දැන කළයුතු කඨින චීවර පූජාව
මහනුවර අස්ගිරි මහා විහාරයේ
කාරක සංඝසභික හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
මේ ගෙවෙමින් පවතින්නේ අවුරුද්දකට වතාවක් බෞද්ධ ඔබ අප හැම දෙනාට ම උදාවන කඨින
පින්කම් සිදු කෙරෙන චීවර මාසයයි. මේ වර්ෂයේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසු එම
අවස්ථාව අප හැම දෙනාට ම අහිමි වෙනවා.
නැවත මෙම චිවර මාසය උදාවන්නේ ලබන වර්ෂයේ එනම් බුදුවසින් 2568 වප් පුර පොහෝ දිනයේ
සිටයි. ඉතින් දැන් අප විසින් විමසා බැලිය යුත්තේ අංග සම්පුර්ණ කඨින පින්කමක් අප
සිදු කර ගත්තා ද කියන එක ගැන යි. ඒ මොකද? කඨින චීවරයක් පූජා කරන දායක පක්ෂයටත් කඨින
චීවරය ලබන උපසම්පන්න සුදුසු භික්ෂූන් වහන්සේටත් කියන දෙපක්ෂයට ම එකව වර පින් සිදුවන
මහා ආනිසංශ දායක එකම පින්කම කඨින පින්කම වීම නිස යි.
බුදුරජාණන් වහන්සේ මේ කඨින චීවරයක් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ උන්වහන්සේට
පහසුවෙන් කිසිදු ශාරීරික අපහසුතාවකින් තොරව සිවුරු පරිහරණය කිරීමට අවස්ථාව සලසා දිය
යුතු බවට පැහැදිලිව උන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිසයි. එය කා අතරත්
ප්‍රකට කරුණක්.
ඉතින් එහෙම නම් භික්ෂූන් වහන්සේ වස් වසවා ගන්නේ සැදැහැති දායක පිරිස් එකතු වෙලා
සාමූහික ව වස්තුන් මාසය තුළ සිවුපසයෙන් උපස්ථාන කරලා ඒ අය කැමැති නම් කඨින
චීවරයකුත් පූජා කර ශාසනයේ බරපතළම පින්කම කර ගන්නට යි. එහිදී මේ නියමයන් තුළින්
බුදුරජාණන් වහන්සේ දායක පිරිස් තළා පෙළා එවැනි කටයුතු කිරීමට කෙසේවත් විධිවිධාන
සලස්වා නැහැ. දායකයන් වස් කාලයේ වැඩ සිටීමට කුටියක් පිළියෙළ කර නුදුන්නත් විනයෙන්
අනුදැන වදාළ ස්ථානයක භික්ෂූන් වහන්සේ ආරාධනා නැතිව හෝ වස් විසීම සිදු කළ යුතු බවටත්
නියම කර වදාළා.
මෙයින් පැහැදලි වන්නේ බුදුරජාණන් වහන්සේ හැම විටම දායක පක්ෂය මොනම ආකාරයකින්වත්
අපහසුතාවකට පත් නොවන ආකාරයෙන් භික්ෂූන් වහන්සේ වස් විසීම සිදු කළ යුතු බව පෙන්වා දී
තිබෙනවා කියන කරුණ යි.
ඉතින් ඊළඟට වැදගත් වන්නේ පෙර වස් විසූ භික්ෂූන් වහන්සේට මේ කඨින චීවර පූජාව කෙසේ කළ
යුතු ද කියන මේ කාරණය යි.
එදා පැවැති නියමයට අනුව කඨින චීවර පූජාවක් කිරීමත්, එය සිදුවන දිනය කවදා දැයි
යන්නත් වස් විසූ භික්ෂුවට අදාළ කරුණක් නොවෙයි. එය දායකයන් විසින් සම්පාදනය කර ගන්නා
වස්ත්‍රයක්. ඉතින් ඒ වස්ත්‍රය ඔවුන් නියම කර ගත් දින විහාරස්ථානයට, හිමිදිරි පාන්දර
වැඩමවා ගෙන ගොස් වස්විසූ භික්ෂූන් වහන්සේට භාර දෙන්නේ එදින නියමිත පරිදි විනයානුකූල
ව සිවුරක් බට පත් කර දෙන ලෙස ඉල්ලා සිටීමෙනුයි.
ඉතින් මේ සිදු වීම දායක පක්ෂයේ සංවිධානයෙන් ම සිදුවන්නක් නිසා කඨිනය පිණිස
පිළිගන්වන වස්ත්‍රය භික්ෂූන් වහන්සේට දැනෙන්නේ මේ අලුයම අහසින් වැටුණාක් මෙන් ලද
බවක්. එය එ පමණට ම භික්ෂූන් වහන්සේගේ අනුශාසනයෙන් තොරව සිදු විය යුත්තක්.
