දෙලොව දියුණුවට ආර්ය ධනය
පොල්ගහවෙල
වෙහෙරපිටිය
විද්‍යාර්ථෝදය මහ පිරිවෙනේ
දෙල්දෙණියේ රතනසාර නාහිමි
පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙලොව දියුණුව සඳහා ම හේතුවන කරුණු හතක් ත්‍රිපිටකයෙහි
සඳහන් වේ. මේ ධර්ම කරුණුවල වැදගත්කම නිසා ම ඒවා ආර්ය ධන වශයෙන් ද හඳුන්වා තිබේ. මෙම
ආර්ය යන්නෙහි අදහස නම් ශ්‍රේෂ්ඨ, උතුම් යන්නයි.
බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේ ද, ආර්ය යන්නෙන් හඳුන්වා ඇත. එවැනි උතුමන් විසින් ද
අනුගමනය කරනු ලබන ධර්ම සමූහයක් නිසා එනමින් අගය කෙරේ. මෙම ධර්මයන් පුද්ගලයාගේ
අභිවෘද්ධිය සඳහා පමණක් නොව පොදු සමාජයේ දියුණුව සඳහා ද සදාචාර සම්පන්නභාවය සඳහා ද
බෙහෙවින් හිතකර වේ. ආධ්‍යාත්මික ගුණ වගාවට ද බෙහෙවින් උපස්ථම්භක වේ. බෞද්ධයාගේ පරම
නිෂ්ටාව වන නිර්වාණාවබෝධය සඳහා ද මෙය මඟ පෙන්වයි.
මෙම උතුම් ධන හත අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දක්වා ඇත. එනම් : ශ්‍රද්ධාව, සීලය,
හිරිය, ඔත්තප්පය, සුතය, චාගය, ප්‍රඥාව යනුවෙනි.
මෙහි ශ්‍රද්ධාව යන්නෙන් විශ්වාසය, පැහැදීම යන අදහස් ගෙන දෙයි. එක් අවස්ථාවක
බුදුරජාණන් වහන්සේ මෙම ශ්‍රද්ධාව බිත්තර වීවලට උපමා කළ සේක. මක් නිසා ද යත්
බෞද්ධයකු වශයෙන් කටයුතු කිරීමේ දී මුලින් ම ඇති කර ගත යුතු ධර්මතාව මෙම සැදැහැති බව
නිසා ය. සිල්වතුන් දැකීමට ඇති කැමැත්ත මසුරුමල දුරු කිරීමට ක්‍රියා කිරීම
ශ්‍රද්ධාවන්තයාගේ මූලික ලක්ෂණ වශයෙන් බුදු සමයේ සඳහන් වේ.
මේ ශ්‍රද්ධා ධනයේ ප්‍රභේද රාශියක් දක්නට ලැබේ. චල සහ අචල යනු එක් වර්ගීකරණයකි. මෙහි
චල යන්නෙන් සෙලවෙන යන්න අදහස් කෙරෙන අතර, පෘථග්ජන පුද්ගලයින්ගේ සිත්සතන්හි ඇතිවෙන
ශ්‍රද්ධා චෛතසිකය එනම් වේ. එය වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බැවින් ය.
අචල යනු නොසෙල්වෙන යන අරුත ය. බුදු, පසේබුදු, මහ රහත් වැනි ආර්ය පුද්ගලයින්ට ඇති වන
ශ්‍රද්ධාව එනම් වේ. ඒ වෙනස් නොවන ස්වභාවය නිසා ය. අන්ධානුකරණයෙන්, නොවිමසිල්ලෙන්
විශ්වාස කිරීම අමූලිකා ශ්‍රද්ධාව නම් වන අතර, බුදු දහමෙහි අගය කර ඇත්තේ
විමර්ශනාත්මක ව බුද්ධි ගෝචර ව විශ්වාස කිරීම නම් වූ ආකාරවතී ශ්‍රද්ධාවයි.
හිතේ නොමැති ශ්‍රද්ධාවක් ගතේ තවරා ගෙන ලෝකයාට පෙනෙන්නට කටයුතු කරන පුද්ගලයින් තුළ
නියම ශ්‍රද්ධාවක් පිහිටා නොමැත. ඉක්මනින් ම එසේ පැහැදෙන ඇත්තෝ ඒ වගේ ඉක්මනට ම
කළකිරීමට පත්වෙති.
