දෙලොව ම සතුට ගෙන දෙන උතුම් පින්කම් කළ යුතු ය හැම කල

දෙලොව ම සතුට ගෙන දෙන උතුම් පින්කම් කළ යුතු ය හැම කල

“ඉධ මෝදති පෙච්ච මෝදති - කතපුඤෙඤා උභයත්ථ මෝදති,
සො මෝදති සො පමෝදති - දිසවා කම්ම විසුද්ධිමත්තනො.”
(ධම්මපදය)

“කළ පින් ඇත්තෝ මෙලොව සතුටු වෙයි. එහි විපාක වශයෙන් පරලොව සතුටු වෙයි. ඒ කළ පිනෙන් දෙ ලොව ම සතුටු වෙයි. තමා කළ ඒ පිරිසුදු පුණ්‍ය කර්ම (නිතර) සිහිකොට මෙලොව දී සතුටු වෙයි. පරලොව දී ඒ කළ පුණ්‍ය කර්ම දැක බොහෝ සතුටු වෙයි.”

මෙම අර්ථ දක්වන ඉහත ගාථාව ද සියල්ල දන්නා, සියල්ල දක්නා, පසැස් ඇති, විශ්වයේ ඇති සියල්ල තම අනාවරණ ඥානයෙන් දැක ගත් අප තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන ලද්දක් බව ශ්‍රද්ධා සිතින් ඇදහිය යුතු ය.

එහෙයින් තුනුරුවන් කෙරෙහි විශ්වාසය (ශ්‍රද්ධාව) ඇති මෙවන් අනුශාසනා පරිදි කටයුතු කර නිවන් සැප අවසන් කොට ඇති උතුම් සැප ලබන කුසල් දහම් හි හැසිරීමට අදිටන් කරගමු.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) වැඩ සිටිය දී සැවැත් නුවර සිටි ධම්මික උපාසකතුමා අරභයා මේ ගාථා රත්නය මුල්කොට දහම් දෙසූ සේක.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස සැවතෙහි ම බොහෝ උපාසකයනට හැමතින් ම දෙටු වූ ධම්මික නම් උපාසකයකු විය. මොහු ධනවත්කමට වඩා ගුණවත්කමට ප්‍රසිද්ධ වූවෙකි.

මොහුට සත්දෙනා බැගින් දූ පුතුන් ද දහහතර දෙනෙක් වූහ. ඔවුහු ද පිනට ඉතා ලැදි ගුණවත් අනුජාත දරුවෝ වූ අතර උපාසක බිරින්ඳෑ ද මෙසේ ම වූවා ය. එනිසා ම මේ ගෙදර බොහෝ විට දන් දෙන, පින්කම් කරන නිවසක් ලෙස ද විහාරවාසී බොහෝ භික්ෂූන් වහන්සේ දැන සිටියහ. මේ මහා උපාසකතුමා කෙමෙන් මහලු වීය. ලෙඩ වී මරණයට ද ළං විය. දහම් ඇසීමට ද සංඝයා වහන්සේ දැකීමට ද පියා කැමති බව දත් දරුවෝ දෙවුරම් වෙහෙරට ගොස් කළ ආරාධනයෙන් ස්වාමීන් වහන්සේ සොළොස් නමක් පමණ වැඩම කොට ඇඳ වටා පණවා තිබූ අසුන්හි වැඩ උන්හ. උපාසකතුමාගේ සොම්නස මහත් විය.

“සිල්වතුන් වහන්සේ ගේ දැකීම මට ඉතා පි‍්‍රය ය. මම ජරාවෙන් හා රෝගයෙන් පෙළෙමින් සිටිනෙමි. ඉඳුරන් දුබල ව ගියහ. ස්වාමීනි, බණ අසනු කැමැත්තෙමි. මට දහමක් දෙසනු මැනැව්යි කීය.

පින්වත, ඔබ කැමැති ධර්මයක් අපට දෙසිය හැක. කුමක් දෙසන්න දැයි භික්ෂූන් වහන්සේ ඇසූ විට

සතිපට්ඨාන සූත්‍ර දේශනාව මට බොහෝ පුරුදු ය. එය අසනු කැමැති’යි පැවසීය.

