[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුපියාණන් වහන්සේ මැණික් මණ්ඩපයේ වැඩ සිටිමින්

සෙත් පතන සෙත සදන අසිරිමත්සොළොස්මස්ථාන:

බුදුපියාණන් වහන්සේ මැණික් මණ්ඩපයේ වැඩ සිටිමින්

ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්බර පින් බිම

 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලංකා ද්වීපයට වැඩම කොට මේ බිම පුණ්‍ය භූමියක් කළ බව මහා වංශයේ සඳහන්ය. ඒ අනුව සම්මා සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු මහානාග උයනේ යක්ෂයින් දමනය කිරීම සඳහා උන්වහන්සේ ලංකා ද්වීපයට වැඩි සේක.

එදා මහානාග උයනේ රැස්ව සිටි පිරිස අතර, කැලණියේ මණිඅක්ඛිත නා රජු ද විය. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අසා මණිඅක්ඛිත නා රජු සරණ සීලයේ පිහිටි බව ද සඳහන් වේ.

සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු විය. ඒ චූලෝදර සහ මහෝදර නා රජු අතර ඇති වූ මිණිපළඟක් අරභයා ඇති වූ අරගලය සමථයට පත් කිරීම සඳහා ය. එම අවස්ථාවේ දී ද, බුදුරජාණන් වහන්සේට සිය රාජධානිය වූ කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජු ආරාධනා කොට සිටියේ ය.

බුදුරජාණන් වහන්සේ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාව පිළිගත්ත ද නා රජු සිතූ තරම් ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම සිදු නොවීය. ඒ නිසාම මණි අක්ඛිත නා රජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක තම ආරාධනය නැවතත් සිහිපත් කරමින් ආරාධනා කළේ ය.

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී කැලණි නදියෙන් ජලස්නානය ද සිදු කොට ඇත. උන්වහන්සේ ජලස්නානය කරන අවස්ථාවේ දී මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණි ගඟෙහි ද ශ්‍රී පාද ලාංඡනයක් පිහිට වූ බව ඉතිහාසයේ සඳහන් ය.

ජලස්නානයෙන් පසු සම්බුදුරජාණන් වහන්සේ මහ රහතන් වහන්සේ සමඟින් දන් වළඳා මණිඅක්ඛිත නා රජු ඇතුළු දෙවි මිනිසුන්ට ධර්මය දේශනා කොට ධර්මාවබෝධය ලබා දී ඇත්තේ වර්තමානයේ සෑ රදුන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ මැණික් මණ්ඩපයක මැණික් ආසනයක් මත වැඩ සිටිමින් බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ මැණික් මණ්ඩපය තැන්පත් කර උන්වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මණ්ඩපය පිහිටි ස්ථානයේ චෛත්‍ය ගොඩනංවා ඇත. ආරම්භයේ දී කුඩාවට තැනූ එම චෛත්‍ය රාජයාණන් වහන්සේ ක්‍රි.පූ. 3 වන සියවසේ දී සැට රියන් උසින් වන සේ යඨාලතිස්ස රජතුමා විසින් ඉදි කළ බව ද පැවසේ. මෙහි දී මහල් පහකින් යුත් ප්‍රාසාදයක් ද ඉදිකර ස්තූපය ද විශාල කොට ඉදිකොට ඇත. වර්තමානය වන විට ස්තූපය අඩි 90 ක් පමණ උසකින් යුතු අතර වට ප්‍රමාණය අඩි 180 ක් පමණ වේ.

සෑ රදුන් වහන්සේ ධාන්‍යාකාර හැඩයෙන් යුක්තය. මැණික් මණ්ඩපය තැන්පත්වීම නිසා පාරිභෝගික ස්තූපයක් වන්නේ ය. වෙනත් නිධන් වස්තු හා සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ පසු කාලයේ දී සිදු කළ ප්‍රතිසංස්කරණවල දී තැන්පත් කරන්නට ඇතැයි ද සැලකේ.


මහාචාර්ය
කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

බුදුරජාණන් වහන්සේ කැලණි නදියේ ජලය ස්නානය කොට චීවරය තැන්පත් කළ ස්ථානයේ සාදා ඇති දාගැබ, සිවුරු දාගැබ ලෙස වර්තමානයේ හැඳින්වේ. එහි සම්බුද්ධ චීවරය තැන්පත් කර ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති.

දුටුගැමුණු රාජ්‍ය සමයේ දී ද කැලණි විහාරය තුළ රහතන් වහන්සේ පන්සියයක් පමණ වැඩ විසූ බව පැරැණි ඉතිහාස කතාවල සඳහන් වේ.

පොලොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාඝ එල්ල කළ ආක්‍රමණයත් සමඟම කැලණි විහාරය ද පරිහානියට පත් විය.

