[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජෝපහාරය

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජෝපහාරය

අපගේ පරම ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 237ක් ගත වූ තැන සම්බුද්ධ අධිෂ්ඨාන බලයෙන් අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ සඟරුවන් පිරිවරා පොසොන් පුන් පොහෝ දින සිරිලකට වැඩම කොට මිස්සක පවුවෙහි දී සිංහලයන් තිසරණයේ පිහිටුවා වදාළ සේක.

නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් දහම් දෙසා වදාළ සේක. ලංකාදීපයට වැඩම කොට සත්වෙනි දින ගතවත් ම සිංහල මගඵලලාභී ශ්‍රාවකයන් දහස් ගණනින් බිහිකළ අපගේ ආදි ගුරුදේවෝත්තමයන් වහන්සේ මිනිසුන් අධර්මයෙන් මුදවා ධර්මයට පමුණුවා ලක්දීපයේ සසුන නඟා ලූහ.

තුන්වැනි ධර්ම සංගායනාව සිදුකරමින් දඹදිව සම්බුදු සසුන නඟාලූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උතුම් පැවිදි භූමියට පත් වී වදාළ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ, නවාංග ශාස්තෘ ශාසනය මනාකොට ප්‍රගුණ කරමින් ෂඩ් අභිඥා සහිතව සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් වී වදාළ සේක. උපසම්පදාවෙන් දොළොස් වසරක් ගෙවුණු කල්හී තිස්දෙවෙනි වියෙහි පසු වූ මිහිඳු මහ රහතන් වහන්සේ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ නියමයෙන් අද වැනි පොසොන් පුන් පොහෝ දිනක ලංකාදීපයෙහි මිස්සක පව්වට වැඩම කළ සේක.

අප බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පිංගියානි සුත්‍රයේ දී මෙසේ දේශනා කොට වදාළ සේක,

“කතඤ‍්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං”

“කෙළෙහි ගුණ දන්නා, කෙළෙහි ගුණ සිහි කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය”

සෑ ගිරියට වැඩම කොට වදාළ මිහිඳු මහ රහතන් වහන්සේ - තිස්ස මහ රජු අමතා තමන් වහන්සේ හඳුන්වා දුන්නේ ධර්මස්වාමී වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙනි. ශ්‍රාවකත්වයේ පිහිටා ගෞතම සම්බුදු රදුන්ගේ පහළ වීම ගැනම දේශනා කරමින් සත්පුරුෂ භූමියෙහි බැස ගත් අප ආදී ගුරුදේවෝත්තමයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මචක්‍රය ප්‍රවර්තනය කොට ධර්මස්වර විහිදුවා හදින් හදට ධර්මය පමුණුවා තථාගත සම්බුද්ධකෘත්‍ය ලංකාදීපය තුළ සම්පුර්ණ කළ සේක.

ඒ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ වසරින් වසර නොව සෑම මොහොතක් මොහොතක් පාසා සිහි කරමින් කෘතගුණ පූජා පැවැත්විය යුත්තාහු ය.

ඒ උතුම් රහතන් වහන්සේ සුව සේ ම වැඩ සිටින සේක. තණ්හාව දුරු කළ, මම ය, මාගේ ය යන අස්මිමානය සිඳ දැමූ ඒ උතුම් මුනිවරුන්, තමන් ගේ ගුණ නොව ලොව අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වන බුදුරජාණන් වහන්සේගේ ම උතුම් ගුණයන් ගැන සිහනද පතුරුවන්නාහු ය.

උද්‌ධං තිරියං අපාචීනං - නන්දී තේසං න විජ්‌ජති

නදන්‌ති තේ සීහනාදං - බුද්‌ධා ලෝකේ අනුත්‌තරාති

“උඩු අතට බැලුව ද , හරස් අතට බැලුව ද, යටට බැලුව ද ඒ කිසි තැනෙක තණ්හාවක් රහතන් වහන්සේ තුළ නැත්තේ ය. ‘ලෝකයෙහි බුදුවරයන් වහන්සේ උත්තරීතරයි’ කියා උන්වහන්සේ සිහනද පතුරවන්නාහ” - (පඨම අරහන්ත සූත්‍රය)

ලක් දෙරණට වැඩම කළ දා පටන් යළි කිසිදා දඹදිව් තලයට නොවැඩි උන්වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පැතුම ඉටුකරමින් ශ්‍රී ලංකා ද්වීපයෙහි මනා කොට බුදුසසුන පිහිටුවා වදාළහ. සිංහල ලෙයින් උපන් රහත් මුනිවරුන්ගෙන් ලක්දෙරණ බැබළී ගියේ ය.

උත්තිය මහ රජුගේ රාජාභිෂේකයෙන් අටවැනි වර්ෂයෙහි දී උපසම්පදාවෙන් සැට වස් පිරූ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා සෑගිරි විහාරයේ දී - වප් මස පුර පක්ෂයේ අටවන දිනයෙහි දී පිරිනිවනට වැඩම කළ සේක. කෙළෙහි ගුණ දත් අපගේ අතීත මුතුන් මිත්තන් මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී මහත් රාජානුභාවයෙන් මහා පූජෝපහාර පැවැත්වූහ. වාර්ෂික පෙළහර පූජා පැවැත්වූහ. “ශ්‍රී මිහිඳු පුර අටවක” යනුවෙන් පොහෝ දිනයක් සම්මත කරමින් රාජසම්මත ව සීල සමාධි ප්‍රඥා වශයෙන් ද, මාර්ග බ්‍රහ්ම චරියාවෙන් ද, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරමින් ද, දීපප්පසාදක වූ අපගේ ආදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රතිපතියෙන් පුදන්නට එකල සිංහලයෝ කෘතවේදී වූහ.

