අසන්න දරන්න
ධර්මයෙහි හැසිරෙන්න
බුදුරජාණන් වහන්සේ පෞද්ගලික අසමානතා ජලයෙන් මතු වූ නෙළුම්, ජල මට්ටමේ පිහිටි නෙළුම්
සහ ජල මට්ටමෙන් යට පිහිටි නෙළුම් යනුවෙන් සමාන කළහ. සීමාසහිත මානසික ශක්ති
ඇත්තවුන්ට සරල උපදෙස් යොදා ගත්හ. එක් එක් ශ්‍රාවකයාගේ මානසික තත්ත්වය අනුව භාවනා
කිරීමට උපදෙස් දෙන ලද්දේ ප්‍රත්‍යෙකෘත පදනම මතයි
අප බුදුරජාණන් වහන්සේගේ නිරන්තර උත්සාහය වූයේ පුද්ගලයා උගතකු කිරීමයි. ඒ සඳහා
උන්වහන්සේ යොදාගත් ඉගැන්වීම් ක්‍රම ශිල්ප විස්මයජනක ය.
මනා වූ සාමාන්‍ය ඉගැන්වීමේ ක්‍රම විද්‍යාවක් මෙන් ම සුවිශේෂ ඉගැන්වීම් ක්‍රම සඳහා
ඉගෙනුම පිළිබඳ සිද්ධාන්තයක් තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේගේ කර්ම න්‍යාය මෙය ඉතා
පැහැදිලි ව පිළිබිඹු කරයි. “කර්මය” යනු චේතනාව යැයි බුදුරජාණන් වහන්සේ පවසති.
අධිෂ්ඨානයට එළඹි පුද්ගලයා ඒ අනුව වාචික ව, කායික ව හා මානසිකවත් ක්‍රියා කරයි. ඒ
නිසා කර්මය නැතහොත් ක්‍රියාව මානසික හෝ වාචික හෝ කායික හෝ විය හැකි ය.
බුදුදහම, චිත්ත විද්‍යාවක් වශයෙන් ප්‍රෞඪ ස්ථාවරයක් දරන අතර, විද්‍යාව ද අභිබවා
යයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අප විසින් ත්‍රිපිටකය හා අටුවා
අධ්‍යයනය කළ යුතු වේ. රාහුලෝවාද සූත්‍රය යනු ආධ්‍යාත්මික ව්‍යවහාර පිළිබඳ
සංග්‍රහයකි. මේ සූත්‍රය සියුම් ව පිරික්සීමේ දී සාමාන්‍ය ඉගැන්වීම් ක්‍රමවිද්‍යාවක්
අනාවරණය වේ.
රාහුල තෙරුන් වහන්සේගේ උපරිම වර්ධනය සහ උන්වහන්සේගේ සංස්කෘතිය සමඟ ගැළපීමක් සිදුවන
ලෙසින් අද වැනි කාලයකට වුව ද අතිශයින් දියුණු යැයි කිවහැකි සාමාන්‍ය අධ්‍යාපන
ක්‍රමවිද්‍යාවක් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ සේක. මෙය පැහැදිලි කිරීමට රාහුලෝවාද
සූත්‍රය පිරික්සිය යුතු වේ. සත්‍යවාදී බව හා අවධානය චරිත වර්ධනයේ මෙන් ම මානසික
ශක්ති වර්ධනයේත් අඩිතාලම ලෙස සැලකූ හෙයින්, රාහුල තෙරුන් වහන්සේට මේවා වයස අවු. 7 -
11 කාලයේ දී ඉගැන්වීමට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය විය. එහෙයින් මේ වයසේ ළමයින්ට
රුචි වූ මූර්තිමත් නිදසුන් හා ආධාර භාවිත කළහ.
මේ අවධිය මනෝ විද්‍යාඥයන් හඳුන්වන්නේ සංයුක්ත වර්ධන අවධිය යනුවෙනි. මේ ළමයින්ට
ඉගැන්විය යුත්තේත් ඉගෙත ගත හැක්කේත් සංයුක්ත ද්‍රව්‍ය භාවිත කළහොත් පමණි. වියුක්ත
සංකල්ප, රාහුල තෙරුන් වහන්සේට ඉගැන්වූයේ වයස අවු. 18 දී ය. ධ්‍යානය, ආත්මාර්ථයෙන්
තොරවීම නිසා ම ධර්ම සහ උපේක්ෂාවේ වැදගත්කම ඉගැන්වූ සේක. මනෝ විද්‍යාව අනුව මෙය
පුද්ගලයකුට විචාරයෙන් සහ සාකච්ඡාවෙන් ඉගැන්විය හැකි විධිමත් ව සංවර්ධනය වන වසරයි.
