Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | විශේෂාංග . . . |

සසුන’ඹරට නව එළියක් එක් කරන මුලටියන පියදාස රත්නායක
අනුස්මරණ සිල් මාතා අභ්‍යාස ආයතනය

2550 බුද්ධ ජයන්තිය නිමිතිකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප‍්‍රධාන ගිහි පැවිදි බෞද්ධ නායකයන් ඇතුළු කොට පත් කළ උපදේශක මණ්ඩලයේ යෝජනාවක් අනුව ශාසන ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් සිල් මාතාවන් සඳහා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ඉදිකළ “මුලටියන පියදාස රත්නායක අනුස්මරණ සිල් මාතා අභ්‍යාස ආයතනය” 2007 අගෝස්තු 19 දින විවෘත කිරීම නිමිති කොට මෙම විශේෂ ලිපිය පළවේ.



මූලටියන එම්. පී. ආර්. සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිටි මහාදානපති සාම විනිසුරු පියදාස රත්නායක මහතා සහ සෝමා රත්නායක මහත්මිය යන මවුපිය දෙපළට නිවන් සුව පතා එම දූ දරු පිරිස පරිත්‍යාග කළ ජනරංජන නිවසෙහි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සිල්මාතා අභ්‍යාස ආයතනය ඇරැඹේ.

බුදු රජාණන් වහන්සේ තරම් කාන්තාවගේ නිදහස හා අභිවෘද්ධිය සඳහා කි‍්‍රයා කළ වෙනත් ශාස්තෘවරයෙකු නැති තරම් ය. උන්වහන්සේ ලොව පහළවන විට නිවසක සාදන සුනඛයෙකුට තරම්වත් පිළිගැනීමක් කාන්තාවට නොලැබුන සංවේග දායක තත්ත්වයක් පැවතිනි. මෙවැනි වකවානුවක සෑම විටම පුරුෂයන් පමණක් නොව ස්තී‍්‍රන් ද බොහෝ අංශයන්ගෙන් දක්‍ෂකම් දක්වන බව සහේතුකව උන්වහන්සේ පෙන්වා දුන්හ. බුදුරදුන්ගේ සිව් පිරිසෙන් හරි අඩක්ම කාන්තාවන්ගෙන් යුක්ත වීම වැදගත් සිදුවීමකි. එපමණක් නොව බුදු සසුනෙහි විවිධ අංශයන්ගෙන් අග තනතුරු ලැබූ ගිහි පැවිදි උතුමෝ බොහෝ වූහ. ඒ අතරින් ප‍්‍රධාන වශයෙන් භික්‍ෂූණින් දහතුන් නමකට සහ උපාසිකාවන් දස දෙනෙකුට පමණ විශේෂ ශාසනික තනතුරු පිරිනැමීමට බුදුරදුන් ගත් කි‍්‍රයා මාර්ගයෙන් කාන්තාවන් කෙරෙහි අනුගමනය කළ මධ්‍යස්ථ ප‍්‍රතිපත්තිය පැහැදිලි වේ.

භික්‍ෂුණී ශාසනය

මහා ප‍්‍රජාපතී ගෝතමියගේ ප‍්‍රධානත්වයෙන් ඇතිකළ භික්‍ෂුණී ශාසනය ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශයෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා හේතු වූ බව ප‍්‍රකට කරුණකි. මේ නිසා භික්‍ෂූන් අතර සැරියුත් මුගලන් දෙනම අග‍්‍රශ‍්‍රාවක තනතුරු වලට පත් වීමට සමානව භික්‍ෂුණින් අතර ඛේමා, උත්පලවණ්ණා දෙනමට අග‍්‍රශ‍්‍රාවිකා තනතුරු ලබා ගැනීමට තරම් වාසනාව පෑදුනි.

