරාභව, මහා මංගල ආදී සූත‍්‍ර දේශනාවන්හි පවා සෞන්දර්යවාදයට තැනක් නැත. ගිහියන් සඳහාම අතිවිශේෂ දේශනාවක් ලෙස සැලැකෙන සිඟාලෝවාද සූත‍්‍රයේ භෝග විනාශ මුඛ සයෙන් එකක් ලෙස නෘත්‍ය දර්ශනයට යෑම සඳහන්ව ඇත. නැටීම්, ගැයීම්, වැයීම් ආදී වශයෙන් එහි අංග හයක් දැක්වේ. ඒ අනුව පරම බුද්ධ දේශනාවට හෙවත් නිර්වාණාවබෝධයට දැක්වෙන මඟට අනුව සෞන්දර්යවාදයට නැති තැන ලෞකික වශයෙන් උසස් දිවියට වත් සම්බන්ධ නැති බවක් පෙනේ. එසේ නම් බුදුරජාණන් වහන්සේ මහා විශිෂ්ටතම සෞන්දර්යවාදියායි පැවසීම පරම මුසාවකි. නැතහොත් සම්ඵප්ප‍්‍රලාපයකි. එවන් සම්ඵප්ප‍්‍රලාප ප‍්‍රසිද්ධියේ දෙඩීම හෝ ලේඛන වශයෙන් ඉදිරිපත් කිරීම, නියම බෞද්ධයකුට කිසිසේත් සුදුසු නැත.

බුද්ධ කාලීන බුද්ධ ශ‍්‍රාවකයකු වූ අස්සජි රහතන් වහන්සේ දුටු, බුද්ධ ශ‍්‍රාවක භාවය අපේක්ෂා කරන උපතිස්ස පරිබ‍්‍රාජකයන් අස්සජි තෙරුන්ගෙන් ඇසුවේ මෙවන් පැනයකි.

“ආයුෂ්මතුන්ගේ ශාස්තෘන් වහන්සේ කිනම් වාදියෙක්ද ? උන්වහන්සේ කෙබඳු දහමක් දෙසන සේක්ද?”

අස්සජි තෙරුන්ගෙන් ලද පිළිතුර මෙසේ විය,

“යෙ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ

තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදි මහා සමණෝ”

හේතුව නිසා උපන් යම් දහමක් වේද, ඒ ධර්මයන් ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළහ. ඒ ධර්මයන්ගේ නිරෝධය (නැවැත්ම) ද වදාළහ. මහා ශ‍්‍රමණයන් වහන්සේ මෙවන් වාදියෙක් වන සේක.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]