[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බද්දේගම ජිනානන්ද නාහිමිපාණෝ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

බද්දේගම ජිනානන්ද නාහිමිපාණෝ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

උනන්විටිය ශ්‍රී විජයාරාම මහා විහාරාධිපති බද්දේගම බෞද්ධ කටයුතු සමායෝජක දහම් සරසවියේ හිටපු කථිකාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී චන්දානන්ද සුමනාභිධාන බද්දේගම ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ගාලු කඩවත්සතරේ හා ගාලු ගඟබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්‍යාමෝපාලි මහා විහාර වංශික මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංසද්වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් ධර්ම කීර්ති ශ්‍රී චන්දානන්ද සුමන යන නාමදේවෝපලක්ෂිතව ගාලු කඩවත් සතර හා ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇති අතර, ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය රාජපූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී පසුගිය මැයි 27 වැනිදා ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේදී ගිහි පැවිදි සම්භාවනීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබුණි.

අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ආශිර්වාද උපහාර පැවැත්වීමේ පින්කම් මාලාවක් උනන්විටිය ශ්‍රී විජයාරාමයේ දී ජුනි 9 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත ය.

බද්දේගම ජිනානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1975.02.09 දින බද්දේගම කේ.කේ.ජී. ඇන්ටන් සහ කේ.ඩබ්.භද්‍රාවතී යන දම්පතීන්ට දාව කේ.ජී. ජීවන්ත චන්ද්‍රමාල් යන නමින් උපත ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් උනන්විටිය ශ්‍රී විජයාරාමය, මහලපිටිය ශ්‍රී මහින්දාරාමය යන උභය විහාරාධිපති ලේල්වල චන්දානන්ද මා හිමියන්ගේ සහ උනන්විටිය ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසූ ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත විශ්‍රාමලත් ධර්මාචාර්ය වැයිහේනේ සුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස 1985 ජුනි 28 වැනි දින උනන්විටිය ශ්‍රී විජයාරාමයේ දී බද්දේගම ජිනානන්ද සාමණේර නමින් සසුන් කෙතට ඇතුළත් විය.

1998 ජුනි 07 වැනි දින රාජපූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලයෙහි පිහිටියහ.

නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ධුරයට පත්ව වසර 11 සේවය කළ අතර, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එකී ධුරයෙහි වර්තමානයේ කටයුතු කරනු ලබති. දහම් සරසවියේ ද වසර 07ක් කථිකාචාර්යවරයකු ලෙස ජිනානන්ද හිමියෝ ක්‍රියා කළහ.

නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරය ද වසර 05ක් කටයුතු කළ අතර, උන්වහන්සේ ස්වකීය විහාරස්ථානයේ වැඩිහිටි දහම් පාසලක් ද ආරම්භ කරමින් විශාල මෙහෙයක් ඉටුකරති.

ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර විනයධර අපේ බද්දේගම ජිනානන්ද හිමියන් දක්ෂ ධර්මදේශකයන් වහන්සේ නමකි. සරල සුගම අපිස් දිවියක් ගත කරන ජිනානන්ද හිමියන් සසුන් කෙත ශෝභා සම්පන්න කළ හැකි ශිෂ්‍යවරයන් රැසක් සසුනට එක් කළහ.

උන්වහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් තව තවත් ලෝ සසුන් වැඩ වඩන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා'යි ප්‍රාර්ථනය කරමි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]