ඉන්දියාවේ ව්‍යාප්තව ගිය භික්‍ෂුණි ශාසනය මහින්දා ගමනයෙන් සමසක් ගතවත්ම ශී‍්‍ර ලංකාවට ලැබීමේ භාග්‍යය උදා විය. විශේෂයෙන් අනුලා දේවිය ප‍්‍රධාන පන්සියයක් කාන්තාවන් පැවිදි බිමට පත් වීමට දැරූ දැඩි කැමැත්ත සම්පූර්ණ කිරීමට දෙවනපෑතිස් රජතුමාගේ ඉල්ලීම පරිදි සංඝමිත්තා රහත් තෙරණිය මෙරටට වැඩමවා භික්‍ෂුණී ශාසනය ස්ථාපිත කිරීමේ කාර්යය සැමදෙන ගෞරවයෙන් සිහිපත් කරති. එතැන් පටන් භික්‍ෂු සමාජය මෙන්ම භික්‍ෂුණි සමාජය ද විදර්ශනා ධූරය සපුරමින් ද එයින් බැහැර ජන සමාජයට මහත් සේවයක් සලසමින් ද කි‍්‍රයා කරන්නට වූහ.

විවිධ කරුණු මුල්කොට ගෙන අනුරාධපුර යුගය අවසන් වන විට භික්‍ෂුණී ශාසනය ලංකාවෙන් අතුරුදහන් විය. බුදු දහමට අනුග‍්‍රහය දැක්වූ පසුකාලීන බෞද්ධ පාලකයන් හෝ සංඝ නේතෘන් හෝ නැවත මේ රටේ භික්‍ෂුණී ශාසනය ඇති කිරීම සඳහා උත්සාහ ගත් බවක් නො පෙනේ. කෙසේ වූවත් තායිලන්තය, මියන්මාර්, ලාඕස් , කාම්බෝජය ආදී කිසිදු රටක ථෙරවාදී භික්‍ෂූණින් නැති වීම නිසා අප රටෙහි භික්‍ෂුණි සමාජය නැවත ගොඩ නැංවීමට බාධාවක් බව උගත් ගිහි පැවිදි උතුමෝ පෙන්වා දෙති.

දස සිල් මාතා සංවිධානය


සිල්මාතා අභ්‍යාස ආයතනය බවට පත්වන මූලටියන පියදාස රත්නායක මහතා ඇතුළු පවුලේ අය සතුව තිබූ “ජනරංජන” නිවස

භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් එක් කොටසක් වූ භික්‍ෂුණින් නැතිවීමේ පාඩුව සෑහෙන ප‍්‍රමාණයකින් සම්පූර්ණ කර ගැනීමට දස සිල් මාතාවන්ගෙන් පුළුවන්කම ලැබී ඇත. ගෘහ ජීවිතයෙන් ඉවත්ව දස සීලයේ පිහිටා ජීවත් වන කාන්තාවන් මෙරට වාසය කරන ලද නමුත් ඔවුන්ගේ ව්‍යාප්තියක් පසුගිය අවධීයේ ඇති නොවුනි. බුරුමයට (මියන්මාර්) ගොස් එකොළොස් වසරක පමණ කාලයක් පාලි, බුද්ධ ධර්මය සහිත භාවනා ක‍්‍රමයන් ප‍්‍රගුණ කොට ලංකාවට පැමිණි බෙන්තොට උපත ලැබූ සුධර්මාචාරි සිල් මාතාවගෙන් නූතන යුගයේ සිල් මාතාවන්ගේ නව දියුණුව ආරම්භ වූ බව බොහෝ අය පිළිගනිති.

ගෘහ ජීවිතය අත්හැර කුඩා හෝ ආරාමයක ජීවත් වෙමින් දස සිල් සමාදන්ව අනගාරික ප‍්‍රතිපදාවෙහි යෙදී සිටින සිල් මාතාවෝ බොහෝ දුරට පැවිදි පිළිවෙත් සපුරති. භික්‍ෂූන් මෙන් හිස මුඩු කොට වසන මේ අය සිවුරු නො පෙරවතත් ගිහිබවෙන් ඉවත් වූ බව වඩාත් ප‍්‍රකට කිරීම සඳහා කහ වත් අඳිති. මෙයට වසර කිහිපයකට පෙර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංගණනය කරන ලද වාර්තාවන්ට අනුව මේ රටෙහි සිල් මාතා ආරාම හත්සියයක් පමණ පැවතුන අතර ඒවායේ දෙදහසකට අධික සිල් මාතාවෝ වෙසෙති.

