සැපවත් ජීවිතයකට වැඩිය යුතු ගුණ සතරක්

සැපවත් ජීවිතයකට වැඩිය යුතු ගුණ සතරක්

යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය ගුණ හතරක් පිළිබඳ ධම්ම පදයේ සඳහන් වේ. බෞද්ධ ජනතාවට නිතර ඇසෙන ගාථාවක් තුළින් එම ගුණ පිළිබඳ විවරණය වේ. ගිහි පින්වතුන් භික්ෂූන් වහන්සේට වඳින විටදී භික්ෂූන් වහන්සේගේ මුවින් නිරන්තරයෙන් නිකුත් වන්නේ එම ගාථා රත්නයයි.

එය ඇතුළත් වන්නේ ධම්මපදයේ සහස්ස වග්ගය තුළයි. ඉන් ලැබෙන ගුණ සුළුපටු නොවේ. එම ගාථාව වන්නේ,

අභිවාදන සීලිස්ස
නිච්චං වුද්ධා පචායිනො
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණො සුඛං බලං

සිල්වතුන්ට නිතර වඳින්නා වූ, ගුණයෙන් වැඩි උතුමන්ට ගරු කරන්නා වූ පුද්ගලයාගේ ආයුෂය, වර්ණය, සැපය, බලය යන ගුණ සතර වැඩේ.

වැඳීමේ දී අප නියම විධියට වැඳිය යුත්තේ පසඟ පිහිටුවා ය. නළල, දෑත, වැළමිට, දෙදණ, දෙපා ආදී වශයෙන් පසඟ පිහිටුවා නියම වැඳීමේ ක්‍රමය වුව ද අද බොහෝ දෙනෙක් එසේ නොකරති. සමහරු ආචාර කරන්නා සේ ද, තව සමහරෙක් ආයුබෝවන් කියන්නා සේ ද විවිධ ක්‍රම ඔස්සේ වන්දනාමාන කිරීමට හුරු වී සිටිති. ඕනෑකමින්, ගෞරවයෙන් වඳින්නෝ ඉතා සුලබ ය.

සිල්වතුන්ට වැඳීම ඉතා වටිනා පින්කමක් සේ ම උතුම් ගුණධර්මයකි. සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරයෙහි පිරිසුදු භාවය හා සංවර භාවය සීලය යනුවෙන් හැඳින්වේ. එය එක් එක් පුද්ගලයන් තුළ අඩු වැඩි වශයෙන් පවතී.

යො සීලවා සීල වන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තො
අභිසද්දහං කම්මඵලං උලාරං
තං වේ දානං විපුල ඵලන්ති බ්‍රෑමි - මඞනිඞ

යමෙක් සිල්වත් වී, දැහැමින් ලද දෙය, පහන් සිතින්, මහත් වූ කම්පල අදහා සිල්වතුන්ට දේ ද, ඒ දානය ඒකාන්තයෙන් ම මහත් ඵල යැයි කියමි.

මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ සිල්වත් බැවින් වැඳීමට පිදීමට සුදුසු බව දේශනා කළහ. ඒ බව සංඝ රත්නයෙහි ඇති ගුණ අතර “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං” යනුවෙන් සැදැහැත්තන්ට පින් කිරීමට ඇති පින් කෙතක් වශයෙනුයි දක්වා ඇත්තේ. එම කරුණුවලට අනුව සිල්වතුන්ට වැඳීම උතුම් වේ. තවද ගුණවතුන්ට වැඳීම ද උතුම් වේ. ඒ අනුව බැලුව ද භික්ෂූන් වහන්සේ මූලික වේ. ගුණධර්ම පුරමින් ප්‍රතිපත්ති ඔස්සේ කටයුතු කරන්නන් වන්නේ භික්ෂූන් වහන්සේයි. නමුදු ගිහි පක්ෂය තුළ වුව ද සිල්වතුන් ගුණවතුන් එමට ය.

එක් අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා මාතලී රථාචාර්යා සමඟ අහසින් ගමන් කිරීමේ දී මිනිස් ලොවට වැන්දේ ද, සිල්වතුන් ගුණවතුන් උදෙසාත්, ප්‍රතිපත්තිකූල ව පවුල් සංස්ථා ගත කරන්නන් උදෙසාත් ය. ඒ අනුව සිල්වතුන් ගුණවතුන් උදෙසා දෙවි දේවතාවුන් පවා වැඳුම් පිදුම් කරනු ඇත.

