[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දකුණු ලක වෙහෙර විසිතුරෙහි වෙසෙස් සලකුණ පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය

ජනප්‍රවාදගත තොරතුරුවලට අනුව අනුරාධපුර යුගයේ ආරම්භ වූ, පොළොන්නරු යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක සහිත, මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් දල්වාලූ ශාසනාලෝකයෙන් එළිය වූ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය දකුණු ලක වෙහෙර විසිතුරෙහි සුවිශේෂී විහාරස්ථානයක් වශයෙන් හැඳීන්විය හැකි ය. කාවන්තිස්ස රජතුමා විසින් සිය පුතු වූ දුටුගැමුණු කුමරුන්හට ත්‍රිසිංහලය එක්සේසත් කරනු පිණිස සංවිධානය කළ දස මහා යෝධයන් අතුරින් ගෝඨයිම්බර යෝධයා මෙම ප්‍රදේශයේ විසූ බව ජනප්‍රවාදගත ය. බොහෝ ජනප්‍රවාදවලට අනුව ගෝඨයිම්බර යෝධයා මීට නුදුරු තංගල්ලේ නෙටොල්පිටියේ උපත ලැබූ අයෙකි. අසහාය කාය ශක්තියකින් හෙබි ගෝඨයිම්බර යෝධයා වර්තමානයේ අක්කර 75 ක පමණ බිමක් වසා පැතිරී ඇති පට්ටියපොල වැව තනවන ලදැයි පිළිගැනීමයි. හැඩවින්න විහාරස්ථානය ගෝඨයිම්බර යෝධයා හමුවට පැමිණි දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන්ගේ නිර්මාණයක් යැයි ප්‍රදේශවාසීහු සලකනු ලබති. අනුරාධපුර රාජධානි සමයෙන් පසු මෙම ගම්පියස පිළිබඳ තොරතුරු හමු වන්නේ පොළොන්නරු යුගයේ රුහුණු රට පාලනය කළ මානාභරණ රජතුමාගේ අවධියේ දී ය. අද නලගම මාලිගාතැන්න වශයෙන් හඳුන්වන ප්‍රදේශය මානාභරණ උප රජතුමාගේ මාලිගාව පිහිටා තිබූ බිම වශයෙන් හඳුනා ගනී. ඊට නුදුරු මෙම ගමෙහි වැව ආශ්‍රිත සාරවත් තණබිම් හේතුවෙන් මෙහි රාජකීය ගව පට්ටිය විසූ හෙයින් පට්ටියපොල නම් ලදැයි කියැවෙයි. ඒ අතර සිටි හැඩ ඇති පෘෂ්ඨිමත් ගවයකු නිසා හැඩවින්න නම ලද බව ජනප්‍රවාදයේ එයි. පොළොන්නරු යුගවලට අයත් යැයි සැලකෙන නටබුන් විහාරස්ථානයෙහිත්, අවට ප්‍රදේශවලත් හමු වී තිබේ. ගරා වැටුණු දාගැබ් වහන්සේ, ටැම්පිට විහාරයේ නටබුන්, තැන තැන විසිරී ගිය උළු හා ගඩොල මෙහි විසිරී තිබුණි. රෝහණ දේශයේ පරිහානියත් සමග විනාශයට පත් පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරයට පුනර්ජීවනය සැලසුණේ අද්‍යතන ධර්ම ශාස්ත්‍රෝද්දීපනයෙහි ආදිකර්තෘ වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවර මූලගිරි රාජමහා විහාරාධිපති වටරග්ගොඩ ධම්මපාල මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙනි.


පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]