මෙසේ සතර සිහිවටන් දේශනාව දේශනා කරන්නට වන් විට සියලු දෙව් ලෝ දෙව්හු අවුත් අහසේ රැස්ව සිටියහ. මේ අතර උපාසකතුමා හට ගතිනිමිති (මරණින් පසු උපත ලබන තැන පිළිබඳ සටහන්) පහළ විය. සදෙව්ලොවින් දිව්‍ය රථ සයක් පැමිණ අහසේ රඳවා ගෙන සිටි අයුරු ගති නිමිති වශයෙන් දුටහ. උපාසක තොමෝ අපේ රථයට ගොඩවන්න යැයි හැම දෙවියෝ ම කියන්නා සේ දැණුනි. මෙවිට දහම් අසමින් සිටි උපාසකතුමා බණට අනතුරු නො කොට ඒ අවසන් වනතුරු ටිකක් ඉවසන්නැයි අතින් සංඥා කරමින් දෙවිවරුනට දන්වා සිටියේ ය. ඒ දුටු භික්ෂූන් වහන්සේ දම් දෙසුම් නවතා විහාරයට වැඩියහ.

බණ ඇසීමෙන් සෑහීමක් මෙයට පෙර කවදාවත් නො තිබුණු පියා මරණ බියට පත්ව ඇතැයි දරුවෝ හඬන්නට වූහ. දරුවෝ හඬනු අසා කුමක් නිසා හඬන්නේ දැයි ඇසූවිට මෙයට පෙර ඇති වූ සිද්ධීන් පියාට කී විට, උපාසකතුමා කියන්නේ,

“බණ නවතාලීමට මා සංඥා නො කළ බවත් සදෙව්ලොවින් සැරසූ රථ හයක් විත් තමාගේ රථයට එන්න යැයි ඒ ඒ දෙවියන් පෙරැත්ත කරද්දී බණට හානි නොකොට ටිකක් ඉන්න යයි මා දෙවියන්ට කී “බව උපාසකතුමා කීය.

ඔබ කියන දිව්‍ය රථ අපට පෙනෙන්නේ නැතැයි දරුවෝ කී විට මල් මාලාවක් ගෙන්වා වඩා සැප ඇත්තේ තුසිත දෙව්ලොව බව දරුවන් කී පසු ඔය මල් මාලාව එහි රැඳේවා යි අහසට දමන ලෙස පියා කීය. ඒ වූ පරිදි තුසිත දෙව්ලොව රථයේ එය රැඳී තිබෙනු දරුවන්ට දැකගත හැකි විය.

“දරුවෙනි, ඔබලා ද සතුන් මැරීමෙන් වැළකීම ආදී වූ දස කුසල් හි ම යෙදී මෙත්තා, කරුණා දී ගුණ දියුණූ කරන්නැ’යි මේ ලෙසින් අවවාද දී කළුරිය කොට ධම්මික උපාසකතුමා තුසිත දෙව්ලොව පහළ විය.

උපාසකතුමාගේ ගෙදර වැඩි භික්ෂූන් වහන්සේ පෙරළා විහාරයට වැඩිය කල්හි “උපාසකතුමා හොඳට බණ ඇසී දැ” යි බුදුරජාණන් වහන්සේ විමසූ විට

“එසේ ය ස්වාමීනි, හොඳට බණ ඇසී මුත් අතරමඟ දී මෙසේ සිදු වූවා යැයි සිද්ධිය කීහ.

“මහණෙනි, වූයේ එවැන්නක් නොව, උපාසකහට ගතිනිමිති පහළ වී කැටිව යාමට ආ දෙවියන් සමඟ කළ කතාවක් බව පවසා ඉහත ගාථාවෙන් ධර්මය දේශනා කළ සේක. ඔහු කො තැනක උපනේදැ’යි ඇසූ විට

“තුසිත දෙව්ලොවැ” යි වදාළ සේක.

“ස්වාමීනි, ධම්මික උපාසක තෙමේ නෑයන් මැද ඉතා සතුටින් මෙලොව ජීවත් වූයේ ය, දැන් මිය ගොස් ද සතුටු විය හැකි තැනක ම උපන්නේ යයි භික්ෂූන් වහන්සේ කී විට,

“මහණෙනි, එය එසේ ම ය. කුසලයෙහි නො පමා වූ ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේ වා සියලුදෙනා සියලු තැනම සතුටු වෙති’යි බුදුරජාණන් වහන්සේ මෙහි දී වදාළ සේක.

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]