Budusarana Online Edition

UNICODE
[UNICODE]

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ අගෝස්තු මස 20 වැනිදා සඳුදා

 www.lakehouse.lk/budusarana | බෞද්ධ දර්ශනය . . . |

සොබා දහම සුරකින සැබෑ දහම

ලොව ලස්සන වන්නේ අවට පරිසරය මඟින් ය. එය ස්වභාව සෞන්දර්ය ලෙසද හඳුන්වයි. සුන්දර පරිසරය සිතට පී‍්‍රතිය ගෙනදෙයි. නොසන්සුන් මනස ද සංවරය ඇති කරයි. මේ විශ්ව කර්ම නිර්මාණය සුරක්‍ෂිත කරලීම, මිනිසා සතු පරම යුතුකමක් වෙයි. බුදු දහම මඟින් සොබා දහමේ වටිනාකම ඉහළින් අගය කර තිබේ. ඒ සඳහා විවිධ සූත‍්‍ර මඟින් කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ මොහොත වන විට ලෝකයේ වනාන්තර ප‍්‍රමාණය සියයට විස්සටත් වඩා අඩු වී ඇත. වර්ධනය වන ජනගහණය හමුවේ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වනාන්තර ග‍්‍රාමීය බිම් බවට පත් වෙමින් පවතී.එපමණක් නොව, විවිධ පුද්ගලයෝ දැව ජාවාරම සඳහා වටිනා රක්‍ෂිත තුළ ඇති ගස් කපමින් මහත් විනාශයක් සිදු කරති. පසුගිය සති කිහිපය තුළ පළවූ මුද්‍රිත මාධ්‍ය මඟින් ඒ බව මනාව පැහැදිලි කර දී තිබිණි. බෞද්ධයා හෝ අන්‍ය ආගමිකයෙක් වේවා උපන් දේශයේ ඇති මේ චමත්කාර ජනක පරිසරය විනාශ කිරීම නම් බරපතල වරදකි. විදේශීය රටවල් වල මේ වන විට වනාන්තර අඩු වී ඇත. දැව ජාවාරම නිසාම සිදු වී ඇති විපත් පිළිබඳ සෝමාලියාව වැනි රටවල් අපට මහඟු ආදර්ශයක් සපයයි.

මිනිසා විසින් සිදු කරනු ලබන පරිසර විනාශය නතර නොකළහොත් අනාගත ලෝකය තුළ තුරුලතා අතුරුදන් විය හැකි ය. විවිධ කෘතීම දේ මඟින් ද පරිසරය දූෂණයට ලක්වෙයි. අප විසින්ම අපගේ පැවැත්මට හානි කර දේ සිදු කරද්දී ඒ නිසාම වෙනස්වන ස්වභාව චකී‍්‍රය රටාව අපටම ඔරොත්තු නොදෙනු ඇත. තම අවට පරිසරය පිළිබඳ මනා අවබෝධයක් මිනිසාට තිබීම වැදගත් වෙයි. මේ නිසා බුදු දහම මඟින් පරිසරය සුරක්‍ෂිත කළ යුතු බව උපදෙස් දී තිබේ. බුදුන් වහන්සේ වරක් භික්‍ෂූන් වහන්සේ අමතා දේශනා කරන ලද්දේ “ ගස් කපන්න එපා, කෙලෙස් වනය සිඳින්න යන්නයි.” අපට සෙවණ සදන ගසක අත්තක් පවා නොකඩන ලෙස බුදුහිමියෝ භික්‍ෂූන් වහන්සේට උපදෙස් දුන්හ. තමාට සෙවණ දෙන ගසේ අත්තක් කැඩීම පවා, මිත‍්‍රදෝහී කි‍්‍රයාවක් බවට හිමියෝ වදාළහ.

අතීතයේ සිටි මිනිසුන් පරිසරයට කෙතරම් ආදරේ කළාද යන්න ලොවටම හඬගෑ නිදසුනක් වන්නේ, සුදු අධිරාජ්‍යවාදීන් රතු ඉන්දියාණු ගෝති‍්‍රකයන්ගේ බිම් ඉල්ලා සිටි විට එම රතු ඉන්දියාණු නායකයා සිදු කළ ප‍්‍රකාශයයි. පරිසරය ගැන කෙතරම් සංවේදී බවක් ඒ තුළ දක්නට ලැබේද? තමා සමඟ ජීවත්වන පරිසරයේ කෘමි සතාගේ සිට සෑම සතකුගෙන්ම ඇසෙන හඬ, ඔහුට මධුර සංගීතයක් බඳු ය. ගලනා ගංදිය තම රුධිරයටත් වඩා අගනේ ය.