“කරණීය මෙත්ත” සූත්‍රයට අනුව සිල්වතුන් වහන්සේ බිම සිටින කල වෘක්ෂ දේවතාවුන්ට උඩ සිටීමට අපහසු වූ බැවින් එම සිල්වතුන් වහන්සේ කැලයෙන් පන්නා දැමීමට දෙවි දේවතාවුන් නොයෙක් උපක්‍රම යෙදූ ආකාරයත් සඳහන් වේ.

සිල්වතුන්, ගුණවතුන් උදෙසා වන්දනාමාන කරන, පුදසත්කාර දක්වන අයට ආයුෂය වර්ධනය වේ. වර්ණය නොහොත් පැහැය වර්ධනය වේ. සැපය වර්ධනය වේ. බලය වර්ධනය වේ. ආයුෂ යනු සියලු පීඩාවන්ගෙන් මුදවා අවුරුදු සිය ගණන් ජීවත් වීමේ ශක්තිය උදාවීම ය.

මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් ආයුෂය හැඳින්වේ. අද ස්වල්ප දෙනෙක් දීර්ඝායුෂ ලබන අතර, බොහෝ දෙනෙක් අල්පායුෂ ලබනු ඇත. එයට ඉහත කරුණු සෘජුව ම බලපාන බව කීමට පුළුවන.

වර්ණය ගත් කල්හි ශරීර වර්ණය ලබා ගැනීමට ද ඉහත කරුණු බලපානු ඇත. අංග සම්පූර්ණ සිරුරක් හා අනුන්ගේ ආකර්ශනයට හේතුවන රූප සම්පත්තියක් පිහිටීම ඉතා වැදගත් වේ. සමේ පැහැය, ඇස් දෙක, නාසය, තොල් ආදී සියලු ඉන්ද්‍රියයන් පරිපූර්ණ ව පිහිටා, දුටු දුටුවන් පිනවන ස්වභාවයක් ලබා ගැනීමට ද සිල්වතුනට ගුණවතුනට වැඳීම පිදීම හේතුවක් වේ.

සැප යනුවෙන් අදහස් වන්නේ කායික සැප හා මානසික සැපයි. කායික වශයෙන් පංච ඉන්ද්‍රියන් නිතර පිනවීමට භාග්‍ය ලැබෙන අතර, මානසික වශයෙන් ද කිසි දිනක චිත්ත පීඩාදියකට මුහුණ පෑමට සිදු නොවීම මානසික සැපයයි. නිතර ම සතුටු සිතින් කල් ගෙවීමට එය හේතුවක් වේ. එනිසා සිල්වතුන්ට ගුණවතුන්ට වැඳීමට පිදීමට පසුබට නොවිය යුතු ය.

බලය යනු කායික හා ඤාණ බලයයි. එය තව පැත්තකින් වැඩිදියුණු කර ගැනීමට පුළුවන. දන්දීම සිදු කිරීමේ දී පිරිස් බලය, ධන බලය වර්ධනය වීමට හේතු වේ. කායික වශයෙන් කය තුළ වේදනාදිය නොදැනේ. කයට අනතුරු ආදිය සිදු නොවේ. මානසික වශයෙන් ගත් කල මනසින් පීඩනයන් ද නොපැමිණේ. එලෙසම ප්‍රඥා බලය ද ඉතා වැදගත් වේ. ස්ථානෝචිත ප්‍රඥාව ලැබීමට එනම් තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමට එය හේතුවක් වේ.

ඉහතින් මතක් කරන ලද ගුණ හතර ලැබීමට අප නිතර ම උනන්දු විය යුතු ය. ඒ සඳහා සිල්වතුන් ගුණවතුන් උදෙසා උදේ සවස වැඳීම් පිදීම් කළ යුතු ය. අද උදා වී තිබෙන්නේ දරුවන් තම මව්පියන්ට පවා හිරිහැර කරන, තාඩන පීඩන කරන කාලයකි. එතුළින් සිදුවන්නේ දුක් විඳීමට ය.

එසේ නම් උදේ සවස අපේ දෙසවනට ඇසෙන එම උතුම් ගාථා රත්නයේ ඇති ගුණ හතර දැන හඳුනාගෙන එය ප්‍රායෝගික ජීවිතයට ළඟා කර ගැනීමට උත්සුක විය යුතු ය. එතුළින් දෛනික ජීවිතය සැපවත් කර ගැනීමටත්, මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටත්, පරලොව දුක් නැති කර ගැනීමටත්, උතුම් නිවනින් සැනසීමටත් පුළුවන්කමක් ඇත.

බක් අමාවක

මැයි 07 අඟහරුවාදා පූ.භා. 11.44 අමාවක ලබා 08 බදාදා
පූ.භා. 08.55 ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]