දහම් පාසල් අවසාන විභාගයට අත්වැලක්: බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය - 02 කොටස

දහම් පාසල් අවසාන විභාගයට අත්වැලක්:

බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය - 02 කොටස

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2004

I කොටස

1. (අ) අකුසල මනෝ කර්ම නම් කරන්න.

(ආ) ඒවායින් දෙකක් හඳුන්වා දෙන්න.

(ඉ) එම අකුසල කර්ම, මනෝ කර්ම ගණයට ඇතුළත් කිරීමේ වැදගත්කම පහදන්න.

(ඊ) අකුසල කර්මවලින් වැළකීම පුද්ගල හා සමාජ පාරිශුද්ධියට හේතුවන අයුරු පැහැදිලි කරන්න.

(2) (අ) සම්මා සංකප්ප මාර්ගාංගයට අයත් ප්‍රභේද නම් කරන්න.

(ආ) එම ප්‍රභේදවලින් දෙකක් හඳුන්වා දෙන්න.

(ඉ) “සම්මා” යන උප පදයෙන් එම සංකප්පය විශේෂ කොට දැක්වීමේ හේතුව පහදන්න.

(ඊ) පවිත්‍ර මනසක් ඇති කර ගැනීමට “සම්මා සංකප්ප” උපයෝගී වන අයුරු විස්තර කරන්න.

(3) (අ) බුද්ධ කාලයෙහි දක්නට ලැබෙන ආත්මවාදී ඉගැන්වීම් දෙකක් නම් කරන්න.

(ආ) එම ඉගැන්වීම් හඳුන්වා දෙන්න.

(ඉ) බුදු දහමට අනුව ලොව සදහට ම පවත්නා ධර්මතාව කවරක් දැයි ලියා එහි අංග ගෙන හැර දක්වන්න.

(ඊ) සමාජගත ගැටලු විසඳා ගැනීමට එම ධර්මතාව උපකාර වන අයුරු පහදන්න.

4 (අ) ත්‍රිලක්ෂණය නම් කරන්න

(ආ) එම ලක්ෂණවලින් දෙකක් හඳුන්වා දෙන්න.

(ඉ) ත්‍රිලක්ෂණ ධර්මාවබෝධයෙන් මමත්වය නැති කර ගත හැකි අයුරු පැහැදිලි කරන්න.

(ඊ) දුකින් මිදීමට පමණක් නොව එදිනෙදා ජීවිතය යහපත් කර ගැනීමට ද ත්‍රිලක්ෂණය භාවිත කළ හැකි අයුරු පහදන්න.

II කොටස

5) (අ) “නාම ධර්ම” වශයෙන් හඳුන්වන පරමාර්ථ දෙක නම් කරන්න.

(ආ) අභිධර්මයෙහි රූප යන පදය විවරණය වන අයුරු දක්වන්න.

(ඉ) රූප ධර්ම ග්‍රහණය කර ගන්නා ආකාරය දක්වා මහාභූත රූප නම් වශයෙන් සඳහන් කරන්න.

(ඊ) නිෂ්පන්න රූපයන්ගේ සංඛ්‍යාවත්, එහි අර්ථයත් ලියා ඒවා හට ගැනීමට හේතුවූ කරුණුත් පෙන්වා දෙන්න.

6) (අ) සමථ භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න.

(ආ) සමථ භාවනාව යනු කවරේදැයි කෙටියෙන් හඳුන්වා එයට අයත් කර්මස්ථාන සංඛ්‍යාව දක්වන්න.

(ඉ) සතර බ්‍රහ්ම විහරණ නම් කර සමථ භාවනාව වැඩීමෙන් ලබා ගත හැකි ප්‍රතිඵල දෙකක් ලියන්න.

(ඊ) භාවනාව වැඩීමට සීල සංවරය අවශ්‍ය මන්දැයි දක්වා ආනාපාන සතිය කමටහනක් වන්නේ කවර හේතුවක් නිසා දැයි පැහැදිලි කරන්න.

III කොටස

7. පහත සඳහන් ගාථාවල තේරුම් සිංහලෙන් ලියන්න.

වන්දාමි චෙතියං සබ්බං - සබ්බ ඨානෙ සු පතිට්ඨිතං

ශාරීරික ධාතු මහාබෝධිං - බුද්ධ රූපං සකලං සදා

වණ්ණගන්ධගුණොපෙතං - එතං කුසුම සන්තතිං

පූජයාමී මුනින්දස්ස - සිරීපාද සරොරුහෙ

කායෙන වාචා චිත්තෙන - පමාදෙන මයා කතං

අච්චයං බම මේ භන්තෙ - භුරිපඤ්ඤ තථාගත

ඉමිනා පුඤ්ඤ කම්මෙන - මා මේ බාලසමාගමො

සතං සමාගමො හොතු - යාව නිබ්බාණ පත්තියා

8. පහත දැක්වෙන පාලි පාඨ සිංහලට නගන්න.