එහෙම වුණත් මේ පූජාව ගැන නොදන්නා යම් දායකයෙක් මෙම පූජාව සිද්ධ කර ගත යුතු ආකාරය
තමන් නොදන්නා නිසා විමසා සිටියොත් එහි පිළිවෙළ කියා දීමට අනුශාසකයෙක් වශයෙන්
භික්ෂුව විසින් සිදු කිරීම විනයට පටහැනි නොවෙයි. තමන්ගේ ම මවටවත් දැනුවත් කර කඨින
චිවරයක් ලබා ගැනීම භික්ෂූන් වහන්සේට විනයෙන් බාධා සහිත යි.
මහාවග්ග පාළියෙහි කඨිනයක් කෙරෙහි බලපාන විපත්ති 24 ක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට
පෙන්වා දි තිබෙනවා.
සැබැවින් අද අප දකින, අත්විඳීන ඇතැම් බාහිර ආටෝප සාටෝප සහිත ව විනය වරදවා සිදු කරන
කඨින පින්කම් කරන ක්‍රමයක් නම් බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් අනුදැන වදාරා නැහැ.
අද ඇතැම් වෙහෙර විහාරස්ථානවල කඨින පින්කම යන්න ධනය බලය හා පිරිස් බලය ඇති අයට පමණක්
සිමා වූ සතර අගතියෙන් මොනයම් පැත්තකට හෝ දිවයන, අකුසල සිත් මෝදු කරන තත්වයක් බව නම්
මධ්‍යස්ථ ව විනයානුකුල ව බුද්ධ දේශනාව ගැන සිතන කාට වුව ද සක් සුදක් සේ පැහැදිලියි.
අද කඨින පින්කම කෙනකුගේ බලය, ශක්තිය, ප්‍රසිද්ධිය කියාපාන, වෛරී සිතිවිලි වැඩි කරන,
අහිංසක සැදැහැති කවරෙකුට වුවද කර ගනු තබා සිතීමටවත් අපහසු ව්‍යාපාර ගණයට ගැනෙන
කටයුත්තක් බවට පත් වී තිබීම නම් සුභදායක වන්නේ නැහැ. මේ තුළින් ගමත් පන්සලත් අතර
දූරාතීතයේ සිට පැවති ශාසනික සම්බන්ධය දුරස්ථ වී යන තැනට කරුණු පෙළ ගැසී ඇති බවක්
පෙනෙනවා.
වස් පින්කමක් අවසානයේ කඨින පින්කම සිදු කරන කොට ඊට අවශ්‍ය බවට දැන් දැන් ඇඟවෙන
විවිධාංග එක් කිරීමේ හැකියාවත් ගැමි පන්සල්වල දායකයන්ට ඇත්තේ ම නැහැ. ඉතින් ඒ
අහිංසක දුප්පත් දායක පිරිසත් හිතනවා අපිට ඉතින් කඨින පින්කමක් සිදු කිරීම හැම අතින්
ම අපහසු නිසා පන්සලේ හාමුදුරුවොත් එක්ක එකඟවෙලා ඒ මොහොත දක්වාම කවදාවත් නොදුටු,
නුපුරුදු දානපතියෙක් කියා හුවා දැක්විමට තරම් වතගොත ගැන පුරසාරම් කියන, හිතන,
බලපුළුවන්කම් ඇති අයෙක් මේ රටෙන් හෝ සමහර අවස්ථාවල විදේශයකින් හෝ නම් කර ගෙන
ඉදිරියට ඇතිවන චීවර මාසය තුළ කඨින පින්කම සිදු කර ගන්නට.
ඒ තෝරා ගත් දානපතියා විහාරස්ථානයට ලොකු පරිත්‍යාගයකුත් කරනවා. මේ පරිත්‍යාගශීලින්
අතර මත් කුඩු ව්‍යාපාරිකයක්, දූෂිත ගනුදෙනුකරුවන්, මත්වතුර ජාවාරම්කරුවන්, සත්ව
නිෂ්පාදන කරුවන් බොහොමයකුත් නැතුවා නොවෙයි. ඒ වුණත් කමක් නැහැ එහෙම කඨින පූජාවක්
සිදු කර ඉන් පස්සෙවත් ඒ දුසිරිත්වලින් තොරව පන්සිල් රැක ජීවත් වෙනවා නම්.
කෙසේ කොහොම වුණත් කඨින චීවරයක් සඟසතු කොට පූජා කිරීමේ මහා බලගතු පින්කම සපුරාලීමට
අවශ්‍ය කරන කඨින විපත්තිවලින් වැළකී එය සිදු කිරීමේ අවශ්‍යතාව අපේ බුදුරජාණන්
වහන්සේ විසින් මහාවග්ගපාළියේ දි විනය ප්‍රඥ්ප්ති වශයෙන් ම පැහැදිලි කර දී තිබෙනවා.