භාවනා කිරීමට වැඩි කැමැත්තක් දක්වන දස සිල් මාතාවන්ගෙන් බොහෝ අය පිරිත් දේශනය, ගිලනුන්ට උපස්ථාන කිරීම, ළදරු පාසල් හා දහම් පාසල් පවත්වා ගෙන යාම. බුද්ධ පූජා හා බෝධි පූජා පැවැත්වීම ආදී සමාජය හා සම්බන්ධ විවිධ කාර්යයන් හි නියුක්තව සිටිති. සමහර අය පාසල් වල පමණක් නොව විශ්වවිද්‍යාලවල ගුරුවරුන් වශයෙන් කි‍්‍රයා කරති. ලෝකෝත්තර ඵල ලබා ගැනීමේ උත්සාහයෙහි යෙදෙන අතර ලෞකික වශයෙන් වර්තමාන සමාජයේ යහපත සඳහා සෑහෙන සේවයක් මොවුහු සිදු කරති. මේ කටයුතු වඩාත් සාර්ථකව කිරීමට නම් විවිධ අංශයන් ගෙන් ඔවුනට පුළුල් අවබෝධයක් අත්‍යවශ්‍ය ය.

සිල් මාතාවන් පිළිබඳ සෑහෙන දුරට කරුණු පරීක්‍ෂා කොට ඉදිරිපත් කරන ලද “බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ” හත්වන පරිච්ඡේදයෙහි මෙසේ සඳහන් වේ.

“දස සිල් මාතාවන් ගේ අධ්‍යාපන තත්ත්වය දියුණු කිරීම සඳහා නේවාසික පහසුකම් සහිත සියලු පහසුකම් ඇති අධ්‍යාපන ආයතන අවශ්‍යතාවය අනුව රට පුරා පිහිටු විය යුතු ය. මෙම අධ්‍යාපන ආයතන වල අනිවාර්යය වශයෙන් පාලි, සිංහල හා ති‍්‍රපිටක බුද්ධ ධර්මය ඉගැන්විය යුතු ය. තව ද යම් යම් විෂයන් පිළිබඳ කෙටි කාලීන වැඩමුළු පැවැත්වීමට ආයතන වරින් වර පියවර ගත යුතු ය.” මෙවැනි වැදගත් යෝජනා ඇතුළත් වාර්තාව වසර ගණනකට පෙර මහත් උත්සවාකාරයෙන් රජයට ඉදිරිපත් කළ නමුත් අතීතයේ පැවති කොමිසන් යෝජනා වලට සිදුවූවාක් මෙන් මෙවර යෝජනා ද කෞතුකාගාර වල තැන්පත් කරන ලද බවක් දැනුනි.

බුද්ධ ජයන්ති වැඩ මාලාව

අතිගරු ජනාධිපතිතුමා විසින් 2550 බුද්ධ ජයන්තිය වෙනුවෙන් අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 2006 පෙබරවාරි 14 දින තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි බෞද්ධ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලිය ගහමන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවන ලදී.

එහි දී කතා කළ ජනාධිපතිතුමා “මේ රටේ නායකයා වශයෙන් මා සියලු ආගම් ආරක්‍ෂා කොට වැඩි දියුණු කිරීමට බැඳී සිටිනවා. එහෙත් මේ 2550 බුද්ධ ජයන්තිය වෙනුවෙන් අවශ්‍ය කවරහෝ කාර්යයක් ඇත්නම් ඒ සියල්ලම බෞද්ධයෙකු වශයෙන් මා නොපැකිලිව ඉටු කර දීමට ඔබ වහන්සේලා ඉදිරියේ පොරොන්දු වෙනවා” යනුවෙන් කළ ප‍්‍රකාශයෙන් එතුමා තුළ පැවැති අව්‍යාජ හැඟීම ප‍්‍රකට විය.

ගරු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මැතිතුමාගේ සභාපතිත්වයෙන් එදා පත් කළ 2550 බුද්ධ ජයන්ති උපදේශක මණ්ඩලය විවිධ යෝජනා ඉදිරිපත් කළේ ය.