(ආ)

කාකවණ්ණතිස්ස මහාරාජා කිර

විහාරදෙවියා සද්ධිං

රොහෙණ රජ්ජං කාරෙන්තො

අනොපමං මහාදාන

පවත්තෙන්තො මහාගාමෙ පටිවසති.

(ආ)

අථ රාජා තස්ස පටිසන්ධිතො දසෙකද්ධමාසෙ අතික්කන්තෙ එක දිවසං විහාරං ගත්වා භික්ඛුත් වන්දන්ත්තො පූජෙන්තො ගිලානානං භික්ඛූනං චතුපච්චයෙහි උපට්ඨහන්තො චරති.

*****

පිළිතුරු

I කොටස

(01) අ) දැඩි ලෝභය - අභිඣා

ව්‍යාපාදය - ව්‍යාපාද

මිසදිටු බව - මිච්ඡාදිට්ඨි

ආ) ව්‍යාපාදය යනු අන්‍යයා නැසේවා යි ඇති කර ගන්නා දුෂ්ට චේතනාව යි.

කෙනකුගේ සදාචාර ජීවිතයට හානි කර සාවද්‍ය නොහොත් වරදවා ගත් විශ්වාස හෙවත් මිථ්‍යා දෘෂ්ටිය නියති මිසදිටු බවයි.

ඉ) අකුසල චේතනාවකින් ඒ මොහොතෙහි දූෂ්‍ය වන හෝ කුසල චේතනාවකින් පිරිසුදු වන සිත තවත් සිත් පරම්පරාවකට මුල්වීම ස්වභාවික ය. පුද්ගලයකු ඇසිපිය හෙළන මොහොතකින් දහස් ගණනක් සිත් ඇති වී නැති වී යාම බෞද්ධ මනෝ විද්‍යාත්මක සිද්ධාන්තයකි. එක් සිතක් නැතිව යනුයේ ඊළඟ සිතට පසුබිම සකස් කර දීමෙනි. ඒ අනුව ඉහත කී පුද්ගලයාගේ මනසෙහි දෝස සහගත සිත් සුළු කාලයක් තුළදී ඇතැම් විට කෝටි ගණනක් ඇති වී නැති වී ගොස් තිබෙන බව වැටහේ.

ඊ) අකුසල කර්මවලින් වැළකීම සඳහා යම් කිසිවක් කිරීමට හෝ කීමට හෝ පෙර එම සිතිවිල්ල තමාටත් අන්‍යයන්ටත් යහපත පිණිස හේතු වේ නම් පමණක් කළ යුතු ය. එය කුසලයකි. එ මඟින් සමාජයේ මෙන් ම පුද්ගලයාගේ ද සදාචාරාත්මක බවට හේතු වේ.

(02) අ) නෙක්ඛම්ම සංකප්ප

අව්‍යාපාද සංකප්ප

අවිහිංසා සංකප්ප

ආ) නෙක්ඛම්ම සංකප්ප

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනුවෙන් හැඳින්වෙන පංචකාම වස්තූන් කෙරෙහි ඇති ඇල්මෙන් ඡන්ද රාගයෙන් දැඩි ඇල්මෙන් ඈත්වීම පිළිබඳ කල්පනාව නෙක්ඛම්ම සංකප්ප වේ. විරාගී කල්පනාව යනු ද මෙයයි.

අව්‍යපාද සංකප්ප

ව්‍යාපාදයට විරුද්ධ කල්පනාව අව්‍යාපාද කල්පනාවකි. අව්‍යාපාද කල්පනාව යනු අනුන්ගේ විනාශය කල්පනා නොකොට අනුන් කෙරෙහි මෛත්‍රිය පතුරවන කල්පනාවයි.

ඉ) ‘සම්මා’ යන උප පදයකින් වෙසෙසා දැක්වීමට හේතුව බුදු දහමෙහි එන කුසල් මඟ අනුගමනයෙන් ම ඉදිරියට යා යුතු හෙයිනි. බාහිර ශාසනයන්ගෙන් වෙන් කොට දැක්වීම එහි අරමුණ වේ. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එම අංග ‘සම්මා’ යන උප පදයකින් විශේෂ කොට දක්වා තිබේ.

