නිති යහපතෙහි ම අප්‍රමාද වන්න
නුගේගොඩ සිරි පඤ්ඤෝදය
මහ පිරිවෙනෙහි ආචාර්ය,
කිරිමැටිමුල්ල ශ්‍රී වර්ධනාරාම විහාරවාසී
ශාස්ත්‍රවේදී
විල්පිට ගුණසිරි හිමි
අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ “ආවරණ සූත්‍රය” ඇසුරින් නිවන අහුරන කරුණු පිළිබඳ
දේශනය
බෞද්ධ පින්වන්තයෙකුගේ පරම බලාපොරොත්තුව බවට පත් වන්නේ ද, බෞද්ධ දර්ශනයේ මූලික
අරමුණු වන්නේ ද උත්තම වූ නිර්වාණයයි. මේ සඳහා කළ යුතු ක්‍රියාදාමය ධර්ම මාර්ගය තුළ
බෞද්ධ දර්ශනයෙන් මූලිකව ම උගන්වයි. එය එසේ වන්නේ සංසාර දුක නැමැති අන්ධකාරයෙන්
මිදීමට ඇති එකම මඟ නිවන වන හෙයිනි.
අප බහ තෝරන අවදියේ පටන් ධර්ම දේශනා ශ්‍රවණය කරනු ලබනවා. මේ පින්වත් හැම කෙනෙකු ම
උපන්දා සිට මේ වනතුරාවට ම හා සසර පුරාවට ම කොතෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කර ඇත.
නමුත් බොහෝ දෙනකුට අවම මාර්ග ඵලයක්වත් අවබෝධ කර ගැනීමට නො හැකි වී ඇත්තේ කුමක්
නිසාද යන්න පිළිබඳ සොයා බැලිය යුතු ය.
ඒ පිළිබඳ හරවත් දේශනාවක් අංගුත්තර නිකායේ ඡක්ත නිපාතයේ සඳහන් වේ. එම සූත්‍ර දේශනාව
නමින් “ආවරණ සූත්‍රය” වන අතර මෙම දේශනාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට
ඇත්තේ කොපමණ දහම් ශ්‍රවණය කළත් නිවන අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ කරුණු කිහිපයක්
මුල් කොට ගෙන බවයි.
එහෙයින් එම කරුණු මොනවා ද යන්න මඳක් විමසා බැලීම තුළින් අපට ද, අප සතු අඩුපාඩු
හඳුනාගෙන එය සකස් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත. ඒ මන්ද යත්,
“ඡාහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ
සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං
ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං
කතමේහි ඡාහි”.
මහණෙනි, කරුණු හයකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය කොපමණ ඇසුවත් ධර්මය සත්‍යවබෝධ
වීමක් හෝ, දහම් මඟට බැස ගැනීමක් හෝ හැකියාවක් නොමැත්තේ වෙයි. ඒ කරුණු සයකින් යුක්ත
වන්නේ ය. එනම්,
“කම්මාවරණතාය සමන්නාගතො හෝති,
කිලේසාවරණතාය සමන්නාගතො හෝති,
විපාකාවරණතාය සමන්නාගතො හෝති,
අස්සද්ධෝ ච හෝති, අච්ඡන්දිකෝ ච,
දුප්පඤ්ඤෝ ච හෝතී තී”
මෙකී කරුණුවලින් යුක්ත වූ තාක් නිවන් ලැබීම හෝ මඟ ඵල ලැබීමක් නො ලබන්නේ ය. නිවන
අහුරනු ලබන්නේ ය. එම කරුණු සය නම්,
කර්මයෙන් ආවරණය වූ විට
ක්ලේෂයෙන් ආවරණය වූ විට
විපාකයෙන් ආවරණය වූ විට
ශ්‍රද්ධා රහිත වූ විට
කුසලයට අකමැති වූ විට හා
ප්‍රඥාවෙන් තොර වූ විට ය
කම්මාවරණය වූ කලි, මෙහිදී අදහස් කරන්නේ ආනන්තරිය පාප කර්ම සිදු කළ උදවියට මඟ ඵල
ලැබීමක් හෝ නිවන අවබෝධ කර ගැනීමට නො හැක්කේ ය. පංචානන්තරිය පාප ක්‍රියා කවරේ ද යත්,
මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු හිමියන්ගේ ශරීරයේ ලේ සෙලවීම හා සංඝ භේදය
යි.