ගහ කොළ ඇතුළු මේ සියල්ලම පි‍්‍රය කළ එබඳු මිනිසෙක් බුදුපියාණන් හැර මා දුටුවේ ඒ රතු ඉන්දියන් ගෝති‍්‍රක නායකයා ය. මානව හිතවාදී බව ගැන ඉහළින් කතා කරන අය පරිසර හිතවාදී නොවීම නම් පුදුම සහගත ය. අප වටහා ගත යුතු වන්නේ අපි ආඝ‍්‍රාණය කරන “වාතය” පවා අපට හිතකර වීමට නම් ස්වාභාවික පරිසරය සුරැකී තිබිය යුතු බවයි. විවිධ වර්ගයේ බෙහෙත් පැළ තිබීම මඟින් බොහෝ අනතුරු මඟ හැරෙයි. ලංකාව තුළ මේ වන විට වනාන්තර එළි පෙහෙළි කරමින් බොහෝ තැන් ජනපද බවට පත් කරමින් පවතී. බල පුළුවන්කාරයන් ඉඩම් අක්ක සිය ගණන් විවිධ වගා ක‍්‍රම වලට යොදා ගනිද්දී දුප්පතාට බිම් අඟලක අයිතියක් ලබා ගැනීමට, නීතිය හරස් වෙයි. මෙසේ එක අයකුට වෙනස් වන නීතිය තුළ ඇති සාධාරණත්වය කුමක් ද? මේ නිසා වන සංරක්‍ෂණය නිසි ලෙස සිදුවේද?

බුදුරදුන් කමටහන් ගත් භික්‍ෂූන්ට දේශනා කළේ “අරඤ්ඤ ගතෝවා රුක්ඛමුල ගතෝවා” යනුවෙනි. භික්‍ෂුව පරිසර හිතකාමියකු වීම අපේක්‍ෂා කර ඇත. බවුන් වැඩීමට ද අනාගතයේ මෙරට කැළෑ ඉතිරි වන බවක් පෙනී යන්නේ නැත. බෝ ගසේ පත් මඟින් විහිදෙන කිරණ මිනිසාට බුද්ධි වර්ධනයට ඉවහල් වෙයි. පරිසරය පවිත‍්‍ර කරන සාධකය, ගසයි. අපිරිසුදු වාතාශ‍්‍රය වෙනුවට මිනිසාට පවිත‍්‍ර වාතය ලබා දෙන්නේ, ගසයි. දිය උල්පත සුරකිනේ ගසයි. මේ නිසා ගස් සුරැකීම ජාතික යුතුකමකි. ලොව උපන් මහා ප‍්‍රඥාවන්තයා බුදුන් වහන්සේ ය. ඉපදුනේ ගසක් යටදී ය. බුදු වුණේ ගසක් යටදී ය. පිරිනිවන් පෑවේ ගසක් යටදී ය. බුද්ධ චරිතය මඟින් ලොවට දෙනු ලබන පණිවිඩය ද පරිසර හිතකාමීත්වයයි.

ධම්ම පදයෙන් රමණීය වූ සිත්කළු වනාන්තර පැවිද්දාට කෙලෙස් දුරු කරලීමට උපකාරී වන බව පෙන්වා දෙයි. සාමාන්‍ය මිනිසාගේ සිත නොරැඳෙන එවන් සුන්දර පරිසරය බුදුදහම වර්ණනාවට ලක් කරයි.

“ රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමති ජනෝ
වීතරාගා රමෙස්සන්ති
නතෙ කාම ගවේසිණෝ”

මෙයට අමතරව භික්‍ෂූණීන්ද පරිසරයට ඇලුම් කර ඇත. “දන්තා” තෙරණිය එක් ගඟක් අසල ගසක් මුල සිටිද්දී, හස්තිරාජයෙක් දිය කෙළියේ යෙදෙන අයුරු දැක කළ, උදානය ථෙරි ගාථාවල දක්නට ලැබෙයි. ස්වභාවික සෞන්දර්ය සිත දැහැන් ගත කොට, කෙළෙස් මල දුරු කර ලීමට මඟ පාදයි. තවද චුල්ලහත්ථි පදෝපම සූත‍්‍රය මඟින් ජාණුසෝනී බමුණාට ස්වභාවික පරිසරයේ සිටිනා ඇතුන් උපමා කොටගෙන දහම් දෙසීම තුළින් පවා තහවුරු වන්නේ දෛනික දිවි පෙවෙත තුළ තමා අත්දකින දේ ධර්මයට ගලපා, එමඟින් විමුක්ති මග පෙන්වාදිය හැකි බවයි. මෙයට අමතරව මහා සාරෝපම සූත‍්‍රය තුළින් ද මහා ගසක් උපමා කොට ගෙන ධර්මය නිසි ලෙස වටහා නොගැනීම පිළිබඳව මනා කොට ධර්මය දේශනා කර තිබේ. චූල සාරෝපම සූත‍්‍රයේ මුලා වූ මිනිසා අරටුව නොදැක ගසේ පොත්ත, සිවිය, ඵලය ආදිය ගෙනයයි. ඒ ගසේ අරටුව හැඳිනගත් පුරුෂයා ධර්මය මනාව අවබෝධ කළ තැනැත්තාට උපමා කරයි. මෙසේ මුළු බුද්ධ චරිතයම පරිසරය හා සම්බන්ධව පවතී. මේ නිසා ලොව එදා මෙදා තුර පහළ වූ මහා පරිසරවේදියා බුදුරජාණන් වහන්සේ බව, පැහැදිලි ය.

බුදුරදුන් වැඩ සිටි ජේතවන, වේළුවනය මෙන්ම විශාලා නුවර කූඨාගාර ශාලාවද ඒ නගර වල මහ වන අසළ පිහිටා තිබුණේ ය. පාරිසරික සෞන්දර්යය පුද්ගලයා තුළ මානසික ප‍්‍රභාෂ්වර බව ඇති කරයි. වන සෙනසුන් තුළදී සිත තමාට ද නොදැනී දැහැනට සම වැදී සංවර වෙයි. මේ හේතුව නිසා බුදු දහම සොබා දහමේ අගය නිරතුරුව වර්ණනා කර ඇත. බුදුරදුන් වරක් තමන් වහන්සේ දෙසූ ධර්මයේ ප‍්‍රමාණාත්මක බව පෙන්වා දීමට යොදා ගත්තේ සිංසපා වනයයි. අග්ගික්ඛන්ධෝපම සූත‍්‍රය දේශනා කරන ලද්දේ ද මහ වනයක් මැදදී ය. මෙයිනුත් පැහැදිලි වන්නේ සොබාදහම අගය කර ඇති ආකාරයයි. සොබාදහමේ චමත්කාරය ඉතා උසස් ලෙස වර්ණනා කර ඇති අයුරු, මහා පරින්බ්බාන සූත‍්‍රය මඟින් පැහැදිලි වෙයි. “රමණීයං ආනන්ද වේසාලියං රමණීයං උදේන ෙච්තියං, රමණීයං ගෝතම්භ වේතියං, රමණියං සත්තම්භ ෙච්තියං, රමණියං බහු පුත්තක ෙච්තියං, රමණියං චාපාල ෙච්තියං” යනුවෙන් ආනන්ද හිමියන් අමතා, ඉහත ස්ථාන වල ඇති සොබාදහමේ චමත්කාරය උසස් ලෙස වර්ණනා කොට තිබේ. තවද මජ්ම නිකායේ අරියපරියේසන සූත‍්‍රයේ එන උරුවෙල් ජනපදය පිළිබඳ කැරෙන ඇගැයීම, ඉතා උසස් ය. “රමණියෝ ඒත භ®මිභාගයේ පාසාදි කොව වන සණ්ඩො නදිච, සන්දති, සේතකා සුප්පතිට්ඨා රමණියා...” එම ස්ථානය රමණිය වෙයි. සිත් පුබුදු කරන සුපිපි කුසුමක් හා ජලධාරාවකින් යුතු ගංඟාවකි. ගඟ දෙපස පිරිසුදු සුදු වැලි තලාවය. යනුවෙන් බෝසත් කල තමා විසූ එම ප‍්‍රදේශය පිළිබඳ වීතරාගී සිතින් යුතුව අගය කරනු ලබයි. මෙය අනාගත ලෝකයාට පරිසරය සුරැකීමේ මහඟු ආදර්ශයකි.

