බක් අමාවක පෝ දා
2024-05-07
මිනිස්කම රැක ගනිමු
කිච්ඡො මනුස්ස පටිලාභො - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡො බුද්ධානං උප්පාදො
මේ අප තථාගතයාණන් වහන්සේ බරණැස් නුවර වැඩ වෙසෙන සමයක ඒරකපත්ත නම් නා රජකු අරබයා
දේශනා කොට වදාළ ගාථා ධර්මයෙකි. ලෝකයේ දුර්ලභ කරුණු සතරක් ගැන කියැවෙන මෙම ගාථා
ධර්මය ඇදැහැමි ව ජීවිතය පවත්වමින් පව් රැස් කර ගන්නා, තමන්ටත් අනුන්ටත් අනර්ථය ම
ළඟා කරන කවර පුද්ගලයකුට වුව නැවත නිවැරැදි ජීවිතයකට පිවිසෙන්නට අපූර්ව උත්තේජනයක්
ලබා දෙයි.
ඒ අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීමේ අති දුර්ලභ බව, එසේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා
කර ගනිමින් පවත්වා ගෙන යාමේ දුෂ්කර බව, සද්ධර්මය අසන්නට ලැබීමේ භාග්‍යයෙහි දුර්වල
බව හා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමේ දුර්ලභ බව යන කරුණු දෙස විමසිලිමත්
වන්නේ නම්, මේ දුෂ්කර ව, දුර්ලභ ව ලැබූ මිනිසත් බව විනාශ කරමින් තිරශ්චීන ගති
පුරුදුවලට යට වෙන්නට කිසිවෙක් ඉඩ නො තබනු ඇත.
ඒරකපත්ත නා රජු පෙර කාශ්‍යප බුදුරදුන් දවස උසස් මිනිසත් බවක් ලැබූවෙකි. ඒ මිනිසක්
බවින් විපුල පල ලබන්නට එම බුදු සසුනෙහි දිවි ඇතිතෙක් මහණ දම් පිරුවත් උතුම් මිනිස්
බව නො ලබා ම යළි පාප කර්මයක ප්‍රතිවිපාක ලෙස සසරට වැටී තිරිසන් ආත්මයක් ලැබීය.
මරණින් මතු ඔරුවක් පමණ විශාල නාග රාජයෙක් ව උපත ලද හෙතෙම බුදුරදුන් වෙත පැමිණ
හඬන්නට වූ අවස්ථාවේ දී ය, අප තථාගතයන් වහන්සේ ඉහත ගාථා ධර්මය දේශනා කොට වදාළේ.
මිනිසා සිය මහගෙදර කොට ගෙන සිටින්නේ සතර අපාය බව එක් අවස්ථාවක බුදුරජාණන් ්වහන්සේ
දේශනා කොට වදාළහ. එසේ නම් ලද මිනිසත් බවින් ප්‍රයෝජන ගෙන ධර්මානුකූල මඟට පිවිසෙන්නට
අප වහ වහා උත්සාහ කළ යුතු ය. කවර මොහොතක මේ ජීවිතය හැර යන්නට වේ දැයි අපි කිසිවෙක්
නො දනිමු. ඊළඟ මොහොතේ අපේ මරණය සිදුවේ දැයි කිව නොහැකි ය. කුසලයෙහි අප්‍රමාදි විය
යුතු එහෙයිනි.
මනුෂ්‍යත්වයේ වටිනාකම ගැන නො දැනීම හා නො සිතීම, කර්ම නියාමය නො පිළි ගැනීම, විවේක
බුද්ධියක් නොවීම හා භෞතික සම්පත් හිමි කර ගැනීමේ, ගොඩගසා ගැනීමේ නො නවතින ආශාව ඊට
හේතු සාධක වේ. එහෙත් එවැනි පුද්ගලයන් තමනුත් නො දැනීම මේ ජීවිතය ද වැනසී පරලොව ද
වනසා ගනී.
මිනිසත් බව තුළ මනු දම් ගුණ රැක ගැනීම ඉතා අසීරු විය හැකි ය. එහෙත් බෞද්ධයකුට එසේ
විය නොහැකි ය. බෞද්ධයා යනු ප්‍රබුද්ධ මනසකින් යුතු පුද්ගලයෙකි. ධර්මානු ධර්ම
ප්‍රතිපන්න දැහැමි පුද්ගලයෙකි. පවෙහි ලජ්ජා බිය දක්වන හෙතෙම කිසිවිටෙක මිනිසත්කමට
නොහොබිනා දේ නො කරන්නේ ය. කුසලයෙහි ම අප්‍රමාදී වන්නේ ය. තම තමන් කරන කියන දෙයට, තම
තමන්ගේ සිතිවිලිවලට ගලපා බැලීමෙන් තමන් දුර්ලභ ව ලැබූ මිනිසත් බව ආරක්ෂා කර ගන්නා
පුද්ගලයෙක් ද යන්න තමන්ට ම අවබෝධ කර ගත හැකි ය.
ගෙවුණු කාලය ගැන සිතමින් පශ්චාත්තාප වීම බෞද්ධයාගේ ස්වභාවය නොවේ. වරද හඳුනාගෙන
වරදින් මිදුණ පුද්ගලයා වළාකුළෙන් මිදුණු සඳ සේ බබළන බව යි තථාගතයන් වහන්සේ අපට
දේශනා කොට වදාළේ. ඒ මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්නට අප ගේ මවට – පියාට හෝ වෙන අන් කවරකුට
හෝ නොහැකි ය. තථාගතයන් වහන්සේ අපට ඒ උතුම් මාර්ගය දේශනා කොට වදාළහ. එහි ගමන් කරනවා
ද නැද්ද යන්න තීරණය කළ යුතු තමන් ම ය.
මනුෂ්‍යත්වය පිළිබඳ ව මනා දැනීම, ධාර්මික ජීවන පැවැත්ම, ජීවන දර්ශනය, කල්‍යාණ
මිත්‍ර සේවනය යන ප්‍රධාන කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම මිනිස්කම ආරක්ෂා
කරගැනීමෙහි ලා උපස්ථම්භක වේ. ශ්‍රී සද්ධර්මය ජීවමාන කාලයක මිනිසුන් ලෙස උපත ලබන්නට
අපි පුණ්‍යවන්තයන් වී සිටිමු. ඒ උතුම් දහම් මඟට පිවිස මනුසත්කමට වටිනාකමක් දී දෙලොව
සුබ සිද්ධිය සලසා ගන්නට මේ වෙසක් සමයේ අදිටන් කර ගනිමු. |