මෙම ශ්‍රද්ධාවේ තවත් අවස්ථා දෙකක් දක්වා තිබේ. එනම් සම්පසාදන සද්ධා සහ සම්පක්ඛන්ධන
සද්ධා යනුවෙනි. අරහං සම්මා සම්බුද්ධෝ ආදි නව අරහාදි බුදු ගුණ, ස්වාක්ඛාතො භගවතා
ධම්මො ආදී ධර්මයේ ගුණ, සුපටිපන්නො ආදී සංඝරත්නයේ ගුණ සිහිපත් කරන විට ඇති වෙන
ශ්‍රද්ධාව සම්පසාදන සද්ධා නම් වේ. එමෙන් ම සූවිසි ගුණ සිහිපත් කරන කල්හි ඇති වෙන
පැහැදීමයි. මෙහි දී කෙලෙසුන් යටපත් වී සිතේ මනා ප්‍රසන්නභාවයක් ඇති වෙයි.
දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදි දස පුණ්‍ය ක්‍රියා සිදු කරන අවස්ථාවේ ඇති වන
ශ්‍රද්ධාව සම්පක්ඛන්ධන සද්ධාව නම් වේ. අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතයේ මේ ශ්‍රද්ධාව
සතර ආකාරයකට ද වර්ගීකරණය කර ඇත. එනම්,
ආගම සද්ධා – බෝසත්වරුන්ට පමණක් පහළ වන ශ්‍රද්ධාව ය
අධීගම සද්ධා - ආර්ය පුද්ගලයින්ට පමණක් පහළ වන ශ්‍රද්ධාව ය
ඕක්කප්පන සද්ධා - කිසිවකුගේ ගුණ මෙනෙහි කිරීමෙන් ඇති වන ශ්‍රද්ධාව ය
ප්‍රසාද සද්ධා - තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් යුතු වූ ශ්‍රද්ධාව ය.
දෙවැනි ආර්ය ධනය නම් සීලයයි. හික්මීම, සංවරශීලිභාවය යන අදහස් මෙයින් ජනනය වෙයි.
බෞද්ධ ප්‍රතිපදා මාලාවේ මූලය නම් සීලයයි. කයෙන් සහ වචනයෙන් සිදුවෙන අකුසල
ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම සීලයෙන් සිදු වේ. සීලයෙහි ද ප්‍රභේද රාශියක් ඇති අතර
ප්‍රධාන ප්‍රභේද දෙකක් නම් චාරිත්‍ර ශීල හා වාරිත්‍ර ශීල යන්නයි. අනුගමනය කළ යුතු
යහපත් ක්‍රියා චාරිත්‍ර වන අතර, දුරු කළ යුතු අයහපත් ක්‍රියා වාරිත්‍ර ශීල නම් වේ.
චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල ආදි වශයෙන් ද පන්සිල්, අටසිල්, නවාංග උපෝසථ සිල්,
උපසම්පදා සිල් ආදී වශයෙන් ද මෙම සීලයේ විවිධ ප්‍රභේද දක්නට ලැබේ. ඒ අතරින්
බෞද්ධයාගේ නිත්‍ය ශීලය පඤ්ච ශීලයයි.
බුද්ධ දේශනාවේ දක්වා ඇති ආකාරයට දුශ්ශීල ව අවුරුදු සියයක් ගතකරනවාට වඩා සීලවන්ත ව
දවසක් ගත කිරීම උතුම් බව ධම්මපදයේ සඳහන් වේ. කිරලා බිත්තර ආරක්ෂා කරන්නාක් මෙන් ද,
සෙමෙර මුවා වලිගය රැක ගන්නාක් මෙන් ද, එකම දරුවකු ඇති මව්පියන් ඒ දරුවා බලා කියා
ගන්නාක් මෙන් ද, එකම ඇසක් ඇති පුද්ගලයා ඒ ඇස රැක ගන්නාක් මෙන් ද සිය සීලය රැක ගත
යුතු බව බුදුසමයේ අගය කර ඇත.
මහත් වූ භෝගස්කන්ධයක් ලැබීම, මනා කීර්ති ශබ්දයක් පැතිර යාම, ඕනෑම පිරිසක් ඉදිරියට
නොබියව ම පැමිණීමේ හැකියාව, මරණින් මතු දිව්‍ය ලෝකයෙහි ජන්ම ලාභය සිදුවීම, සීල, ධනය
මනාව සුරැකීම නිසා ලැබෙන ආනිශංස වශයෙන් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සඳහන් ෙවේ.