බෞද්ධ සාහිත්‍ය තවත් සෞන්දර්යාත්මක සොබාදහම වර්ණනා කරන අවස්ථාවක් ථෙරගාථා මඟින් පෙනෙයි. ඒ සප්පක තෙරුන් අවට පරිසරයේ සිරි නරඹා උසස් පී‍්‍රතියක් වින්දනය කළ ආකාරය එහි දැක්වෙයි. එහි සිංහල අනුවාදය මෙසේ ය.

“තැති ගැනී දැක වැහි වලාවන්
විදාගෙන සිය සුදුපියාපත්
කොකුන් පියාඹන නවාතැන් වෙත
නදිය අජ කරණි වේය මට රමණි”

මෙමඟින් වැසි සහිත අහස්කුස තුළ ඇති අලංකාරත්වය හා කොකුන්ගේ පියාඹායාමෙන් මතුවන සුදුපාට අහස්කුස අලංකාරත්වය වැඩි කරයි. මෙම දර්ශනය මඟින් සප්පක හිමි ධාර්මික පී‍්‍රතියක් ලද බව පැහැදිලි ‍ෙවයි. මෙයට අමතරව ධම්ම පදයේ ස්වාභාවික පරිසරය සම්බන්ධ කර ගනිමින් දහම් දේශනා කර ඇත. ඒ අතර ගලන ජලය, ජලයෙන් මතුවන සුදු පෙණ, වහින වැස්ස වර්ණවත් මල්, අහස, මුහුද, ගල්ගුහා, කඳු මුදුන්, මෙන්ම විවිධ තුරුලතා ද උපමා කොට ගෙන දහම් දෙසීම නිසා එය ශ‍්‍රවණය කරන අයට ධර්මාවබෝධය ලබා ගැනීමට සොබා දහමේ ඒ වස්තු පාදක විය. කෙලෙස් සිඳ දමා නිවන් දැකීමට එමඟින් ඔවුනට හැකි වී ඇත. විනය ශික්‍ෂා පැනවීමේ දී ගල් පර්වතය, තල් ගස වැනි දේ උපමා කිරීමෙන් එවන් ශික්‍ෂාපදයක් කැඩීමේ බරපතල බව සොබා දහම තුළින්ම පෙන්වා දී තිබේ. බුදුරදුන් බොහෝ අවස්ථාවල ඉසිගිලි, ගිජුකුළු, වේහාර, මහාමේරුව වැනි විශාල පර්වත ආශ‍්‍රය කරගෙන සමවතට සමවැදීම සිදු කොට තිබේ. පෙර පෙරුම් දම් පුරන කල්හිද බෝධිසත්වයකු ලෙස මහා වනාන්තරයම ඇසුරු කොට ඇති අයුරු පෙනේ. මඝමානවක නම් ජාතකය තුළින් සොබාදහමේ අසිරිමත් බව රැක ගනිමින් ගම සංවර්ධනය කරලීමට ගත් උත්සාහය කදිම ආදර්ශයකි. අද අප රටේ ද විවිධ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී පාරිසරික හානිය පිළිබඳව අවධානය යොදවන ආකාරය නම් කණගාටුදායක ය. පරිසරයට හානිදායක වන සංවර්ධන ක‍්‍රම වලින් අපි වැළකී සිටිය යුතු වෙමු. විෂ වායු හා විසම දේ පරිසරයට මුසු කිරීම මඟින් පරිසරයේ සමතුළිත බව බිඳී ගොස් විසම වෙයි.

එය මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයටම සිදු කරනු ලබන මහ විපතකි. ගසක් කපන විට එයට සරිලන පරිදි පැළ දෙකක් සිට විය යුතු ය. උපන් දින සැමරීමේ දී වටිනා පැළයක් රෝපණය කිරීම මඟින් පරිසරයේ පැවැත්මට දායක විය හැකි ය. වර්තමානයේ විනෝද ගමන් යන අසංවර තරුණ පිරිස් මධ්‍යම කඳුකර ආශි‍්‍රත වන වගා ගිනි තැබීම සිදු කරති. මෙය බරපතල වරදකි. පැරැණි ලක්වැසියා ගහ කොළ දේවත්වයෙහිලා සලකා කි‍්‍රයා කළේ, අනවබෝධයටම නොව තමාට සම්පත් උදා කරන නිසා විය යුතු ය. පැරැණි සිංහලයා පරිසර හිතකාමී විය. පරිසරය දූෂණය කළේ නැත.