ශාසනයේ පෙන්වා දී වදාළ මහානිසංස පින්කම් අටෙන් වැඩිම ආනිසංස තිබෙන කඨින චීවර
පූජාවක් හෝ පූජා සිය දහස් ගණනක් සිදු කළත් මෙ පාප ක්‍රියාවලින් මිදීමට නොහැක්කේ ය.
එය විපාක විඳ අවසන් කළ යුතු ම ය. මෙම කරුණට කදිම නිදසුනක් ශාසන ඉතිහාසයේ ම සඳහන්
වේ. එනම් අප සැවොම දන්නා කරුණක් නම් අජාසත්ත රජු යනු පීතෘ ඝාතක අකුසල ක්‍රියාව සිදු
කර ගත් කෙනෙකි. නරක ඇසුර නිසා ආනන්තරිය පාප කර්මය සිදු කරගත් පුද්ගලයෙක් වූ මෙතුමා
විශාල ලෙස තමා අතින් සිදුවූ වරදට පශ්චත්තාප වෙමින් සිටියේ ය.
දිනක් මැදියම් රැයේ තමා කළ අකුසල ක්‍රියාව පිළිබඳ සිතමින් තමාගේ අමාත්‍යවරු කැඳවා
සිත නිවා ගැනීමට හැකි ශාස්තෘවරයකු දන්වන්න යනුවෙන් පැවසීය. එහිදී බොහෝ අය විවිධ
ශාස්තෘවරුන්ගේ නම් පැවසූහ. මෙහි සිටි ජීවක වෛද්‍යවරයා පවසන් ලද්දේ තමා විසින් පූජා
කළ අඹ උයනේ භවත් ගෞතම බුදු හිමියන් වැඩ සිටින බවත් අප ගොස් මුණ ගැහෙමු කියාත් ය.
එය ඇසූ රජු, මාළිගාවේ පිරිස ද කැටුව පන්සියයක් කරත්ත පිරිවරා රාත්‍රියේ ම බුදු හිමි
මුණ ගැසීමට ගියේ ය. එම ස්ථානයට ගිය රජු, බුදු හිමියන් පිරිවරා සිටින තරුණ භික්ෂූන්
වහන්සේ දැක ඔවුන් කෘෂිකර්මාන්තයට හෝ අශ්ව පාලනයට යොමු කරන්නේ නම්, විශාල ලාභයක්
ගැනීමට හැකි බව අනවබෝධයෙන් බුදු හිමියන්ට පවසන ලදී. නිශ්ශබ්ද ව සිටි බුදු හිමියන්
මෙතුමාට සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවෙන් ධර්මය දේශනා කරන ලදී. එය ඇසූ රජු බොහෝ සෙයින්
පැහැදී නැවත පිටවී ගියේ ය.
රජු ගිය පසු බුදු හිමියන් තමන්ගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ අමතා ප්‍රකාශ කරන ලද්දේ
අද මෙම දේශනාවෙන් සෝවාන් ඵලය ලැබීමට නියමිත ව තිබූ මේ තරුණ රජු එය නොලැබීමට හේතුව
වූයේ ඔහුගේ පියා ඝාතනය කර සිදු කළා වූ ආනන්තරිය පාප කර්මය නිසා බව දේශනා කළ සේක.
මෙහිදී අපට පැහැදිලි වනුයේ මෙම පාප ක්‍රියා පහෙන් එකක් හෝ කළහොත් මොනතරම් විශාල
අකුසලයක් ද යන වගයි. දෙවැනි කරුණ නම්, විපාකාවරණයයි.
විපාකවලින් යුක්ත වූ විට නිවන ආවරණය වනු ඇත. මෙහිදී අදහස් කරන්නේ යම්කිසි අකුසල
විපාක ලබමින් උත්පත්තිය ලැබූ අයට සත්‍යාවබෝධය සිදු කර ගැනීමට නොහැකි වන බවයි.
නිදසුනක් ලෙස ඇස් අන්ධ ව ඉපදුණු විට, බිහිරි ව හෝ ගොළු වී ඉපදුණු විට මන්ද මානසික ව
හෝ අංගවිකල ව ඉපදුණු විට දහම අවබෝධ කර ගැනීමට අපහසු වන්නේ ය.
ඔවුන් තමන්ගේ කාය විකල්‍යතාව හේතුවෙන් නිතර මානසික පීඩනයෙන් පසුවන බැවින්
ධර්මාවබෝධයට අපහසු වන්නේ ය. මීට අමතරව කර්ම විපාකයක් හේතුවෙන් සුඩානය වැනි රටක
උත්පත්තියට ලැබුවහොත් දහම මඟ හැරී යන්නේ ය.