විනාශ වී ගිය කැලණි විහාරය යළි ගොඩනඟනු ලැබුණේ තුන්වැනි විජයබාහු රාජ්‍ය සමයේ දී ය. ඉන් අනතුරුව දෙවැනි පරාක්‍රමබාහු, හයවැනි පරාක්‍රමබාහු යන රජවරු කැලණි විහාරය දියුණු කිරීම සඳහා කාර්යභාරයන් රැසක් සිදු කළහ. ඒ වගේ ම කැලණි රාජ මහා විහාරයේ දියුණුව පිණිස බොහෝ රජවරු දායක වී ඇත. ඒ අතර දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරු උත්තිය රජතුමා තුන්වැනි විජයබාහු, දෙවැනි පරාක්‍රමබාහු, කනිට්ඨතිස්ස ආදී රජවරුන් ද විහාරයේ දියුණුව වෙනුවෙන් හවුල්කරුවෝ වී ඇත.

ඒ වගේම කැලණි විහාරයට අනුග්‍රහ දැක් වූ රජවරු අතර කුරුණෑගල සිව් වැනි පරාක්‍රමබාහු, කෝට්ටේ හය වැනි පරාක්‍රමබාහු හා කෝට්ටේ හය වැනි බුවනෙකබාහු යන රජවරුන් ද කැපී පෙනේ.

1575 වසරේ දී කපිතාන් දියෝගෝ ද මේලෝ ඇතුළු පිරිසක් කැලණි විහාරය කොල්ල කන ලදී. කැලණි විහාරය තුළ ආගමික වතාවත් සිදු කිරීම පවා ඔවුහු තහනම් කළහ. පෘතුගීසින්ගේ අණට අනුව කිසිදු අයකු කැලණි විහාරය වන්දනාමාන කිරීමට පැමිණියේ නැත. ඒ අනුව කැලණි රාජමහා විහාරය වල් බිහි වන්නට විය.

එයින් පසුව වර්ෂ 1780 දී මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගයේ දි මෙරට ශාසනික ප්‍රබෝධයක් ඇති විය. එම යුගයේ දී ලාංකීය බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අනුශාසනා අනුව කැලණිය රාජමහා විහාරය යළි ගොඩනැඟීමේ සටන ආරම්භ කළහ. ඒ අනුව යළි ප්‍රතිසංස්කරණය වූ කැලණි විහාරය යළිත් බෞද්ධයන්ගේ වන්දනා මානයට පාත්‍ර විය.

කැලණි විහාරයෙහි සිතුවම් නිර්මාණය යුග දෙකකට අයත් ය. වර්තමාන සිතුවම් නිර්මාණය සිදු කරනු ලැබූයේ සෝලියස් මැන්දිස් කලාකරුවා විසිනි. ඊට අමතරව මහනුවර යුගයේ දී ද සිතුවම් නිර්මාණය වී ඇත.

වර්තමානයේ දකින කැලණියේ අලුත් විහාරය ඉදිකිරීම් ආරම්භ වූයේ 1927 වර්ෂයේ දි ය. එහි සිතුවම් පෙළ 1930 වසරේ නිර්මාණය කරන ලද්දේ සෝලියස් මැන්දිස් මහා කලා ශිල්පියා විසිනි. ඒ මහා කලා ශිල්පියා විසින් ඇඳි සිතුවම් රැසක් විහාර ගෙය තුළ අදත් හොඳින් ආරක්ෂා වී ඇත.

කැලණිය රාජමහා විහාරය හා සම්බන්ධිත තවත් වැදගත් කරුණු දෙකක් ගැන පැවසිය යුතු ය. එයින් පළමුවැන්න කැලණිය දුරුතු මහ පෙරහරයි.

ඓතිහාසික කැලණි දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ වර්ෂ 1925 දී මාපිටිගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදියි. වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහර ඉතා විචිත්‍රවත් ය.

අද වන විට උඩ මළුවේ පෙරහර, දෙවන මළුවේ වීදි පෙරහර, දුරුතු මහ පෙරහර ආදී ලෙස පෙරහර පවත්වන අතර, වර්තමානයේ පෙරහර ප්‍රධාන අංග පහකින් යුතු ය. ඒ ධාතු පෙරහර , විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, විභීෂණ දේවාල පෙරහර සහ මණිඅක්ඛිත දේව පෙරහර නමිනි.

වර්ෂ 1972 දී ආරම්භ වූ කැලණි විහාරස්ථ ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය දහම් පාසල ද මෙහිලා විශේෂිත අධ්‍යාපන ආයතනයකි. මේ වන විට මෙරට ඇති ප්‍රධානතම දහම් පාසලක් ලෙසින් හඳුන්වා දිය හැකි ය. වර්තමාන කැලණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ උපදෙස් පරිදි බෞද්ධ වන්දනාකරුවන්ට මෙන් ම දෙස් විදෙස් සියලු සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

කැලණි විහාරය බස්නාහිර පළාතේ බෞද්ධ ජනතාවට ඇති විශේෂිතම පූජනීය ස්ථානය වන අතර, සොළොස්මස්ථාන අතරින් බස්නාහිර පළාතේ ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය ද වේ.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]