ඔවුන් කැළෑ සුරක්‍ෂිත කොට අනාගතයට දායාද කොට තිබේ. වන උයන් සකස් කිරීම පැරැණි සිරිතකි. බුද්ධ කාලයේ දී ජීවක අඹ උයන අම්බපාලී අඹ උයන, වේළුවන උයන, මෙන්ම මහමෙව්නා උයන ආදිය බොදු ජීවිතයට සැපයුවේ මහත් පිටුබලයකි. දස සක්විති වත් දස රාජ ධර්මවලදී පක්‍ෂි සිවුපා සතුන්ට ආරක්‍ෂාව සැලසීම පාලකයා සතු වගකීමක් බව, පෙන්වා දී ඇත. රජු සොබාදහම සුරැකිය යුතු ය. සොබාදහම සුරැකීම මඟින් නිසි කල වැසි ලැබෙයි. බුදු දහමට අනුව නිවන් දැකීමට අවශ්‍ය පරිසරය සොබාදහම මඟින් සැලසී ඇත. මේ නිසා බුදු දහම සොබා දහම පිළිබඳ සංවේදීතාවයක් දක්වා ඇත. සූත‍්‍ර ගත බොහෝ කරුණු මඟින් ඒ බව පැහැදිලි වෙයි.

මෙම කරුණු වලට අමතරව අවට පරිසරයේ පවිත‍්‍රතාව පිළිබඳව භික්‍ෂූන් වහන්සේ දැනුවත් කර තිබේ. වත් පිළිවෙත් මඟින් පිරිසුදු ආරාමයක් ඇති කර ගන්නා අයුරුත්, කුණු කසළ ඉවත ලන ඉඳුල් ආදිය දැමීමට වලක් සාදා එයට දැමීමටත් උපදෙස් දී තිබේ. ගංඟා ඇළ, දොළ වල මළ මුත‍්‍ර නොකළ යුතු බවත්, සෙම්, සොටු, කෙළ, ජලයට නොදැමිය යුතු බවත් බුදුරදුන් අනුශාසනා කොට තිබේ. ජල පවිත‍්‍රතාව තුළ මනා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි වෙයි. ජලය අපවිත‍්‍ර වූ විට විවිධ වසංගත ලෙඩ රෝග බෝවීම සිදුවෙයි. මෙය දැනගෙන බොදු ශ‍්‍රාවකයාද සොබාදහම සුරකින්නකු වීම මඟින් ඔහු තුළ නිතැනින්ම දයාව, අනුකම්පාව, මෛතී‍්‍රය ජනිත කරවයි. මෙය අප විසින් මනාව වටහා ගත යුතුයි. පාරිසරික අමාත්‍යංශයට පමණක් නොව සමස්ත ජනතාවටම පරිසරය සුරැකීමේ වගකීමක් ඇත. මහා පරිමාණයේ ලී වෙළෙදාම් කරන මුදලාලිලා කොළඹ සිට එම ව්‍යාපාරය ජයටම කර ගෙන යති. වනාන්තර වල ඇති ගස් කපා දමන ඔවුහු ඈත පිටිසරයට ගිය විට බොරු පරිසර සංවේදිතාවක් මවාපාති.

පාසල් දරුවාට ද, අප රුක් රෝපණය පිළිබඳව වටිනාකම වටහා දිය යුතු ය. මෙරටට ආවේණික ඉතා වටිනා දැවමය පැළ රෝපණය කිරීම අත්‍යවශ්‍ය වෙයි. එසේම මෙරට පරිසරයට ඔරොත්තු නොදෙන පිටරට ගස් සිටුවීම අත්සිටුවිය යුතු ය. කෘමි සතාගේ පටන් සද්දන්තයා තෙක් සුරක්‍ෂිත බව ලබන්නේ ගහ කොළ තුරුලතා නිසා ය. මෙය හොඳින් සිහි තබා ගෙන, පරිසර සුරකින්නන් බවට පත්වීමට අධිෂ්ඨාන කර ගනිමු.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]