තුන්වැනි කරුණු නම් කෙලෙස්වලින් යුතු වුවහොත් නිවන මඟ හැරී යන බවයි. යම් කෙනෙකු
ධර්මය ශ්‍රවණය කරන විට කෙලෙස් ඇවිස්සීම කළ හොත් එනම් දිව්‍ය ලෝක පිළිබඳ දේශකයන්
වහන්සේ කියන විට එයට සිත අලවා ආශාවෙන් ක්‍රියා කරන විටත්, අපාය පිළිබඳ කියන විට
කලකිරීමක් හෝ ද්වේශ සහගත සිතුවිලි ඇති කර ගතහොත් කෙලෙස් ඇවිස්සීම හේතුවෙන් සත්‍ය
දහම වටහා ගැනීමට අපොහොසත් වන්නේ ය.
නියත මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වුවහොත් කිසි කලෙක දහම අවබෝධ කර ගැනීමට නොහැකි වන්නේ
ය. දහම මඟ හැරෙන්නේ ය.
සිව්වැනි කරුණ නම් ශ්‍රද්ධාවෙන් තොර වීමයි. ශ්‍රද්ධාවක් නොමැති කිසිවෙකුටවත් දහම
අසා සත්‍ය වටහා ගැනීමට නුපුළුවන් වන්නේ ය.
ශ්‍රද්ධාව කොටස් දෙකකින් යුක්ත ය. ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලිකා ශ්‍රද්ධාවයි.
ආකාරවති ශ්‍රද්ධාවෙන් යුතු වුවත් අමූලිකා ශ්‍රද්ධාවෙන් වෙන්විය යුතු ය. එය නියම
අරුතකින් තොර වැටහීමක් වන නිසා ය. සත්‍ය දහම අවබෝධ කර ගැනීමට නම් ශ්‍රද්ධාව
අනීවාර්යය කරුණකි.
තථාගතයන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනා කරන්නේ සිත නැමැති කෙතේ ශ්‍රද්ධාව
වපුරා ප්‍රඥාව නැමැති නඟුලෙන් සීසාන්න කියාත්, එවිට අමා මහ නිවන නැමැති අස්වැන්න
නෙළා ගැනීමට හැකි වනු ඇති බවත් ය.
පස්වැනි කරුණ නම් කුසලයට ඇති අකැමැත්තයි. පිනට දහමට අකැමැති කිසිවෙකු නිවන ලැබීමට
නුසුදුස්සෙක් වන්නේ ය. කෙනෙකුට පින්කමකට හෝ යහපත් කටයුත්තකට අඩගැසු විට එයට මඳක්
කම්මැලි වන අතර, වෙනක් විනෝදජනක සාදවලට හෝ සංගීත වැඩසටහන්වලට අඩගැසූවිට එයට ඉතා
කැමැත්තෙන් හා රුචිකත්වයෙන් සම්බන්ධ වන්නේ ය. එවැනි අකුසලකාමී දේවල්වලට සිත් අලවා
ගත් පුද්ගලයින්ට දහම් අවබෝධ කර ගැනීමට නුපුළුවන් වන්නේ ය.
සයවැනි කරුණ නම් ප්‍රඥා රහිත බවයි. ප්‍රඥාවක් නොමැති පුද්ගලයින්ට ද නිවන මඟ හැරී
යන්නේ ය.
බොහෝ දෙනෙකු තමන්ගේ කය පිරිසුදු කර ගැනීමට උනන්දු වූවාට සිත පිරිසුදු කර ගැනීමට
වැඩි උනන්දුවක් නො දක්වන්නේ ය. එහෙයින් ඇඟ සෝදා කය පිරිසුදු කර ගන්නා සේ කෙලෙස්
නැමැති කසල ඉවත් කොට සිත පිරිසුදු කොටගෙන ප්‍රඥාවෙන් යුතු ව ක්‍රියා කළ යුතු ය.
සෑම බුදුවරයෙකුගේ ම අවසන් ප්‍රකාශය වූයේ නොපමා ව කුසල් දහම්හි නියැළීමටයි. එහෙයින්
අපට තවම සසරේ මාර්ගඵලයක් හෝ නොලැබීමට හේතුව මෙම කරුණු සයෙන් එකක් විය හැකි ය.
එහෙයින් එම දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කර ගෙන අප්‍රමාදී
ව ධර්මයේ හැසිරීමට ක්‍රියා කළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්, උතුම් නිවන
අවබෝධයටත් අප සතු කුසල් දහම් උපකාරයක් ම කර ගනිමු. |