ඊ) නෙක්ඛම්ම සංකප්ප මඟින් විරාගී කල්පනාව ඇති කරයි. අව්‍යාපාද සංකප්ප මඟින් අන් අයට ද මෛත්‍රිය ඇති කොට ගෙන ක්‍රෝධයෙන් තොරව, ජීවත් වෙත්වා යනුවෙන් කල්පනා කරයි.

අවිහිංසා සංකප්ප මඟින් අනුන්ට හිංසා පීඩා කිරීමේ කල්පනාව මඟ හැර එහි ආදීනව මෙන් ම කරුණාව දැක්වීමේ අනුසස් කල්පනා කිරීම ම අවිහිංසා කල්පනාවයි. ඒ අනුව සම්මා සංකප්පය මඟින් අන්‍යයන්ට අවහිර නොකොට සෑම දෙනාට ම මෛත්‍රිය පතුරවමින් සියලු සත්වයන්ට යහපත සලසන පවිත්‍ර මනසක් ඇති කර ගත හැකි වෙයි.

03) අ) පුබ්බේකත හේතුවාදය

උච්ඡේද වාදය

ආ) පුබ්බේකත හේතුවාදය යනු පෙර ආත්ම භාවයන්හි දී කරන ලද කුසලා කුසල කර්මයන් හේතු කොට ගෙන ම සත්ත්වයාගේ උපත, මරණය, දුක, සැප විඳීම, ආදිය සිදුවන බව කීමයි.

උච්ඡේදවාදය යනු මරණින් මතු නැවත උපතක් නැත. මෙලොවක් පරලොවක් නැත යන්නයි.

ඉ) අනිත්‍යතාව එහි අංග දෙකකි.

උප්පාද (ඉපදීම) වය (නැතිවීම)

ඊ) අනිත්‍යභාවය පිළිබඳ යම් ප්‍රමාණයකට හෝ වැටහීමක් තිබීම පෞද්ගලික ජීවිතයට මෙන් ම සාමාජික ජීවිතයට ද වැදගත් ය. පුද්ගලයා ඇතුළු ලොව සියල්ලට ම පොදු ධර්මතාවක් වන මෙම ලක්ෂණය අනුව යමෙක් ලෝක ස්වභාවය දෙස බලයි නම්, පුද්ගලයා අනවශ්‍ය අසීමිත ආශාවන් ඇති කර ගැනීමට යොමු නොවේ. ඒ නිසා තමන් තුළ ඇතිවන අනවශ්‍ය කායික, මානසික පීඩා ඇති නොවේ. ලොව දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වේ. අන්‍යයන් කෙරෙහි වෛරය, ක්‍රෝධය ඇති කර නොගෙන කටයුතු කළ යුතු ය. මේ අනුව සමාජ ගැටලු විසඳා ගැනීමට මේ ධර්මතාව උපකාරි වේ.

04) අ) අනිත්‍යය, දුක්ඛ, අනාත්ම

ආ) අනිත්‍යය - අනිච්ච හෙවත් අනිත්‍යය නම් හේතු - ඵල වශයෙන් හටගත් කිසිම දෙයක් සදාකල්හි නොපවත්නා බවයි.

අනාත්ම - අනාත්ම නම් මම ය මාගේ ය යනුවෙන් වෙනස් නොවන සදාකාලික ආත්මයක් වශයෙන් ගත හැකි යමක් නැති බවයි.

ඉ) බුදුදහම නිත්‍ය සදාකාලික ආත්මයක් නො පිළිගනී. බුදුන් වහන්සේ වදාළේ මෙම ආත්ම සංකල්පය මනඞකල්පිත මිථ්‍යා විශ්වාසයක් බව ය. මම ය, මාගේ ය යන අහිතකර හැඟීම් ද තෘෂ්ණාව, මානය, රාගය, ද්වේෂය, අහංකාරය වැනි සියලු ක්ලේශයන් ද උපදින්නේ මේ ආත්ම දෘෂ්ටිය නිසා ය.

එබැවින් පරම සුවය සඳහා “මම වෙමි” යන අස්මිමානය දුරු කළ යුතු ය. එනම් සත්ත්ව පුද්ගල, ආත්ම, ජීව ආදි සංකල්පයන් හඳුනා ගෙන ඒවා හුදු වචන මාත්‍රයක් පමණක් විනා ග්‍රහණය කළ යුතු කිසිවක් ඒවායෙහි විද්‍යමාන නොවන බව අවබෝධ කළ යුතු ය. එමඟින් මමත්වය නැති කර ගත හැක.

