[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශාසන ශෝභන ව්‍යක්ත විශාරද පල්ලාවෙල සුමේධවංශ නාහිමියෝ

ශාසන ශෝභන ව්‍යක්ත විශාරද පල්ලාවෙල සුමේධවංශ නාහිමියෝ

ගාල්ලේ දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය, ගාල්ල ජම්බුකැටිය සිරි සුගතාරාමය, ගාල්ල සමඟිවත්ත අභිනවාරාම, තුන්බෝධි විපස්සනා මධ්‍යස්ථානය, හක්මන පල්ලාවෙල දකුණ පිටවල්ගමුව නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමේධවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්ත මහා නිකායේ මහානායක ධූරින රම්බඩගල්ල ශ්‍රී විද්‍යාසාගර පරිවේණාධ්‍යක්ෂ ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශාලංකාර විනය කීර්ති ශ්‍රී පරියත්ති විශාරද කර්ම වාගාචාර්යය ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් සිරි සුමනජෝත්‍යාභිධාන සුගතසීල වංශාවතංස සුවණ්ණජොත්‍යාලංකාර ශාසනා කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර නාම සම්මුතිය සහිත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක පදවියට පත්කර ඇති අතර, ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 10 වැනි දා පස්වරු 2.00ට ගාල්ල දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරස්ථානයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවණීයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අපේ පල්ලාවෙල සුමේධවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හක්මන පල්ලාවෙල නම් රමණීය ගම්පියසේ කුඩා අන්තෝනිගේ හර්මානිස් සහ අයි සයිසදරා යන දම්පතීන්ට දාව කුඩා අන්තෝනිගේ සුමනසේන යන නමින් 1956 දෙසැම්බර් 15 වැනි දින උපත ලබා මාර/ පිටවල්ගමුව කණිෂ්ට විද්‍යාලයෙන් හා දෙනගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් විසිවන වියේ දී පල්ලාවෙල දකුණ පිටවල්ගමුව නිග්‍රොධාරාමයේ දී 1976 දී දේවාලෙගම සිරි සුවණ්ණජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ අභිධර්ම විශාරද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ගාලු පළාතේ සම්මාන සංඝනායක දංගෙදර සිරි සුගතසීල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස පල්ලාවෙල සුමේධවංස සාමණේර නමින් සසුන් කෙතට ඇතුළත් විය.

උගත මනා බණ දහම් උගෙන 1992 දී කළුතර කළු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

ශාස්ත්‍රවේදී උපාධිය, පුරා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා උපාධිය, බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශාස්ත්‍රපති උපාධිය, අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත් හිමිකර ගත් සුමේධවංස හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ බාහිර උපදේශක සහ කථිකාචාර්යවරයකු ලෙස ද ක්‍රියා කළහ.

පුරාවිද්‍යාව පිළිබඳ අභයගිරි ව්‍යාපෘතියේ හිටපු අධීක්ෂණ නිලධාරී ධුරය දරමින් අතිවිශාල මෙහෙවරක් ඉටුකළ අතර වසර 25ක් ධර්මාචාර්යවරයකු ලෙසත්, හිටපු විදුහල්පතිවරයකු ලෙසත් ජාතියේ දරුවන්ට ජීවත්වීමේ කලාව ඉගැන්වූ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයකු ලෙස ගිහිපැවිදි සැමගේ ජන කීර්තියට ද පත්වූහ.

ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරනු ලබන අපේ පල්ලාවෙල සුමේධවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකායේ කාරක සංඝ සභික ධුරය, ගාලු පළාතේ සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරය ද දරමින් සංඝ සමඟිය උදෙසා ඉටුකරනු ලබන මෙහෙය ප්‍රශංසා කටයුතු වේ.

අපගේ නාහිමියන්ට තුණුරුවන්ගේ සරණින් ශතවර්ෂාදී කාලයක් ලෝ සසුන් වැඩ වඩන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා'යි ආශිංසන කරමි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]