Budusarana Online Edition

UNICODE
[UNICODE]

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ අගෝස්තු මස 20 වැනිදා සඳුදා

 www.lakehouse.lk/budusarana | බෞද්ධ දර්ශනය . . . |

සදහම් දැනුම

ප‍්‍රශ්නය - පෙළ දහමට අනුව ලෝකය, එහි හට ගැනීම හා පරිහානිය (සමුදයංච අත්ථගමංච) කෙසේ වන්නේද? මේ පිළිබඳ දේශනා පාඨ ඇසුරු කරමින් ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර - බුදු දහමට අනුව ධර්ම සාකච්ඡා කළ යුතු වන්නේ මෙබඳු ගැටලු තැන් නිරවුල් කර ගැනීම ය. මධ්‍යකාලීන යුගයේ රචකයන් විසින් ලලිත විස්තර බුදු සිරිතේ නිර්මාණශීලී අවස්ථා උපයෝගී කර ගනිමින් දහම් ගැටලු “අන්තොජටා, බහි ජටා” වශයෙන් උපෝෂථ දින වැදගත් කාලය අපතේ යවන ආකාරය බොහෝ විට අපට දක්නට ලැබේ. එබඳු අවස්ථාවල දී මෙබඳු ගැටලු එනම් ලෝකය පිළිබඳ ව පෙළ දහමේ දැක්වෙන ආකාරය නුවණින් දැන ගැනීම සසර ගමනට මෙන්ම නිවන් මඟට ද බෙහෙවින් උපාරී වනු ඇත. “අතිරෝචතී පඤ්ඤාය සම්මා සම්බුද්ධ සාවකො” ප‍්‍රඥාවෙන් බුද්ධ ශ‍්‍රාවක විසෙසා හඳුනා ගත හැකි ය. ඒ නිසා බුද්ධ චරිතයට වඩා බුදු දහම කෙරෙහි දැනුවත් ව එය පිළිවෙතට යොමු කර ගනිමු. අඞනි සමුදය සූත‍්‍රාගත තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක සමඟ තම උපමා රූපක යොදා ගැනීමෙන් මෙම සංකීර්ණ වූ වස්තුවක් පිළිබඳව මෙසේ පැහැදිලි කරති. කත මොච භික්‍ඛවේ ලෝකස්ස සමුදයෝ චක්ඛුංච පටිච්ච රූපෙ උප්පජ්ජති චක්ඛු පඤ්ඤණං තිණ්ණං සංගති, ඵස්සො- ඵස්ස පච්චයා වේදනා- වෙදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවො - භව පච්චයා ජාති – ජාති පච්චයා කතමොච භික්ඛවේ - ලෝකස්ස අත්ථ ගමො - මහණෙනි! ලෝකයේ අභාවය පිරිහීීම කෙසේද? ඉතාමත් තාර්කික පදනමක් උපයෝගී කර ගනිමින් ලෝකයේ අවනතිය හෙවත් සංසාරය නිරෝධයෙන් දුක්ඛකන්ධස්ස නිරෝධෝ හොති යනුවෙන් පසු තත්ත්වය භාග්‍යවතුන් වහන්සේ මෙසේ අදියර දෙකකින් පැහැදිලි කළහ.

චක්ඛුංච - සොතංච - ඝානංච ජිව්හංච – කායංච – මානංච – පටිච්ච

චක්ඛු විඤ්ඤාණං ඝාන විඤ්ඤාණං ජිව්හ විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනංච පටිච්ච මනො විඤ්ඤාණං

තිණ්ණං - සංගති ඇස රූපය – චක්ඛු විඤ්ඤාණය නිසාපස්ස - වේදනා - තණ්හා - නැවතත් තෘෂ්ණා නිරෝධය – අසේස විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ අවසාන වශයෙන් එවංමෙතස්ස කෙවලස්ස - දුක්ඛ කන්ධස්ස නිරෝධොහොති-අයං ඛො භික්ඛවෙ ලොකස්ස නිරොධොහොති ජරා මරණං සොකපරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවන්ති – අයං ඛොභික්ඛවෙ ලෝකස්ස සමුදයො.

මේ දේශනා පාලියට අනුව ලෝක සමුදය (හට ගැනීම සඳහා) ප‍්‍රතීත්‍ය සමුද්පාද ධර්මානුකූලව ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීම මෙන් ම තම ඉන්ද්‍රීය පද්ධතිය හා අරමුණු යොදා ගැනීමෙන් අදාළ කරුණු තවදුරටත් පැහැදිලි වෙයි. ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤාණය උපදී. මෙසේ ම සොතංච – පටිච්ච - සොත විඤ්ඤාණ ඝානංච – පටිච්ච - ඝාණ විඤ්ඤාණ කායං ච – පටිච්ච – කාය විඤ්ඤාණ මනං ච – පටිච්ච – මනො විඤ්ඤාණ

ඇස, කන, දිව, ශරීරය, සිත මේ තිදෙනාගේ (ඇස, රූප, චක්ඛූ, විඤ්ඤාණ) එක්වීම, පහසයි. පහස වේදනාව කෙළවර කොට පවතී. වේදනාව තණ්හාව කෙළවර කොට ගනී. තණ්හාව නිසා උපාදානය වේ. උපාදානය භවය හට ගනී.