“හිරි” යන්නෙහි අදහස ලජ්ජා සහගත බව යන්නයි. අකුසල හෙවත් වැරැදි ක්‍රියා සිදු කිරීමට
ලජ්ජා වීමයි. එය තුන්වැනි ආර්ය ධනයයි. පාප ක්‍රියාවන්ගෙන් දුරු වීම සඳහා අනුගමනය කළ
යුතු නැතහොත් මේ නිසා නොකරමි’ යි සිතා වැළකිය යුතු වේ.
එවැනි ක්‍රියා හීන, දීන, පහත් පුද්ගලයන්ගේ කටයුතු සේ සලකා පව් කිරීමට ලජ්ජා වීම ය.
තම තත්ත්වය පිළිබඳ ව සලකා අකුසල ක්‍රියා සිදු කිරීමට ලජ්ජා වීම ය.
අන්‍යයන් කලකිරෙයි යන අදහසින් පාප ක්‍රියාවන් කිරීමට ලජ්ජා වීම ය.
තම ජාතිය, ආගම පිළිබඳ ව සලකා වැරැදි ක්‍රියා සිදු කිරීමට ලජ්ජා වීම ය.
‘ඔත්තප්ප’ යනු භය හෙවත් බිය යන්නයි.” දුරාචාරයන්, දුශ්චරිතයන් සිදු කිරීමට බිය
වීමයි. එය සිවුවන ධනයයි. මෙහිලා ද පාප ක්‍රියාවන්ගෙන් වැළකීමෙහි ලා සිතිය යුතු
කරුණු සතරක් බුද්ධ දේශනාවේ දක්වා තිබේ.
අනුන්ගෙන් ලැබෙන නින්දාවට බියෙන් අකුසල යැයි සම්මත ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම ය.
සෙසු ලෝකයා පව්කම් දකින්නේ යැයි ඇති වෙන බිය නිසා පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම
ය.
පව් කරන්නාට මරණින් මතු සතර අපාය ආදී ස්ථානයන්හි උපත ලබා දුක් විඳින්නට සිදු වන්නේ
යැයි සිතා එනම් එම බිය නිසා අකුසල ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම ය.
තමාගේ හෘද සාක්ෂියට අනුව ඇති වෙන දෝෂාරෝපණයන්ටත් බියෙන් පාප ක්‍රියාවන්ගෙන් වැළකී
සිටීම ය.
පස්වැනි ආර්ය ධනය නම් “සුත” යන්නයි. එනම් ඇසූපිරූ තැන් ඇති බවයි. දැනුම දියුණු කර
ගැනීමට ඇති එක් මාධ්‍යයක් වශයෙන් සවන්දීම දැක්විය හැකි ය.
සන්නිවේදන මාධ්‍ය දියුණුව පැවැති ඉපැරැණි යුගයේ දැනුම ලබා ගැනීමේ ප්‍රධාන මාධ්‍යය
වූයේ මෙම සවන් දීම ය. එකල විහාරස්ථානයේ ධර්ම ශාලාවට රැස් වූ බෞද්ධ සැදැහැති ජනතාව
තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ම ධර්ම ශ්‍රවණය කළ බව බෞද්ධ ඉතිහාසයේ සනිටුහන් වී තිබේ.
බෞද්ධ හිමිවරු ද මාරුවෙන් මාරුවට එළිවෙන තුරු ධර්ම දේශනා පැවැත්වූහ.
දේශනාව ධර්ම, විනය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකි. එයින් ධර්මය කොටස බුදුරදුන්ගෙන්
සම්පූර්ණයෙන් අසා දැනගෙන සිටියෝ ආනන්ද මහ රහතන් වහන්සේ ය. ඒ අනුව ඇසූපිරූ තැන් ඇති
භික්ෂූන් අතර අග තනතුර ලැබුවෝ ද උන්වහන්සේ ම ය. මේ සුත යන්නට ධර්ම විනය පිළිබඳ
දැනුම පමණක් අදහස් නොකෙරේ. අන්‍ය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳව ද, විවිධ භාෂාවන් පිළිබඳ ව
ද, නවීන විද්‍යාත්මක තාක්ෂණය වැනි දේ පිළිබඳව ද දැනුමෙන් සන්නද්ධ ව සිටීම ඇතුළත්
වේ. එවැනි පුද්ගලයෝ සමාජයට බෙහෙවින් ප්‍රයෝජනවත් විපුල ඵල ලබා දීමට සමත් වෙති.
“චාග“ යන්න සයවැනි ආර්ය ධනය වශයෙන් දක්වා ඇත. මෙයින් දානය, පරිත්‍යාගශීලිභාවය අදහස්
කෙරේ. මෙම දානයෙහි විවිධ ප්‍රභේද ඇති අතර ප්‍රධාන කොටස් 03 කි.