රාහුල තෙරුන් වහන්සේට මේ වයසේ දී ඉගැන්වීමට නිවැරැදි ම ක්‍රමය බුදුරජාණන් වහන්සේ
යොදා ගත්හ.
රාහුල තෙරුන් වහන්සේට වයස අවු. 21 දී බුදුරජාණන් වහන්සේ “ත්‍රිලක්ෂණය” ඉගැන්වූහ.
මෙහිදී ප්‍රශ්න කිරීමේ හා සාකච්ඡා කිරීමේ ඉගැන්වීම් ක්‍රම භාවිත කළ සේක. සංඝයා
වහන්සේගේ ජීවිත පැවැත්ම ගැන විස්තර වන ධම්ම දායාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ, රාහුල
තෙරුන් වහන්සේට අවසාන වශයෙන් ඉගැන් වූ පාඩම ය. ඉගැන්වීමේ දී අවධානය ද වැදගත් වන බව
උන්වහන්සේ දැන සිටියහ. රාහුල තෙරුන්ගේ මානසික වර්ධන අවස්ථාවට සරිලන ලෙස ගැළපෙන විෂය
ප්‍රමාණය තෝරා ගැනිණි. මෙය ක්‍රියාකාරී ක්‍රමය යනුවෙන් හැඳින්වේ. උන්වහන්සේ මඟ
පෙන්වමින්, යෝජනා කරමින්, ඒවා උපමා හා මූර්තිමත් වස්තූන් මඟින් විස්තර කරමින් මේ
ක්‍රමය භාවිත කළහ. රාහුල තෙරුන්ට ක්‍රියා කිරීමටත්, අත්දැකීම් ලැබීමටත් සංකල්ප තමා
විසින් ම සොයා ගැනීමට සැලැස්විණි.
වයස අවුරුදු 21 දී උන්වහන්සේ යොදාගත්තේ මනෝ චිකිත්සක ක්‍රමයයි. වයසට ගැළපෙන ලෙස
තෝරා ගත් පාඨමාලාව උගන්වන ලද්දේ ප්‍රශ්න සහ පිළිතුරු ක්‍රමය මඟිනි. පුද්ගලයකුට
ඉගැන්වීමේ දී ඇතිවන සරල ප්‍රශ්න වනුයේ කුමන අන්දමේ දැනුමක් ඔහුගේ චින්තන ව්‍යුහයේ
එක් එක් අවස්ථාවට අනුරූප වේ ද? යන්න දැන ගැනීම ය. විවිධ වයසේ දී සමාග්‍රහණය කළ හැකි
කරුණු ගැළපෙන ක්‍රම තුළින් රාහුල හිමියන්ට ඉගැන්වීමට බුදුරජාණන් වහන්සේ සෑම
ප්‍රයත්නයක් ම දැරූහ.
බුදුරජාණන් වහන්සේ පෞද්ගලික අසමානතා ජලයෙන් මතු වූ නෙළුම්, ජල මට්ටමේ පිහිටි නෙළුම්
සහ ජල මට්ටමෙන් යට පිහිටි නෙළුම් යනුවෙන් සමාන කළහ. සීමාසහිත මානසික ශක්ති
ඇත්තවුන්ට සරල උපදෙස් යොදා ගත්හ. එක් එක් ශ්‍රාවකයාගේ මානසික තත්ත්වය අනුව භාවනා
කිරීමට උපදෙස් දෙන ලද්දේ ප්‍රත්‍යෙකෘත පදනම මතයි. පුද්ගලයකුට ඉගැන්වීමට අනුක්‍රමික
වර්ධනයක් අවශ්‍ය බව ද උන්වහන්සේ පිළිගත්හ. මජ්ක්‍ධිම නිකායේ දී ප්‍රකාශ කර ඇත්තේ තම
ඉගැන්වීම් ක්‍රමවිද්‍යාව අශ්වයන් පුහුණු කරවන්නකුගේ ක්‍රමවිද්‍යාවට සමාන බව ය.
පුද්ගලයකු විසින් යමක් ඉගෙන ගන්නා තෙක් ම ඔහු පුහුණු කළ යුත්තේ කෙසේද? ඔහුගේ
කැමැත්ත රඳවා ගත හැක්කේ කෙසේද? පුනරීක්ෂණය කළ හැක්කේ කෙසේද? ප්‍රශ්න කළ යුත්තේ
කෙසේද? යන්නත්, ඔහුට මඟ පෙන්විය යුත්තේ කෙසේද? යන්නත් බුදුරජාණන් වහන්සේ දැන
සිටියහ.