ඊ) ත්‍රිලක්ෂණය අවබෝධය දුකින් මිදීමට පමණක් නොව එදිනෙදා ජීවිතය යහපත් කර ගැනීමට ද හේතු වේ. පුද්ගලයා ඇතුළු ලොව සියල්ලට ම පොදු සාධාරණ ධර්මතාවක් වන මේ ලක්ෂණය අනුව ලොව දෙස බැලීමට පුරුදු වන්නේ නම්, පුද්ගලයා අනවශ්‍ය අසීමිත ආශාවන් ඇති කර ගැනීමට යොමු නොවේ. තමන් තුළ ඇතිවන අනවශ්‍ය කායික මානසික පීඩා ඇති නොවේ. සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වේ නම් අන්‍යයන් කෙරෙහි වෛරය, ක්‍රෝධය ඇති කර නොගැනීමට පුරුදු වේ. මේ අනුව ත්‍රිලක්ෂණය අවබෝධය දෛනික ජීවිතය සතුටින් ගත කිරීමටත්, අවසන් වශයෙන් නිවන් සුවය අවබෝධයටත් හේතුවන බව තේරුම් ගත යුතු ය.

II කොටස

05) අ) චිත්ත, චෛතසික

ආ) මිනිසා, සත්ත්වයා, පුද්ගලයා ආදී වශයෙන් කරනු ලබන ව්‍යවහාරය යථාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීමෙහි දී එය නාම රූප ධර්මයන්ගේ එකතුවක් පමණක් බව අභිධර්මයේ දී ඉගැන්වේ. චිත්ත චෛතසික කොටස් නාම ධර්ම වශයෙන් හඳුනා ගන්නා අතර ඉන්ද්‍රියයන් මඟින් ග්‍රහණය කළ හැකි බාහිර කොටස් රූප ධර්ම නාමයෙන් හැඳින්වේ. මිනිස් සිරුර පමණක් නොව සත්ත්ව ශරීරය, ගස්, ගල්, ජලය, වාතය ආදී විද්‍යමාන සියලු වස්තූන් රූප කොටස් අන්තර්ගත වේ.

ඉ) රූප යන පදය ධර්මයෙහි විවරණය වන්නේ ශීතය, උෂ්ණය ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා මොහොතින් මොහොත කිපෙන, පහර ලබන, පෙළෙන හෝ වෙනස් වන දේ වශයෙනි. මේ වෙනස වනාහී සිත තරම් වේගවත් හෝ සියුම් වූවක් නොවේ.

අභිධර්මයේ දීි රූපය අටවිසි ආකාරයට බෙදා දැක්වේ. එයම මූල ධාතු වශයෙන් භූත රූප නමින් සතරකට හා එකී රූපයන් නිසා හෙවත් ඇසුරු කොට පවත්නා රූප වශයෙන් උපාද රූප නමින් සූවිස්සකට ද බෙදේ. උපාද රූප නැවතත් පසාද රූප ආදි වශයෙන් කොටස් දසයකට ද බෙදා ඇත.

භූත රූප 04

1. පඨවි 2. ආපෝ 3. තේජෝ 4. වායෝ

ඊ) නිෂ්පන්න රූප 18කි.

1.මහ භූත, රූප 04 - පඨවි, ආපෝ, තේජෝ, වායෝ

2.පසාද රූප - 05 -චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය

3.විසයරූප - 04 - රූප, සද්ධ, ගන්ධ, රස

4. භාව රූප - 02 - ඉත්ථිභාව, පූරිසභාව

5. හදය රූප - 01

6. ජීවිත රූප - 01

7.ආහාර රූප -01

මෙම රූප 18 නිෂ්පන්න රූප නම් වේ. යම් යම් හේතු ප්‍රත්‍ය මුල්වීම නිසා මේවා හට ගනී. එම හේතු නම් කම්ම චිත්ත, ඍතු ආහාර වේ. මේ හේතුවලින් කිනම් හෝ හේතුවක් මුල් කොට ගෙන හට ගන්නා රූප නිෂ්පන්න රූප නම් වේ.

6. අ) චිත්ත භාවනා

සමාධි භාවනා

ආ) පුද්ගලයාගේ සිත නිරන්තරයෙන් කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වී තිබේ. එම ආවරණයේ ශක්තිය යටපත් කර දමා සංසිඳුවාලීම සමථ නමින් හැඳින්වේ. ඒ සඳහා සිත අරමුණ බැහැර විය නොවේ. එක්තැන් කොට ගෙන නැවත නැවත වැඩිම සමථ භාවනා නම් වේ.

