ආයු වර්ණ සැප බල ලබන්නට ...
ජීව වස්තූන් අජීව ද්‍රව්‍යයන් කෙරෙහි බලපාන හැටි විස්මය ජනකය. මිනිසා ගුණ දහමින්
පිරිහෙත්ම වෘක්ෂලතාවන්ගේ පවා රසගුණ අඩුවන බව ධර්ම කථාවලින් පෙනේ.
සත්වයන් හා ද්‍රව්‍යයන් අතර පවතින අපට නො පෙනෙන මේ සම්බන්ධය කුමක් ද?
ජීව හා අජීව වස්තූන්ගෙන් යුත් මේ මහා පෘථිවියට අපි ලෝකයැයි කියමු. එකී පැවැත්ම ඉතා
විචිත්‍රය. ජීව වස්තූන් අජීව ද්‍රව්‍යයන් කෙරෙහි බලපාන හැටි විස්මය ජනක ය. මිනිසා
ගුණ දහමින් පිරිහෙත්ම වෘක්ෂලතාවන්ගේ පවා රසගුණ අඩු වන බව ධර්ම කථාවලින් පෙනේ.
සත්වයන් හා ද්‍රව්‍යයන් අතර පවතින අපට නො පෙනෙන මේ සම්බන්ධය කුමක් ද? මේ අදෘෂ්‍යමාන
ශක්තිය “ධර්ම” යන වචනයෙන් කියන දෙය මිස අනිකක් නොවේ. ලෝකයේ පාප කර්ම වැඩිවන්න,
වැඩිවන්න මිනිසා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් හා ප්‍රඥාවෙන් පිරිහෙන හැටිත්,
පවු අඩුවෙන්න, අඩුවෙන්න ඒවා දියුණු වන සැටිත් සූත්‍ර දේශනාවල විසිතුරු ලෙස දැක්වේ.
සක්විතිවත් පිරූ චක්‍රවර්තී රජවරුන් ලොව පහළවන කාලයෙහි මිනිසාගේ පරමායුෂ අවුරුදු
අසූදහසක් වෙයි. කැමැත්ත, බඩගින්න හා මහලුවීම ඉච්ඡා අනසනං ජරා” යන තුන පමණකි. රෝග
වශයෙන් ඇති වන්නේ මේ සමයෙහි පස්පවු දස අකුසල් ලොව ඇත්තේම නැත. සක්විති රජය හිමි
වන්නේ එනම් චක්‍රරත්නය පහළ වන්නේ වත් පිරුවහුට මිස පිය උරුමයෙන් නොවේ.
“න... පෙත්තිකං දායජ්ජ”
එක් සක්විති රජෙකු සිරිත් පරිදි දෙටු පුතුට රජය භාර දී පැවිදි වූ කල අලුත් රජ වත්
පිළිවෙළට නොව සිය මතය අනුව පාලනය කළේ ය. ජනපද වැස්සෝ සෛවරී වූහ. මැති ඇමැතිවරු තුමු
සක්විතිවත් දරමු'යි කියා සිටියෙන් රජ ඔවුන්ට රක්ෂාවරණ සංවිධානය කළේ ය. එහෙත් නිර්ධන
අයට ධනය නුදුන්නේ ය. කල්යත් ම දිළිඳුකම රටපුරා බහුල වී ගියේ ය.
මෙසේ ලෝකයේ පවු වැඩි වෙත්ම මනුෂ්‍යයන්ගේ ආයු ආයුවර්ණාදිය ද පිරිහීගොස් අවුරුදු දහය
පරමායුෂ වන සමයක් ද ඇතිවන්නේ ය. ඒ බව බුදුරජාණන් වහන්සේ “භවිස්සති භික්ඛවේ සො සමයො
යං ඉමේසං මනුස්සානං දසවස්සායුකා පුත්තා භාවිස්සති” යි වදාළහ.