එසේ පැහැදිලි කර දී තිබෙන්නේම මෙම පින්කම අංග සම්පූර්ණව සිදු කිරීමේ අවශ්‍යතාව නිස
යි. ඒ නිසා දායක පක්ෂය මෙන්ම ප්‍රතිග්‍රාහක පක්ෂය ඒ පිළිබඳ නිසි අවබෝධයකින් යුක්තව
ක්‍රියා කිරීම වැදගත් වෙනවා.
අධිෂ්ඨානයට යෝග්‍ය වූ සිවුරක් වීම, මේ වස්ත්‍රය හොඳයි, යනාදී වශයෙන් ප්‍රතිග්‍රාහක
භික්ෂූන් විසින් අඟවා ලබා ගත් වස්ත්‍රයක් නොවීම, කඨින පින්කම බලගතු පින්කමක්, ඒ
පින්කම මේ වසරේදීත් කරමු කියා ප්‍රතිග්‍රාහක භික්ෂූන් විසින් නො අඟවා සිදු කරන
පින්කමක් විම, එහි ආනිසංශ ප්‍රබලයි ආදි වශයෙන් ප්‍රතිග්‍රාහක පක්ෂය විසින් තම
මවටවත් කියා සිදු නො කරන පින්කමක් වීම මෙහි දී වැදගත් කොට සැලකෙනවා.
ඊටත් වඩා වැදගත් වන්නේ සන්නිධි කළ චිවරයක් වීම යි. ඒ අනුව කරණසන්නිධි වශයෙන් පෙන්වා
දෙන පරිදි කඨින සිවුරක් පිණිස මහා සංඝරත්නයට වස්ත්‍රයක් පිළිගැන්වූ පසු එම වස්ත්‍රය
එදිනම සිවුරක් බවට පත් නො කර පසු දිනක එය සිවුරක් කර පූජා කිරීමට කටයුතු
සැලැස්සුවොත් එය කඨින සිවුරක් බවට පත් වන්නේ නැහැ. ඒ වගේම තමා එම සිවුර එසේ නියමිත
පරිදි තබා පසු දිනෙක එය සුදුසු භික්ෂුවකට පැවරිම කළොත් එය නිචයසන්නිධි නම් වන නිසා
එවැනි සිවුරක් කඨින සිවුරක් බවට පත්වන්නේ නැහැ. ඉතින් සැබෑවට ම කඨින සිවුරක් වීමට
නම් එදිනම අලුයම ලැබුණු වස්ත්‍රයක් වීම, සංඝයා විසින් එදින වස්ත්‍රය සේදීම, කඩ
කැපීම, බොරු නූල් ඇදීම, මැසිම, පඬු පෙවිම (වර්ණ කළ සිවුරු රෙදි බහුල නිසා පඬු පෙවිම
අවශ්‍ය නො විය හැකියි), කප් බිංදු තැබිම, යන පූර්වකෘත්‍යය හතක් සම්පූර්ණ කර එදිනම
සිවුරේ වැඩ නිමා කොට එදිනම කඨිනය භික්ෂූන්ට පූජා කර පසුව සුදුසු භික්ෂුවකට කඨිනය
පවරා නිමා කළ යුතු වෙනවා.
මේ නියමයන්ට අනුව බලන කොට කිසිසේත් අද ඇතැම් තැන්වල සිදුවන ආකාරයෙන් දින ගණන් එක්
එක් නිවෙස්වල තැන්පත් කරමින් විසිතුරු පෙරහර පවත්වා සමහරවිට දින දෙකතුනක් සමහරවිට
හය හතක් පවා තැන තැන සංචාරය කරවා සිදු කරන විදියේ ආකාර කිසිසේත් විනය නියමයන්ට අනුව
සිදු නොවිය යුතු අතර, මෙසේ සිදු වීමෙන් කඨින චීවර පූජාව පිළිබඳ ගැඹුරු අරුත් දිය වී
ගොස් එය හුදෙක් පෙරහර මංගල්‍යයක් බවට පත්වීමත්, පින්කම සකලාංග සම්පූර්ණ නොවීමෙන්
ලබා ගත හැකි ආනිසංශය පලුදුවිමත් නො වැළැක්විය හැකි කරුණක් වනවා ඇති. මේ නිසා මේ ගැන
විමසිලිමත් වී සැබෑ කඨින පින්කමක් ම සිදුකර ගන්නා ආකාරයෙන් ක්‍රියාත්මකවීම කඨින
චිවර පූජාව ප්‍රතිග්‍රාහක පක්ෂය වශයෙන් භික්ෂූන් වහන්සේත්, දායක පක්ෂයත් අවබෝධයෙන්
ම සිදු කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. |