ආමිස දානය – පුද්ගලයින් පරිභෝජනය කරන බාහිර වස්තු පරිත්‍යාග කිරීම ය.
අභය දානය – සියලු ම සත්ත්වයන්ට බිය නැතිව නිදහස් ව සිටීමට අවකාශ සලසා දීම ය
ධර්ම දානය - ධර්මය දේශනා කිරීම, දහම් පොත් පත් නොමිලේ බෙදා දීම ධර්ම දානය යන්නෙන්
අදහස් කෙරේ. එය සියලු ම දානයන්ට වඩා උතුම් දානය වශයෙන් ද බුදු දහමෙහි අගය කර ඇත.
මේ චාගය කළ යුත්තේ තමා සන්තක දෙයක් දුරු කරන ලද මසුරු බව ඇතිව අන්‍යයන්ට පරිත්‍යාග
කිරීමයි. එය බුදු දහමෙහි බෙහෙවින් ම අගය කෙරෙන්නකි. බෞද්ධයන් තුළ අන්‍ය ලබ්ධිකයන්ට
වඩා පරිත්‍යාග කිරීමේ පුරුද්දක් තිබේ. අප දානයක් දිය යුත්තේ ඒ පිළිබඳ ආසාව සිතින්
දුරුකර ගෙන ම ය. එසේ ම පසුව යම් උදව්වක් බලාපොරොත්තුවෙන් යමක් දෙනවා නම්, එය
නියමාකාර දන්දීමක් නොවේ. එම නිසා ලෝභ, ද්වේෂ, මෝහ තාවකාලික ව යටපත් කර ගෙන පිරිසුදු
සිතින් කර්මඵල පිළිගෙන පරිත්‍යාග කිරීම තුළින් උතුම් ආනිශංස ලැබිය හැකි ය. දන්දීම
දිව්‍ය ලෝකයට යාමට ඉණිමඟක් වැනි යැයි දේශනාවේ දක්වා තිබේ.
“තුන් සිත පිරිසුදු කර දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය”
“පඤ්ඤා’ යනු සත්වැනි ආර්ය ධනයයි. මෙහි සාමාන්‍ය අර්ථය නුවණ, ඥානය යන්න ය. මෙය
මිනිසුන්ට උතුම්ම ධනය වශයෙන් ද දේශනාවේ අගය කර ඇත. බුදු දහම මනාව අවබෝධ කර ගැනීමට ද
මේ රත්නය අවශ්‍ය ම ය. මෙහි අවස්ථා තුනක් බුද්ධ දේශනාවේ සඳහන් වේ. එනම්,
සංඥා - සාමාන්‍ය නුවණ,
විඤ්ඤාණ – උසස් නුවණ හා
පඤ්ඤා - චතුරාර්ය සත්‍යය අවබෝධ වූ නුවණ යනුවෙනි.
සැබෑ නුවණැත්තා වශයෙන් බුදු දහමේ අගය කර ඇත්තේ පොතෙන්පතෙන් දැනුම ලබා ගැනීම පමණක්
නොවේ. මනා නුවණින් මෙන් ම ගුණ ධර්මයන්ගෙන් ද පිරිපුන් පුද්ගලයා ය. ගුණ නුවණ සමබර ව
පැවතීමෙන් සත්පුරුෂයෙක් බිහි වේ. එවැනි පුද්ගලයෝ තමන්ගේ සිත, කය, වචනය යන තුන් දොර
යොදවන්නේ තමන්ගේ මෙන් ම ලෝකයාගේ ද යහපත පිණිස ය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ
මුල්ම ශ්‍රාවක සැට නම ගුණයෙන්, නුවණින් පරිපූර්ණ වූ පසු සදහම් චාරිකාවේ බොහෝ දෙනාගේ
යහපත පිණිස යෙදවීමෙන් එය මනාව සනාථ වේ. මිනිසුන් විසින් ඇසුරු කළ යුත්තේ එවැනි
පණ්ඩිතයන් බව මහා මංගල සූත්‍රයේ ද දක්වා තිබේ. එය මෙලොව, පරලොව දෙලොව දියුණුවට ම
හිතකර වේ. එසේම සියලු සසර දුක් නිවා උතුම් නිර්වාණ ශක්තිය පසක් කර ගන්නට ද මෙම
පඤ්ඤා ධනය අත්‍යවශ්‍යම සාධකයක් වේ. |