සමථ භාවනා සඳහා අරමුණු වශයෙන් කර්මස්ථාන 40ක් බෞද්ධ සම්ප්‍රදාය තුළ දක්නට ලැබේ. එනම්

1.දස කසිණ- 10 2. දස අසුභ-10 3. දස අනුස්සති -10 4. චතු බ්‍රහ්ම විහාර -04 5. චතූ ආරුප්ප -04 6. ආහාරයෙහි පටික්කුලතාව -01 7.චතුධාතු වවත්ථාන -01 -40

ඉ.

1.මෙත්තා 2. කරුණා 3. මුදිතා 4. උපේක්ෂා

1.පෙර ආත්මභාවයන් දැකීමේ හැකියාව

2.අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව

ඊ. ශීල සංවරය හුදු තාවකාලික හික්මීමකි. එයින් ලැබෙන පරිචය සිත එක් අරමුණක තබා ගැනීමේ ක්‍රියා මාර්ගය සඳහා මහෝපකාරි වෙයි. සිත වනාහී දියෙන් ගොඩ ගත් මසෙකු සේ නිතර සැලෙන්නෙකි. එක් අරමුණක නො කැමැති විසිර පවතින්නකි. බුද්ධි සම්පන්න පුද්ගලයා ජීවිතයේ වටපිටාව හා අත්දැකීම මාර්ගයෙන් සිය සිත දෙස හැරී බැලීමට උත්සුක වෙයි.

එමඟින් සිත එක් අරමුණට නංවා ගැනීමෙන් කුසල් සිත්හි රඳාව තැබීම සමාධි නාමයෙන් ගැනේ. එම ශීල සංවරය තුළින් පිටවන මූලික පදනම මත ම රැඳවිය යුතු හෙයින් කුසල් සිත්හි ඒකාග්‍රතාව සමාධිය යි කියනු ලබයි.

විවිධ වූ රූප ශබ්ද ආදි අරමුණු කරා පැතිර විසිරී යනු නොදී තමන් තෝරා ගත් එකම අරමුණක රඳවා පිහිටුවා තැබීම මානසික ශාන්තිය සඳහා අත්‍යවශ්‍යය. ශීල සංවරයෙන් තොරව මෙය කළ නොහැක්කකි. ඒ තුළින් භාවනා ශීලාදී පුද්ගලයා විසින් ප්‍රථමයෙන් සීල සංවරය ඇති කර ගත යුතු ය.

කර්මස්ථානය යනුවෙන් අදහස් කෙරෙන්නේ සිත එකඟ කර ගැනීම සඳහා උපයෝගී කර ගන්නා අරමුණයි. ආනාපාන සතිය කර්මස්ථානයක් වන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සිත එකඟ කිරීම සඳහා සුදුසු අරමුණක් කර ගන්නා හෙයිනි.

III කොටස

07) 1. මනාකොට පිහිටුවන ලද්දා වූ ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන සියලු චෛත්‍යයන් ද බෝධින් වහන්සේ ද, බුද්ධ ප්‍රතිමාවන් ද මම සෑම කල්හිම වඳිමි.

2. පැහැය සුවඳ යන ගුණයන්ගෙන් යුක්ත වු මේ මල් සමූහයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් පුදමි.

3.මාගේ සිතින්, කයින්, වදනින් සිදු වු සියලු වරදට ගැඹුරු ප්‍රඥාවක් ඇති බුදුරජාණන් වහන්ස, මා හට සමා වන සේක්වා.

4.මේ පින්කමේ බලයෙන් මා හට අසත්පුරුෂ ආශ්‍රයක් නොවේවා! නිවන් දකින තුරු සත්පුරුෂයන්ගේ ආශ්‍රය ම ලැබේවා.

(08) අ) කාවන්තිස්ස මහරජතුමා විහාරමහා දේවිය සමඟ රුහුණෙහි රජ කරන්නේ උපමා කළ නොහැකි පමණ මහදන් දෙමින් මහ ගමෙහි වාසය කරයි.

ආ) ඉක්බිති රජතුමා, ඔහුගේ පිළිබඳ ගැනීමෙන් දස එකඩමසක් ඉක්ම ගිය කල්හි එහි දවසක් විහාරයට ගොස් භික්ෂූන් වඳිමින් පුදමින් ගිලන් භික්ෂූන්ට සිවුපසයෙන් උපස්ථාන කරමින් හැසිරෙයි.

බක් අමාවක

මැයි 07 අඟහරුවාදා පූ.භා. 11.44 අමාවක ලබා 08 බදාදා
පූ.භා. 08.55 ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]