භවය නිසා ජාතිය හට ගනී. ජාති (උපත) නිසා ජරා මරණ සොක, පරිදෙව, දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මහණෙනි! මේ ලෝකයේ හට ගැනීම ය. පෙළ දහමට අනුව ලෝක සමුදය සූත‍්‍ර දේශනාවට අනුව ගැටලු බොහෝමයක් ම නිරවුල් වී ඇත.

1. පුද්ගලයා තුළින් ලෝකය හෙවත් සංසාරය බිහිවන බව (ඉන්ද්‍රියයන් අරමුණු හා විඤ්ඤාණය, එකතුව ලෝකය හෙවත් සසර බිහි වී ඇත.

2. තණ්හා නිරෝධයෙන් සසර හා ලෝක නිරෝධයන් (සම්මුති වශයෙන්) පුද්ගල නිරෝධයන් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ මෙම සූත‍්‍ර දේශනාවම ඉමස්මිං යෙවඛ්‍යාම මත්තේ කලෙබරේ, දුක්ඛංච පඤ්ඤපෙමි දුක්ඛ නිරෝධංච පඤ්ඤපෙමිං යනුවෙන් මහණෙනි! බඹයක් පමණ වූ මෙම ශරීරය තුළින් ම දුකෙහි හට ගැනීම (සමුදය) හා නිරෝධයත් හඳුනාගත හැකි ය. යන දේශනා පාඨයෙන් ද ඉහත සඳහන් සූත‍්‍රාගත දේශනය තහවුරු වනු ඇත. සංඞ නි උපස්සුතී සූත‍්‍ර දේශනාවෙහි දී භික්‍ෂූන් වහන්සේට මෙම දහම්නය පිළිබඳව මෙසේ ඇගැයුමකට ද ලක් කළහ. මහණ තෙපි මේ දහම්නය (ධම්ම පරියාය 7 ඇසුවහු ද වහන්සෙ දහම්නය උගණිව්) උග්ගණ්හාථ) පිරිවහන (සිහියේ තබා ගනිවි). (පරියාප‍්‍රණාහි) දහම් නය දරුචි (ධාරෙහි) ධම්ම පර්යායං අත්ථ සංහිතං දහම්නය, යහපත පිණිස ය. (ආදී බ‍්‍රහ්මචරිය හොති) මගබඹසරං, මූලික වෙයි.

ප‍්‍රශ්නය - පෙළ දහමට අනුව වත් පිළිවෙත් කිරීම (සම්මජ්ජනියා) බොහෝ ආනිසංස ගෙන දෙන පින්කමකි. බෞද්ධ පිළිවෙත් ගරුකයන් වර්තමානයේ වූවද ඒ ගැන බෙහෙවින් දැන ගත යුතු ය. පංච ආනිසංස යනු මොනවාද?

පිළිතුර

1. සක්කච්චං පසීදති – තම සිතෙහි ප‍්‍රසන්න බව.

2. පරචිත්තං පසීදති – දැක්ක දුටු අයගේ සිත පහන්වීම.

3. දෙවතා අත්තමනාහොන්ති - දෙවි දේවතාවො පවා සතුටු වෙති.

4. පාසාදිකා සංවත්තනිකං කම්මං උපචිතානි - බොහෝ පින් රැස් කර ගනී.

5. පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති – මරණින් මතු දෙව්ලොව උපත ලබයි.

ප‍්‍රශ්නය - මවුපිය පෝෂණය පිළිබඳ ව පෙළ දහම් පිළිවෙත පරාභව වසල සූත‍්‍රවල මෙසේ දැක්වෙයි.

යො මාතරං චා පිතරං චා ජිණ්නකං ගත සොබ්බනං පහුසන්තො නහරති තං- පරාභව තෝ මුඛං

වසල සූත‍්‍රය ද මෙම අදහසම දක්වමින් පවුල – දූ දරු , මවුපිිය ඒකකය ශක්තිමත් කරන “සද්ගුණවත්” බෞද්ධ පවුල් ජීවිතයක ගති ලක්‍ෂණ පැහැදිලි කර ඇත. එහෙත් මේ අදහස ද විවෘත ආර්ථිකය ගෝලීයකරණය වැනි සංකල්ප හරහා වැඩිහිටි නිවාස මවුපිය රැකවරණ රක්‍ෂණ වියපත් විශ‍්‍රාමික ගිණුම් ආදී වශයෙන් උඩු, යටිකුරු වෙමින් මවුපිය උවටැන ක‍්‍රමයෙන් පරිහානිය දක්වා පිය තබනු පෙනේ. පූර්වාපර සිදුවීම් ඇසුරෙන් සමාලෝචනය කරන්න.

