සමස්ත සම්බුදු දහම සංයුක්ත වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි
ශ්‍රී සම්බුද්ධ ශාසන කීර්ති සමාජ
සේවා ශිරෝමණී
ශාස්ත්‍රවේදි රාජකීය පණ්ඩිත
සාම විනිසුරු
අමුණුපුර පියරතන නා හිමි
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල
ජානුස්සෝණි හා පිලෝතික බමුණු දෙදෙනා අතර ඇතිවූ සංවාදය පසුව ජානුස්සෝණි බ්‍රාහ්මණයා
බුදුරදුන් සමීපයේ දී සැල කළ පසු අප බුදුරජාණන් වහන්සේ මෙම හත්ථිපදෝපම සූත්‍ර දේශනාව
ගෙනහැර දක්වා වදාළ සේක.
මෙම සූත්‍ර ධර්මයම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවේ දී දේවානම්පියතිස්ස
මහරජතුමාට දේශනා කළ සේක.
ඉතා බුද්ධිමත් පසුතලයකින් බිහිවූ මෙම දාර්ශනික සූත්‍ර දේශනාව ආරම්භ වූයේ පිලෝතික
බමුණාගෙනි.
මෙම බමුණා දිවා භාගයෙහි ජේතවනාරාමයේ දී බුදුරදුන් සම්මුඛව ආචාර සමාචාර පවත්වා පෙරළා
එන ගමනේදී ජානුස්සෝණි බමුණා පෙරමඟ දී හමුවී අප බුදුරදුන් පිළිබඳ මහඟු ගුණාංග ඇත්පිය
උපමාවකින් විස්තර කරන්නට විය.
ඇතුන් වසන වනයක වසන දක්ෂ පුරුෂයෙක් ඇත් වනයට පිවිස මහත් අඩි සලකුණක් දැක මේ නම් මහා
ඇතෙකු යැයි නිගමනය කරන්නේ ද, එසේම මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඤාණ පද හතරක් දැකීමෙන්
භාග්‍යවතුන් වහන්සේ “සම්මා සම්බුද්ධ ය, එම ධර්මය ස්වාක්ඛාත ය, ශ්‍රාවක සංඝයා
සුපටිපන්න යැයි මම නිගමනයට එළඹියෙමි'යි මෙසේ පිලෝතික බමුණා ජානුස්සෝණි බමුණාට
ප්‍රකාශ කර එම ඤාණ පද හතර විස්තර කළහ.
මෙසේ පිලෝතික බමුණාගෙන් අප බුදුරදුන්ගේ අසිරිමත් භාවය දැනගත් ජානුුස්සෝණි බමුණා
රථයෙන් බැස බුදුරදුන් වැඩ සිටින දිසාවට වැඳ තෙරුවන්ට ම නමස්කාර කොට සැණෙකින්
දෙව්රම් වෙහෙරට ගොස් වන්දනාමාන කර එකත්පස්ව හිඳ සිදුවූ සියල්ල සැළකර සිටියේ ය.
අප බුදුරජාණන් වහන්සේ ද මුලින් ප්‍රකාශිත ඇත් පියවර සටහන තවදුරටත් විස්තර කළ සේක.
‘බ්‍රාහ්මණය’, යම්කිසි ඇත් ශිල්පියෙක් වනයට පිවිසෙන්නේ මහත් ඇත් පියවර අනුව වාමනිකා
නම් ඇතින්නක් දැක මේ මහා ඇතෙකු යැයි නිගමනය නොකොට තවත් ගමන් කරන්නේ”උච්චාකාළාරිකා”
නම් ඇතින්න ද, තවත් ඉදිරියට යන විට මහා පාද සටහන් ඇති “උච්චා කණේරුකා” ඇතින්න ද
හමුවී මේ නම් මහා ඇත්තු යැයි” නිගමනයට නොබැස තව තවත් ඉදිරියට ම යන විට ගසක් මුල හෝ
ඇවිදිමින් හෝ මහා ඇතෙකු දැක මේ නම් මහා ඇතා යැයි නිගමනය කරන්නේ ය.
බ්‍රාහ්මණය, මෙසේම තථාගතයන්ගේ උත්තමභාවය අසා යම්කිසි කෙනෙක් ගිහිගෙයින් නික්ම
සසුන්ගතව ශීලාදී ගුණදම් ආරක්ෂා කරගෙන බවුන් වඩා අභිඥාපාදක ධ්‍යාන උපදවා චතුරාර්ය
සත්‍යාවබෝධ ඤාණය උපදවා ගන්නේ ය.
මෙසේ ආර්ය ඤාණයෙන් සංයුක්ත වූ ඔහුගේ සිත කාමාසවයන්ගෙන්, භවාසවයන්ගෙන්,
අවිජ්ජාසවයන්ගෙන් මිදෙන්නේ ය. එපමණකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ,
සම්මා සම්බුද්ධො භගවා
ස්වාක්ඛාතො භගවතා ධම්මො
සුපටිපන්නො භගවතො
සාවක සංඝො
භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ය,
ශ්‍රාවක සංඝයා සුපටිපන්න ය යන නිගමනයට එළඹෙන්නේ ය.
බ්‍රාහ්මණය මෙපමණකින් ඇත් පියවර උපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වන්නේ ය. මෙසේ මෙම
උතුම් ධර්මය ඇසීමෙන් ජානුස්සෝණි බ්‍රාහ්මණයා බෞද්ධ උපාසකයෙක් බවට පත්විය.
මිහිඳු මහරහතන් වහන්සේ මිහින්ලාවේ දී මෙම හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කොට
දේවානම්පියතිස්ස රජතුමාට බුද්ධාගම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දී ශ්‍රී ලංකාවේ බෞද්ධ
ශිෂ්ඨාචාරයට පසුබිම සකස් කළ සේක.
එ දවස පටන් මිහින්තලා පව්වෙන් ගලාගෙන ආ බෞද්ධ චින්තන ධාරා ශ්‍රී ලංකා ධරණී තලයේ
ගම්නියම් ගම්, රාජධානි ආදි සෑම තැනම ඉතිරී පැතිරී යන්නට විය.
බුද්ධාදී තෙරුවන් ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් හඳුනාගත් ලාංකික ජනතාව තම තමන්ගේ දෛනික
ජීවිතයට අවශ්‍ය සෑම අංශයකට ම උපයෝගී කරගෙන යථාර්ථයෙන් ම උදාර ජීවිත ගත කළහ.
තෙරුවන් නුවණින් හඳුනාගෙන සරණ යාමේ පටන් ආර්ය ඤාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍යධර්මය
ප්‍රත්‍යක්ෂ කරගෙන උතුම් අමා මහා නිවන් සුව ලැබීම දක්වා පිළිවෙළින් සමස්ත බුද්ධ
ධර්මයම සංයුක්ත කොට මෙම චුල්ලහත්ථිපදෝම සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ ය. |