මේ දශ වර්ෂායුෂ්ක මිනිසුන්ගේ ස්වභාවය මෙසේ ය. පස්වන වියේ දී කසාද බඳිති. මෙකල
පස්ගෝරස හා මී පැණි හකුරු ලුණු යන රස අතුරුදහන් වෙයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය
කුදාසක (අමු) යි. දස කුසල කර්ම මුළුමනින් ම අතුරුදන් වෙයි. දස අකුසල් බැබළේ.
“කුසල්” යන වචනය පවා නැති වන්නේ ය. මවුපියන්ට වැඩිමහල්ලන්ට නොසලකන්නෝ ම සැලකිය
යුත්තෝ ද ප්‍රශංසාර්භයෝ ද වෙති. මව ය, නැන්දා ය, කුඩම්මා ය, භාර්යාව ය යන විශේෂයක්
ඔවුන් අතර නැත. මොවුහු එළු, බැටළුවන්, ඌරන්, කුකුළන්, බල්ලන්, බළලුන් ආදී තිරිසනුන්
මෙන් හැසිරෙති. ඔවුනොවුන් කෙරෙහි මේ මිනිසුන්ගේ තියුණු ක්‍රෝධයක්. වෛරයක් පවතින්නේ
ය.
මව් පුතුන් පිය පුතුන් සහෝදර සහෝදරියන් මුවා දුටු දඩයක්කාරයා කෙරෙහි මෙන් ඔවුනොවුන්
අතර ආඝාතයක් ඇතිවන්නේ ය. මොවුන් අතර තියුණු අවි ආයුධ පහළ වී මෘගසංඥාවෙන් සත් දිනක්
ඇනකොටා ගැනීමක් ඇති වන්නේ ය. ඔවුනොවුන් මරා ගත්තෝ ය.
මේ අතර මොවුන්ගෙන් ඇතැම් කෙනෙක් ‘අපි කිසිවෙකු නොමරමු. කිසිවෙක් අප නොමරා. අපි වන
ගහණයක හෝ කඳුකරයකට හෝ ගොස් වනමුල් පලාපලවලින් සත් දින ජීවත් වෙමු නම් යෙහෙකැ”යි
වනගත වෙත්. සත් දින ගත වූවායින් පසු ඔවුහු එළියට පැමිණ ඔවුනොවුන් වැලඳගෙන සැනසී
පවුකම්හි යෙදුණු නිසා අපට මෙබඳු වූ ඥාති ව්‍යසනයක් වූයේ ය. මින් පසු අපි කුසල්
කරමු.
මෙසේ පවතිද්දී මිනිසෙක් සොරකමක් කළේ ය. ඔහු ගෙන රජු වෙත ඉදිරිපත් කෙළෙන් රජ තෙම නුඹ
සොරකම් කළේ ඇයි දැයි ඔහුගෙන් ඇසීය. ජීවත්වන්නට නොහැකි හෙයිනැ’යි ඔහු කී විට රජ ඔහුට
ධනය දී අඹුදරුවන් සමඟ හොඳින් කා බී එයින් ජීවත්වන්න යයි කියා මුදා හැරියේ ය. ටික
දිනකට පසු තවෙකෙක් එසේම සොරකමක් කළේ ය. රජ ඔහුට ද ධනය දී මුදා හැරියේ ය. මෙය ඇසූ
මිනිස්සු රජුගෙන් ධනය ලබා ගැනීමට සොරකම් කරන්නට පටන් ගත්හ. ධනය දෙන්නට දෙන්නට හොරකම
වැඩිවන බව රජුට පෙනී ගියේ ය. මෙය මුල් සිඳිය යුතු යයි සිතූ රජ සොරෙකුගේ හිස සිඳීමට
නියම කළේ ය. මෙය ඇසූ මිනිස්සු ද තියුණු ආයුධ සාදාගෙන හොරුන් අල්ලා තුමෝ ද මරන්ට
පටන් ගත්හ. මෙයින් ලෝකයේ ප්‍රාණඝාතය ද පහළ විය. මෙසේ ප්‍රාණඝාතය ද වැඩි දියුණු වී
පැතිරීයත් ම මිනිසුන්ගේ ආයුෂ ද වර්ණය ද පිරිහී ගියේ ය.
