උසස්බව පහත්බව තීරණය වන්නේ මෙලෙසයි

උසස්බව පහත්බව තීරණය වන්නේ මෙලෙසයි

යහපත් සමාජයක් ගොඩනැංවීමෙහිලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර ධර්ම තුළින් ඉතා වටිනා උපදෙස් දේශනා කර ඇත.

බාලයන්, අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම ආදී මෙහි දැක්වෙන මංගල කරුණු අනුගමනය කිරීමට ඔබට කිසිම මුදලක් වැය නොවේ. මේවා නිසි ලෙස අනුගමනය කිරීමෙන් සමාජ සාරධර්ම ගොඩනැඟීම ඉබේ ම සිදුවේ.

පදිංචියට ගෙයක් හෝ ඉඩමක් මිලදී ගැනීමේ දී අප අපේක්ෂා කරන වැදගත් කරුණක් වනුයේ අවට සමාජ පරිසරයයි. මෙයට හේතුව අපට නොගැළපෙන අසල්වාසීන් සහිත පරිසරයක් වුවහොත් දරුවන් අනේකවිධ දුශ්චරිතයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි නිසා ය

එමෙන් ම අනපේක්ෂිත ගැටලු සම්බන්ධයෙන් අද අපි අත්දැකීමෙන් ලබන දේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා ඇත. මහා මංගල සූත්‍රයේ එන “පතිරූප දේස වාසෝච” යන්නෙන් උන්වහන්සේ අපට පෙන්වා වදාරා ඇත්තේ මෙම කරුණයි. මේ නිසා දරුවන් ගැන සිතා වාසයට සුදුසු පරිසරයක් තෝරා ගැනීමෙන් ඔබේ දරුවා සමාජ හිතකාමී පුද්ගලයෙක් ලෙස ඇති දැඩි වනු ඇත.

මව්පියන්ට උපස්ථාන කිරීම, අඹු දරුවන් රැකීම, සුදුසු කර්මාන්තයක යෙදීම පුද්ගලයාගෙන් ඉටුවන කල්හි ඔහු සමාජ හිතකාමී, සාරධර්ම හෙබි පුද්ගලයෙක් බවට පත්වේ.

සමාජයේ ජීවත් වීමේ දී මසුරු බවින් තොරවීම, නෑයින්ට සැලකීම, නිවැරැදි ලෙස සමාජ කටයුතුවල නිරතවීම සිදු කරන පුද්ගලයා සමාජ හිතකාමියෙකි. ඔහු වෙතින් සමාජ සාරධර්ම රැකෙනු මිස බිඳවැටිමක් සිදු නොවේ.

සමාජ සාරධර්ම මනාව සුරකින පුද්ගලයකු වීමට පවින් වැලකීම, මත්පැනින් දුරුවීම, දහමෙහි නොපමාව හැසිරීම, සාමකාමී පුද්ගලයකු වීම අවශ්‍යය. එසේ වූ විට ඔබ සමාජ සාරධර්ම රැකීමට යොමු වූ සාමාජිකයෙක් බවට පත්වේ. තව ද ගරුසරු ඇතිබව, සතුට, කළගුණ දත් බව, නිසිකල ධර්මය ඇසීම, යහපත් සමාජ පැවැත්ම කෙරෙහි ඉවහල් වේ. මංගල සූත්‍රයේ සමාජයේ යහපතට ඉවහල් වන කරුණු මේ අයුරින් දක්වන අතර පරාභව සූත්‍රය මඟින් ද පිරිහීමේ දොරටු පෙන්වා දී ඇත. මෙම පිරිහීමේ කරුණුවලින් ඈත්ව සිටීමෙන් ඔබ සමාජ යහපතට හා උන්නතියට ඉවහල් වන පුද්ගලයකු බවට පත්වීම නොඅනුමාන ය. මෙහි එන නිදිමත, කම්මැලි බව, දොඩමළු බව, උත්සාහවත් නොවීම හා නිතර කිපෙන සුළු බවත් පිරිහීමට හේතු වශයෙන් දක්වා ඇත. මේවායින් ඈත්වීමෙන් පිරිහීම වළක්වා ගැනීමත් ඒ තුළින් සාරධර්ම වර්ධනයත් සිදුවේ. ඉහත කරුණු තම ජීවිතයෙන් බැහැර කළයුතු කරුණු ලෙස ද දක්වා ඇත. එම පුද්ගලයා සමාජයට සාරධර්ම එකතු කරන පුද්ගලයකු බවට පත්වේ.