ඒ අතරින් තිවංක පිළිමගෙය, දෙගල්දොරුව, ගිරිහඬු සෑය ආදී ඉතා අගනා ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළත්කොට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට මුද්දර පනහක් එක් දින නිකුත් කිරීම, මත් වතුර, මත් කුඩු දුම් වැටි තුරන් කිරීම සඳහා පියවර ගැනීම. කුල දරුවන් පැවිදි කිරීමට උනන්දු කිරීම සහ රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම, නොදියුණු විහාරස්ථාන දියුණු කිරීමට අවශ්‍ය ආධාර දීම, දහම් පාසල් අලුතින් ආරම්භ කිරීම සහ තිබෙන දහම් පාසල් වලට ආධාර ලබා දීමට පියවර ගැනීම. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් ධර්ම දේශක භික්‍ෂූන් පුහුණු කොට ඩිප්ලෝමා සහතික පිරිනැමීමට පියවර ගැනීම ඇතුළු වැදගත් වැඩ රාශියක්ම කි‍්‍රයාත්මක කිරීමට හැකි විය.

පුස් කන කතිකාවත

භික්‍ෂූන් වහන්සේ සහ බෞද්ධ පූජනීය ස්ථාන සම්බන්ධ දේපල පිළිබඳවත් වෙනත් ශාසනික ගැටළු පිළිබඳවත් විසදුම් ලබා දීම පිණිස “කතිකාවතක්” පිළියෙල කොට සම්මත කිරීමට අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රධාන රජයටත් ගිහි පැවිදි බොහෝ දෙනාටත් අත්‍යවශ්‍ය වූ අතර ඒ පිළිබඳ කටයුතු කිරීමේ අවශ්‍යතාව තෛ‍්‍රනිකායික මහා නායක මා හිමිවරුන් වෙත වාර කිහිපයක්ම දැනුම් දෙන ලදී. සම්බුද්ධ ශාසනයේ ශුභ සිද්ධිය අවංකව ප‍්‍රාර්ථනා කරන බොහෝ මහානායක මා හිමිවරුන් ප‍්‍රධාන කාරක සංඝ සභාවන් මේ පිළිබඳව මැනවින් සලකා බලා තමන් විසින් පිළියෙල කරන ලද කතිකාවත් රජය වෙත ඉදිරිපත් කොට ඇති නමුත් වගකිය යුතු නායක මා හිමි වරුන් කිහිප නමකට තම කාරක සංඝ සභාවල අනුමැතිය ලබා ගැනීමට මෙතක් නොහැකි වීම නිසා දෝ මේ වැදගත් කාර්යය තව දුරටත් අතපසු වෙමින් පවතී. මෙය සම්බුද්ධ ශාසනයේ පරිහානියට ප‍්‍රධාන කරුණක් වී ඇති බව වගකිය යුතු අය කල්පනා නොකිරීම බෞද්ධයාගේ අවාසනාවකි!.

නව අභ්‍යාස ආයතනය

2550 බුද්ධ ජයන්තිය උපදේශක මණ්ඩලය කළ තවත් වැදගත් යෝජනාවක් වූයේ “දස සිල් මාතාවන්ගේ දියුණුව සඳහා කටයුතු කළ යුතු ය. ඔවුනගේ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු යෙදිය යුතු අතර විශේෂයෙන් ඔවුන් සඳහා අභ්‍යාස ආයතනයක් පිහිටුවිය යුතු ය” යන්නයි. මේ සඳහා ඇතිවන මූල්‍ය ගැටලු බොහෝ දුරට විසඳා ගැනීම පිණිස මාතර මුලටියන ජීවත් වූ සුප‍්‍රසිද්ධ බෞද්ධ ව්‍යාපාරික නැසී ගිය සාම විනිසුරු පියදාස රත්නායක මැතිතුමාට සහ සෝමා රත්නායක මැතිනියට අයත්ව තිබූ “ජනරංජන” නම් සුවිසල් නිවස මේ සඳහා පරිත්‍යාගයක් වශයෙන් ලබා දිය හැකි බව උපදේශක මණ්ඩලයේ සාමාජික පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමියෝ සභාවට දැන්වූහ. ඒ අනුව මේ පිළිබඳ තොරතුරු පරික්‍ෂාකොට බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම, පූජ්‍ය දිවියාගහ යසස්සි, පූජ්‍ය ඕමාරේ කස්සප යන නාහිමිවරුන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් එච්.ඩබ්ලිව්. ඩී. සුනිල් මහතාගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කරන ලදී. කෙටි කාලයකින් එම වාර්තාව සභාවට ඉදිරිපත් කෙරුණි. හොඳ බෞද්ධ පරිසරයක අක්කරයකට වැඩි භ®මිභාගයක පිහිටි “ජනරංජන” නිවසේ ඉඩකඩ ඇති කාමර එකොළහකි. විශාල දිග පළල ඇති ශාලාවකි. මෙයට අමතරව ගබඩා කාමර, මුළුතැන්ගේ, වැසිකිළි, නාන කාමර මෙන්ම අඩි හතළිස් පහක් පමණ දිගට ඉදි කොට තිබූ රථ ගාලකි. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ අඩි කීපයක් උස් වූ බිමක වෙන්ව ඉදි කර තිබූ උපසාන්ත බුදුරුවක් තැම්පත් කොට තිබූ විහාර මන්දිරයයි. එය විශේෂයෙන් මෙම ස්ථානය පූජනීය ස්ථානයක් බවට කවදා හෝ පත් කෙරෙන බව කියාපාන සුභ ලකුණකි.