පිළිතුර - බොදු දහමට අනුව කවර තරාතිරමේ අයෙකු වූව පුද්ගල හා සමාජගත ජීවිතය හුදකලා බව පිළිනොගනී. මම සාමුහිකත්වයේ එකකි. ඒකක ඓක්‍යය සමස්තයයි. සෑම අයෙක්ම සමස්තයේ එක කොටසකි. ඒ නිසාම කෘතවේදීත්වය සෑම අයෙකුගේ ම යුතුකම හා වගකීම මෙන්ම අයිතිවාසිකම ද වේ. දෙමව්පියන් විසින් දරුවන් පෝෂණයත් පෙරළා දෙමව්පියන් දරුවන් විසින් පෝෂණයත් යුතුකම් හා අයිතිවාසිකම් ගිවිසුම් වාදයට එක්ව ඇත. එක් පාර්ශවයක යුතුකම ගිලිහේ. දෙමව්පියන්ට වැඩිහිටි නිවාස හෝ වියපත් රක්‍ෂණ ගිණුම් මත යැපීමට කටයුතු සැළසේ නම් දරුවන්ට ද කෙදිනක හෝ එම ඉරණමටම යටත් වීමට සිදු වේ.

මව්පිය දූ දරු එකමුතු ව අං නිකාය දුක නිපාත සමචිත්ත වග්ග යේ සූත‍්‍ර ගත බුද්ධ දේශනා පාඨයක මෙසේ අවධාරණය කර ඇත. ද්වින්නං භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච.

මහණෙනි! මව්පිය දෙපළට ප‍්‍රත්‍යුපකාරයෙහි ප‍්‍රමාණයක් සීමාවක් නැති බවම කියමි. සියවසක් ආයු ඇති පුද්ගලයෙක් එක් උරහිසක මවත් අනෙක් උරහිසක පියාත් තබා අත් පා මෙහෙවර, සිහිල් පැන් උණු පැන් නැහැවීම, මළ මුත‍්‍රා එහිම තබා ගෙන සෝදා පවිත‍්‍ර කිරීම ආදී සියලු දෑ කළත් දෙමව්පිය උපකාරය ප‍්‍රති උපකාරයක් නොවන්නේ දරුවන්ට දෙමව්පියන් විසින් මහෝපකාරී වී ඇති බැවිනි. මහ පොළොව මත ඇති සත්රුවන් මත සක්විති රජකම දරුවන් විසින් දෙමාපියන්ට ලබා දුන්නත් ඔවුන් දරුවන්ට කර ඇති උපකාරයට එය ප‍්‍රතිඋපකාරයක් නොවන්නේම යි.

එයට හේතුව ද දේශනාවෙහි මෙසේ සඳහන් වෙයි. “මාතා පිතරෝ පුත්තානං ආපාදකා පොසකා - ඉමස්ස ලොකස්ස දස්සෙතාරො” දරුවන් පෝෂණය කරන්නා වූ ඔවුහු ලෝකයට බිහි කළෝ ද වෙති. මව්පියන් පිළිබඳ ව බෞද්ධ ආකල්ප මෙසේ වන කල්හි ගිහි විනයෙහි ද සිඟාලෝවාද සූත‍්‍රයෙහි දී ද ගෙදර ප‍්‍රධාන මාතෘකාවක් මෙය විය යුතු බව දහමෙහි සඳහන්ව ඇත. දහම් පාසල පන්සල පාසල හා විද්‍යුත් මාධ්‍ය මේ සඳහා යොමු කිරීම ද දෙමව්පිය වැඩිහිටි යුතුකමයි.

බුදුරජාණන් වහන්සේ දෙමව්පිය උපහාරය පිළිබඳ ව විශිෂ්ට අවස්ථාව, බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා - බුදු අම්මා බුදු තාත්තා යන්න ව්‍යවහාරයට ගියේත් මෙම දේශනා තවමත් ජන සමාජය තුළ රැව් පිළිරැව් දෙන්නෙත් ඒ නිසයි. එහෙත් ගෙදර බුදුන් මහ පාරේ යන පුවත් මාධ්‍යවල සටහන් වන විට ඉහතින් සඳහන් බුද්ධ දේශනාව ශ‍්‍රාවක ජනයා තුළ ධාරණය නොවිණිදැයි සැක පහළ වීම ද අරුමයක් නොවේ.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]