[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක පෝ දා 2024-07-05

වරදින සිත නිවැරැදි කරමු

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි සැවැත් නුවර නන්ද නම් එඬේරෙක් විය. අනේපිඬු මහ සිටුතුමාගේ ගව සමූහය රැක බලාගත් ගොපලුන් අතර ඔහු එක් අයෙක් වුව ද හේ දිළින්දෙක් නොවීය. ධනයෙන් ද, බලයෙන් ද මහත් වූවෙකි. එහෙත් යස ඉසුරු හමුවේ මත් නොවූවෙකි. කිසිවකුට උඩඟුකම් නොපෙන්වා සැමදා කර ගෙන අ සුපුරුදු ජීවිකාව නතර නොකළ ඔහුට මහ සිටුතුමා ද බෙහෙවින් කරුණාබර විය. තුනුරුවන් කෙරෙහි ද පහන් වූ සිතින් පිරිපුන් නන්ද සෑම දිනෙකම දෙව්රම් වෙහෙරට ගොස් දහම් අසන්නට අමතක නොකළේ ය.

දිනක් නන්ද, දන් පිරිනැමීම පිණිස බුදුපාමොක් මහ සඟනට සිය නිවෙසට ආරාධනා කළේ ය. තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන මහා සංඝයා වහන්සේ පිරිවරා එහි වැඩියහ. උන්වහන්සේ වඩින දෙපස ඉතා අලංකාර ව සැරසූ නන්ද පෙර මඟ ගමන් කොට වන්දනා කළේ ය. නිවෙසේ මනහර සෙනසුන් පිළියෙළ කළේ, සත් දවසක් මුළු දා වැඩ විසීම උදෙසා ය. මෙසේ සත් දිනක් මුළුල්ලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සුපිරිසුදු, ප්‍රණීත පස්ගෝරසයෙන් යුතු මහ දන් පිදූ නන්ද සත්වැනි දින අනුමෙවැනි බණ අසා සෝවාන් ඵලයට පත්වූයේ ය.

බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ සමඟ වෙහෙරට වඩින අවස්ථාවේ ද නන්ද පසුපස ගමන් කරමින් බොහෝ දුර ගියේ ය. තථාගතයන් වහන්සේ නන්ද නවතින්න යැයි වදාළ පසු හේ උන්වහන්සේට වන්දනා කොට නිවස බලා යන්නේ ය. අතරමඟ වැද්දකු විසින් විදින ලද හී පහරකින් නන්ද ගොපලු මරණයට පත් වූයේ ය. ඒ දැක කම්පාවට පත් වූ ඇතැම් පිරිස් බුදුරජාණන් වහන්සේ මෙහි නොපැමිණියේ නම් නන්දගේ මරණය සිදුවන්නේ නැතැයි පවසන්නට වූහ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නොමැරී සිටීමට ඔහුට උපායක් නොමැති බවත්, එය ඔහු කළ කර්මයක් පල දීමක් බවත් ය.

තමන් වහන්සේ මෙහි වැඩම කළ නිසා නන්ද නිවන් මඟ හෙළිකොට නියත ගති ඇතිව කළුරිය කළ බවත් ය.

සම්බුද්ධ දේශනාවට අනුව නන්ද ගොපල්ලාගේ අකාල මරණය පෙර වරදවා පිහිටුවා ගත් සිත නිසා ම සිදු වූවකි. තමන්ට අවැඩ ගෙන දෙන්නේ, නපුරට පමුණුවන්නේ ඒ වැරැදි සිත ම ය.

ධම්මපදයේ චිත්ත වග්ගයේ සඳහන් වන ලෙස මේ නන්ද නම් එඩේරා අරභයා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා ධර්මය අපේ ජීවිතයට ද අපූර්ව මාර්ගෝපදේශයක් ලබා දෙයි.

දිසො දිසං යං තං කයිරා
වෙරි වා පන වෙරිනං
මිච්ඡා පණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ

මෙහි වාචික අර්ථයට අනුව සොර සතුරන් කරන විපතකට වඩා වරදෙහි යෙදූ සිත බලවත් නපුරක් කරන්නේ ය.

අපි සොර සතුරන්ට බොහෝ බිය වෙමු. වටිනා කියන දේ ඔවුන්ගෙන් ආරක්ෂා කර ගන්නට වෙහෙසෙමු. එහෙත් ඊට වඩා නපුරක් කළ හැකි කෙනෙක් අප සමීපයේ ම සිටී. ඒ වරදවාගත් අපේ සිතයි. එහෙත් සිත ආරක්ෂා කරන්නට අපි නොවෙහෙසෙමු. සිත වැරදුණ තැන වන විනාශය මහත් ය. වැරැදි සිත නම් අකුසලයෙහි බැඳුණු සිත ය. එවැනි සිත මේ ජීවිතයත්, උපනුපන් සෑම බවයකමත් ඒ පුද්ගලයා දුකට පමුණුවයි. සිත නිවැරැදි මඟට යොමු කරමින් කුසලයෙහි ම සිත වැඩිය හැකි නම් මේ ජීවිතයට මිල කළ නොහැකි වටිනාකම් හිමි කර ගත හැකි ය. පෙර පවක් නිසා නන්ද ගොපල්ලා වැද්දකු නිසා මිය ගියත් මේ බවයේ කළ කුසල් නිසා සෝවාන් ඵලය සාක්ෂාත් කර ගත්තා මෙනි. සිත නිවැරැදි ව පිහිටුවා ගන්නට සෑම මොහොතක ම කටයුතු කරමු.

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]