තමා ධනය අතින් ශක්තිමත් ව සිටියදී මහලු මව්පියන්ට නොසැලකීම තමා සතු ධනය හා රස බොජුන් තනිවම භුක්ති විඳීම පිරිහීමේ ලක්ෂණ ලෙස දක්වන ලද අතර, මෙවැනි පිරිහීමේ ලක්ෂණවලින් බැහැර ව යහගුණ වර්ධනය කර ගත යුතු වේ.

ජාතියෙන්, ධනයෙන්, කාලයෙන් ඉහළ යැයි උඩඟුවීමෙන් නෑයින් ගරහන පුද්ගලයා ද සමාජයට නොගැළපෙන පුද්ගලයෙකි. එපමණක් නොව රහමෙර පානය, ස්ත්‍රීන් හා සූදුවෙහි ලොල් වීම පිරිහීමේ කරුණු වන අතර, මේවා සමාජ සාරධර්ම කෙළෙසීමකි.

තමා වයස්ගත ව සිටියදී තරුණ බිරිඳක් ලබා ගෙන ඇය රැකීමට නොනිදා කල් ගෙවීම ද පිරිහීමට හේතුවකි. මෙවන් හේතු රැසක් පරාභව සූත්‍රයේ දක්වා ඇත.

අග්ගික භාරද්වාජ බමුණා මුඩු මහණ, වසලයා යනුවෙන් බුදුරජාණන් වහන්සේට අවමන් කරද්දීත් කිසිම පැකිලීමකින් තොරව ඉවසූ ආකාරය කොතරම් ආදර්ශයක් අපට සපයයි ද? ඉවසීමේ ගුණය සමාජයේ පැවැතිය යුතුම සාරධර්මයක් බව අවබෝධ කර ගත යුතු ය.

උපතින් කිසිවෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොවේ. ක්‍රියාවෙන්, හැසිරීමෙන් පුද්ගලයාගේ උසස් බව, පහත් බව තීරණය වේ. පරාභව හා වසල සූත්‍රවල දී වැළකී සිටිය යුතු පිරිහීමේ කරුණු දක්වා තිබේ. වර්තමානයේ යහගුණ ගිලිහී ගිය ද බෞද්ධ පසුබිම මත නැවත යහගුණ පිරි සමාජයක් ගොඩනඟා ගැනීමට අපි හැම උත්සුක විය යුතු ය. ඒ අනුව ධනාත්මක සංකල්ප මත තම හැඟීම් පුබුදුවා ගැනීමට තරුණ පෙළ යත්න දැරිය යුතු ය.

එදිනෙදා ජීවිතයේ සදාචාරාත්මක හැදියාවට පංචසීලය ප්‍රමාණවත් වෙයි. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබා ගන්නට සංවරශීලී බව අවශ්‍ය වේ. අත්තූපනායික ධම්ම පරියාය තුළින් තමා ගැන සිතන අයුරින් අන් අය දෙස ද බලන්නට යොමු කරවයි. මෙසේ තමා ම තේරුම් ගෙන එක්තරා පොරොන්දුවකට එළඹෙන්නේ තමා සමඟ ම ය. එය ගිවිසුමකි. කිසිවකුගේ බලකිරීමකින් තොරව නුවණින් සලකා බලා තමා වන පොරොන්දුවකි. ස්වයං තීරණයක් ගන්නේ තමාගේ යහපත ප්‍රාර්ථනා කොටගෙන ය. එය කඩකිරීමෙන් තමාටත් අන්‍යයන්ටත් කරදර වන බව තේරුම් ගැනීමට ඒ තුළින් හැකිවේ.

ගුණධර්ම වනාහී සමාජයෙන් ඈත් වී හුදකලා වූ පුද්ගලයකු තුළ ඉබේ වැඩෙන ගතිගුණ නොවේ. සමාජය තුළ සිටිමින් සපුරා ගත යුතු ගතිගුණ ය. එනිසා පංචසීලයෙන් දක්වන දේ මිනිසුන් අතර සිටිමින් එය පිළිපැදීම උසස් ගුණාංගයකි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවැනි පියවර වන සීලයට අරුත් ලැබෙන්නේ සමාජයෙහි ජීවත්වන්නේ නම් පමණි. නරක ගති දුරලා, හොඳ ගතිගුණ පුහුණු කොට පිරිසුදු ජීවිතයකට මුල පුරමු.

බක් අමාවක

මැයි 07 අඟහරුවාදා පූ.භා. 11.44 අමාවක ලබා 08 බදාදා
පූ.භා. 08.55 ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]