එකම දරුවාගේ වියෝවෙන් කම්පාවට පත් වූ කිසා ගෝතමිගේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ
විසඳුවේ මරණය සැමට ම පොදු සාමාන්‍ය දෙයක් බව ඇයට ම අවබෝධ කර ගැනීමට ඉඩ හැරීමෙනි.
වියරුවෙන් සිටි පටාචාරාවට සැනසිලි බස් වදාරා අස් වැසූ සේක. එමෙන් ම නන්ද කුමරු
සුවපත් කිරීමට මනෝ චිකිත්සක ක්‍රමය භාවිත කළහ.
බුදුරජාණන් වහන්සේ භාවිත කළ ක්‍රම ශිල්ප මාතෘකාවටත්, අනුග්‍රාහකයන්ටත් බෙහෙවින්
අදාළහ. උන්වහන්සේගේ විශ්ලේෂණ ක්‍රමය මනෝ චිකිත්සක ක්‍රමය, විද්‍යාත්මක ක්‍රමය,
ග්‍රාහක කේන්ද්‍රීය ක්‍රමය, අනාවරණ ක්‍රමය හා ප්‍රශ්නෝත්තර ක්‍රමය යන බහුවිධ
ඉගැන්වීම් ක්‍රම යොදා ගත්හ. උන්වහන්සේගේ මුළු ධර්මදූත මෙහෙය, සෘජු දේශනා ක්‍රමය වූ
සුවිශේෂ ධර්ම දේශනා ක්‍රම තුනක් මත ක්‍රියාත්මක කරන ලද්දකි. දේශනයක් පැවැත්වීමේ දී
ඉගෙනීමේ සෘජු උපදේශනාත්මක කාර්ය අඩංගු වේ. ඉන්පසු “ධම්මසවන” නැතහොත් අවධානාත්මක
ශ්‍රවණය ඇති වේ. මෙයින් ඉගෙන ගන්නා දේ සවන්දීමේ භූමිකාව ඇති වේ. ධම්ම සාකච්ඡා මඟින්
ඉගෙනීම තව එකකි.
කෙනකු පෙළඹවීමට උන්වහන්සේ දන්නා දෙයින් නොදත් දෙයට යෑමේ ක්‍රමය භාවිත කළහ. එමෙන් ම
විශාල පිරිස් සඳහා කථන ක්‍රමය භාවිත කළහ. රූපශ්‍රීයෙන් වියරු ව ගිය ඛේමා හා දරු
සෙනෙහසින් වියරු වී ගිය කිසාගෝමී ගැන උන්වහන්සේ කි‍්‍රයා කළේ වෙනස් ලෙසකට ය. ඔවුන්
පොළඹවා වෙනස් කිරීමට දෘශ්‍යාධාර භාවිත කළහ. වියුක්ත සංකල්ප මාතෘකා වූ අවස්ථාවල
විධිමත් තර්කානුකූල ක්‍රියා ක්‍රමය යොදා ගත්හ. ප්‍රශ්නෝත්තර හා සාකච්ඡා තවත්
ක්‍රමයක් විය.
බුදුරජාණන් වහන්සේ උගන්වන්නා මෙන් ම ඉගෙන ගන්නා ද සැලකිල්ලට ගත්හ. එය ඉගැන්වීමේ
වැදගත් මූලධර්මයකි. ඉගෙනුම් අවස්ථාවක දී ඉගෙනීම ලබන්නා වැදගත්ම සාධකයයි. පුද්ගලයන්
සමාජානුයෝගි කිරීම හා ඔවුන්ට නිදහසේ සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දීමේ ක්‍රමය ද
බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ක්‍රමයකි. උන්වහන්සේ පුද්ගලයන් ඔවුන්ගේ පෞරුෂය හා
බුද්ධිමත් ස්වභාවය අනුව හඳුනා ගත්හ. රාගය ඇත්තවුන්, ද්වේශය ඇත්තවුන්, බුද්ධිය
ඇත්තවුන් යනුවෙනි.
ඒ අනුව ඉගැන්වීම් රටාව ද වෙනස් විය. බුදුරජාණන් වහන්සේගේ අභිමතාර්ථය වූයේ සවන් දී
(සුනාථ) අවබෝධ කොට (ධාරථ) හා ක්‍රියා කිරීම (චරථ) යන ප්‍රතිඵල ලබා ගැනීමට ය.
නිහාල් විජේගුණරත්න |