රත්නායක පවුලේ පරිත්‍යාගය



දැනට සවිකර ඇති නාම පුවරුව

අපගේ අනුශාසනාවන්ට මහත් ඕනෑකමින් සවන්දුන් පියදාස රත්නායක මැතිතුමා හා එම මැතිනියගේ දරුවන් වූ රන්ජනී, රමනී, හේමමාලී, ජිනානි, අතුල, බුද්ධික, රේණුකා, දුනිදු සහ අනුරුද්ධ යන මහත්ම මහත්මීහු ඉතා පුළුල් ලෙස කල්පනා කළහ. “අපේ මව්පියන් තේ පැක්ටරි, ඉඩ කඩම්, අලි ඇතුන්, බුල් ඩෝසර්, ලොරි ආදි අපමණ සම්පත් හිමිව සිටියත් වස්තුව කෙරෙහි ලෝභ කමින් ගොඩගසා ගෙන සිටියේ නෑ. දකුණු පළාතේ සියගණනක් ආරාමයන්හි දියුණුවටත්, දළදා මාලිගාව, ශී‍්‍ර මහා බෝධිය ආදී පූජනීය ස්ථාන වලටත් අපමණ වස්තුව නොමසුරුව පරිත්‍යාග කළා. අසරණ නැති බැරි අයට කළ සැලකිලි වල සීමාවක් නෑ. හදිසියේ පියා දෙනෙත් පියා ගත්තෙත් අනුන්ගේ දුකකට පිහිට වීමට යද්දී. පියා මිය ගිය පසු මව ඒ සියලු පරිත්‍යාග නො අඩුව කළා .අපිත් ඒ අනුව වැඩ කළ යුතුයයි” කල්පනා කළ ඔවුහු මේ සදා අනුස්මරණීය පුණ්‍යකර්මය සඳහා ඔවුන් උපන් ජනරංජන නිවස රජයට පරිත්‍යාග කොට තම දයාබර මව්පියන්ට නිවන්සුව පැතීමට ඒකමතිකව තීරණය කළහ. එම අදහස රජයට ලිඛිතව ඉදිරිපත් කළ 2006 අගෝස්තු 03 දිනයෙහි මේ සහෝදර සහෝදරියෝ මුළු ජීවිතයේම උසස් පී‍්‍රතිය ලබා ගත් බව පැවසූහ.

මුලටියන සිල් මාතා අභ්‍යාස ආයතනය පිහිට විය යුතු ය යන උපදේශක කමිටුවේ යෝජනාව අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමත් සමඟ රුපියල් ලක්‍ෂ හැටක පමණ මූල්‍යමය සම්පත් මේ සත්කාර්යය සඳහා නොපමාව ලබා දීමට පියවර ගත් බව කෘතවේදීව සඳහන් කළ යුතු ය.