මිහිඳු මහ රහතන් වහන්සේ ගේ උතුම් ධාතුන් වහන්සේ නිධන් කරමින් උත්තිය මහ රජු විසින් මිහිඳු මහ සෑ රදුන් කරවූ කල්හි පටන් ජීවමාන අනුබුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් ලෙසින් කෘතගුණ දත් සිංහලයන් මිහිඳු මහ සෑ රදුන් වන්දනා මානන කරමින් සත්පුරුෂ මඟට පිළිපන්හ.

කල්ගතවත් ම සිංහල අප හට උතුම් තිසරණය දායාද කළ මහා මුනිවරයාගේ ගුණ කඳ අමතකව ගිය සෙයින් මිහිඳු මහ සෑ රජුන් සතුරු ආක්‍රමණ හමුවේ උපද්‍රවයන්ට ලක්වෙමින් වනගතව සැඟවී ගියේ ය.

වර්ෂ බොහෝ ගණනකට පසුව වර්තමානයේ යළි ගොඩනැංවෙන මිහිඳු මහ සෑ රදුන්, මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් ගුණයට පිදෙන සැබෑ ම උපහාරය යි. උතුම් කෘතගුණ පූජාවයි. මේ වනවිට සෑ රදුන් අහස උසට ගොඩනැංවී කොත්කැරැල්ල නිර්මාණය වෙමින් සෑ ගර්භය කපරාරු ගන්වමින් පැවතීම සිංහල ජාතියට ම මහත් අස්වැසිල්ලකි. අපගේ අසහාය කල්‍යාණ මිත්‍රවර අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ සෑ රදුන් යළි ගොඩනැංවීම මෙහි ඇති ආමිස පූජාවයි. ඒ උතුම් මුනිඳුන්ගේ කෘතගුණ මෙනෙහි කරමින් සත්පුරුෂ භූමියේ බැස ගැනීම මෙහි ඇති ප්‍රතිපත්ති පූජාවයි. ඒ නිසා නුවණැත්තෝ ආමිසය ද වඩත්වා! ප්‍රතිපත්තිය ද වඩත්වා! සත්පුරුෂ භූමියේ පිහිටා සසුන් මඟ වඩත්වා!

අපගේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දක්ඛිණා විභංග සූත්‍රයේ දී මෙසේ දේශනා කළහ.

“යං හි ආනන්ද, පුග්ගලෝ පුග්ගලං ආගම්ම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි, යදදං අභිවාදනපච්චුට්ඨාන අඤ්ජලිකම්ම සාමීචිකම්ම චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චයභේසජ්ජ පරික්ඛාරානුප්පදානේන.”

“පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා එළඹ, බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්දය, එම පුද්ගලයාට මෙම පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට නොහැකි බවයි මා දේශනා කරන්නේ. එනම් වන්දනා කිරීම්, දුටු විට අසුනෙන් නැගිටීම්, ඇඳීලි බැඳ වැ¼දීම්, උපස්ථාන කිරීම්, චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදී වශයෙනි”

“යං හි ආනන්ද, පුග්ගලෝ පුග්ගලං ආගම්ම. පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි.”

එලෙසින්ම පින්වත් ආනන්දය, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයකු කරා පැමිණ සතුන් මැරීමෙන් වළකී ද, සොරකමින් වළකී ද, වැරැදි කාමසේවනයෙන් වළකී ද, බොරු කීමෙන් වළකී ද, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකී ද, පින්වත් ආනන්දය, එම පුද්ගලයාට මෙම පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට නොහැකි බවයි මා දේශනා කරන්නේ.”

අප සියලු දෙනාහට පරම දුර්ලභ තිසරණ ලාභය ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ කළ උපකාරය නිසා ම ය. සෑය, බෝධිය වඳිමින් පිනෙන් පිරුණු දිවි පෙවතක් ලක්වැසියනට උරුම කර දුන් මුනිවරයාණෝ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ම ය. මේ මාතෘ භූමියට, සිංහල ජාතියට, යමෙක් මහත් ස්නේහවන්ත වූවා නම්, අනුකම්පා සහගත වූවා නම්, මිහිඳු මහරහතන් වහන්සේට සමාන කළ හැකි වෙනත් කවුරුවත් ම නැත්තේ ම ය.

මුළු මහත් ජාතියක් එක්ව මිහිඳු මහ රහතන් වහන්සේ මහත් හරසරින් පුදන්නා වූ මෙම පොසොන් පුන් පොහෝ දිනයේ දී මිහිඳු මහ රහතන් වහන්සේට සැබෑම උපස්ථානයක් වන මිහින්තලා පුදබිමෙහි වර්ෂ සිය ගණනාවක් ගරාවැටී තිබූ මිහිඳු මහා සෑ රදුන් යළි ගොඩනංවා ගෞතම බුදු සසුනට පුදන්නට අපහට වාසනාව ලැබේවා! මිහිඳු මහ රහතන් වහන්සේ විසින් අපහට දායාද කළ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා!

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]