අසූ දහසක් ආයුෂ වූ මිනිසුන්ගේ දරුවෝ පවු වැඩෙත්ම සතළිස් දහසක් පරමායුෂ ඇත්තෝ වූහ.
සොරකම් කළත් මෙතෙක් ඔවුහු බොරු නොකීහ. දිනක් සොරකම් කළේ සැබෑදැයි සොරෙකුගෙන් ඇසූ
කල්හි නැතැයි ඔහු මුසාවක් කීහ. මෙයින් ලොව මුසාවාදය ද පහළ විය. බොරුව වැඩෙත්ම
මිනිසුන්ගේ ආයුෂ විසිදහස දක්වා බැස්සේ ය. ක්‍රම ක්‍රමයෙන් කේළාම් කීම පැතිරී යත්ම
දස දහස දක්වා ද, කාම මිථ්‍යාචාරය පැතිරෙත්ම පන්දහස දක්වා ද අභිධ්‍යාව්‍යාපාද
පැතිරෙත් ම දහස දක්වාද මිථ්‍යා දෘෂ්ටිය පැතිරෙත්ම පන්සීය දක්වාද, අධම්මරාගය, විසම
ලෝභය, මිථ්‍යා ධර්මය පැතිරෙත් ම දෙසිය පණහ දක්වා ද, මවුපිය පූජක වැඩිමහලු අයට
නොසැලකීම පැතිරෙත් ම අවුරුදු සියය දක්වා ද මිනිසාගේ පරමායුෂ පිරිහුනේ ය. දැන්
පවතින්නේ මේ පිරිහීමේ අවධියයි.
වනගතවී ඇනකොටා ගැනීමෙන් බේරුණු, දශවර්ෂායුෂ්ක මිනිස්සු මරා ගැනීම නිසා සිය නෑයන්
වැනසුණු හැටි වටහාගෙන පළමු කොට ප්‍රාණඝාතයෙන් වෙන්වීමට තීරණය කරන්නේ ය. මේ කුසල
හේතුවෙන් ඔවුන්ගේ ආයුෂ වැඩිවේ. වර්ණය වැඩිවේ. දරුවෝ විසි අවුරුද්දක් පරමායුෂ ඇත්තෝ
වෙති. මේ දරු පරපුරේ අය “සොරකම් කිරීමෙන් ද වෙන් වෙති. එනිසා ඔවුන්ගේ දරුවෝ සතළිස්
අවුරුදු පරමායුෂ ඇත්තෝ වෙති. මේ ක්‍රමයෙන් අනාගත දරු පරම්පරාවෝ කාම මිථ්‍යාචාරය,
මුසාවාදය ආදී යටකී පාප ධර්මයන්ගෙන් වෙන් වෙමින් කුසල ධර්මයන් කරමින් ගුණ දහමෙන්
දියුණුවීම හේතුකොට ගෙන පරමායුෂ අනුව, සිය ආදි වශයෙන් වැඩී ගොස් වර්ෂ අසූදහස පරමායුෂ
වෙන තැනට නැඟී යන්නේ ය. මුලින් කී පරිදි ආයු වර්ණ, සැප බල ප්‍රඥා ආදියෙන් අනූන වන
තැනට නැඟී යන්නේ ය. මුලින් කී පරිදි ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදියෙන් අනූන වන මේ
සමයෙහි චක්‍රවර්තී රජවරු පහළ වන්නෝ ය. සර්වප්‍රකාරයෙන් ම සමෘද්ධිමත් වන ලෝකයෙහි
අග්‍ර රාජධානිය වන්නේ දඹදිව කේතුමතී නම් නගරයයි. මෙහි “මේත්ත්‍යෙ” නම් සර්වඥයන්
වහන්සේ පහළ වන්නෝ ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරිනි.
හේමමාලා රන්දුනු |