එයින් නො නැවතුන එතුමා පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් ප‍්‍රධාන පූජ්‍ය දිවියාගහ යසස්සී, පූජ්‍ය තලහගම ඥානරතන, පූජ්‍ය ඕමාරේ කස්සප, පූජ්‍ය පරපාමුල්ලේ සුමන නාහිමිවරුන් ද සිල්මාතා සංගමයේ සභාපති පොලොන්නරුවේ ධම්මදින්නා, ගාලු දිස්ති‍්‍රක් සිල් මාතා සංගමයේ ගරු සභාපති සුපර්ණාධම්මපාලි යන සිල් මාතාවන් ද ඒ.ඩී. රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා හා මුලටියන ප‍්‍රාදේශීය ලේකම්තුමා යන අය ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් ද පත් කොට මේ සත්කාර්යය නොපමාව සිදු කිරීමට සහාය වූහ.

වැඩි දිනක් ගත වීමට පෙර ජනරංජන නිවස නවීකරණය කොට තව දුරටත් අවශ්‍ය ශාලා වැසිකිලි ආදියෙන් අංග සම්පූර්ණ කිරීමේ කටයුතු ඇරැඹුනි. මෙම ආයතනයට අවශ්‍ය මාර්ග පහසුකම් ප‍්‍රාදේශීය සභාව මඟින් ඉතා ඕනෑකමින් පිළියෙළ කළේ ය. මෙහිදී විශ‍්‍රාමික බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් එච්.ඩබ්.ඩී. සුනිල් මහතා ගත් උත්සාහය හා අවංක කැපවීම අපි මහත්සේ අගය කරමු.

පුහුණු පාඨමාලාව

දෑ අවුරුද්දක් වූ දීර්ඝකාලීන සහ සති හයක් වූ කෙටි කාලීන පාඨමාලාවන් සඳහා අවශ්‍ය විෂය නිර්දේශ මේ වනවිට සකස් කොට ඇති අතර ඒ අනුව ති‍්‍රපිටක අධ්‍යාපනය, භාෂා අධ්‍යාපනය, භාවනා ශාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, මනෝ විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය හා ධර්ම සංනිවේදනය යන විෂයන් මෙහි ඉගැන්වීමට බලාපොරොත්තු වේ. පුහුණුව සඳහා සිල් මාතාවන් පණහක් පමණ බඳවා ගැනීමට කටයුතු කොට ඇති අතර පවත්වන ලද සම්මුඛ පරීක්‍ෂණයකින් අනතුරුව අවශ්‍ය විෂයන් සඳහා කතිකාචාර්යවරුන් විසි දෙනෙකු පමණ බඳවා ගැනීමට විධි විධාන යොදා ඇත. පුහුණුව සඳහා ඇතුළත් වන සියලු සිල් මාතාවන්ට නේවාසික පහසුකම් සහ ප‍්‍රත්‍යය පහසුකම් නොමිලේ ලබා දීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනටම අවශ්‍ය විධි විධාන යොදා අවසාන ය. මෙය මේ රටේ වැඩ සිටින දස සිල් පිරිස වෙනුවෙන් ප‍්‍රථම වරට සිදු කෙරෙන උසස් පූජාවකි.

එදා දකුණු පළාතේ වැඩ සිටි සඟරුවනටත් පොදු ජනතාවටත් ආහාර පාන ආදී ආමිසදානයන් පිරිනැමීමට දොරටු විවෘත කොට තිබූ මුලටියන “ජනරංජන” නිවස දැන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට සිල් මාතාවන් පුහුණු කොට මුළු රටටම ධර්ම දානය බෙදා දීමේ මධ්‍යස්ථානයක් වශයෙන් පියදාස රත්නායක අනුස්මරණ සිල් මාතා අභ්‍යාස ආතයනය බිහි කිරීම ආශ්චර්ය ජනක සිදුවීමකි. සියම් නිකායේ අස්ගිරිපාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහනායක මාහිමියන් වහන්සේ සහ මල්වතුපාර්ශවයේ අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රධාන තෛ‍්‍රනිකායික මහනායක හිමිවරුන් ඇතුළු සංඝ රතනයේත්, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගුරු අගමැතිතුමාගේත් සුභ පැතුම් සහිතව මෙම ආයතනය විවෘත කරන්ට ලැබීම මහාභාග්‍යයකි.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]