[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුන් කෙතට මිණි පහනක්වන් උඩකැන්දවල චන්දවිමල නා හිමියෝ

සසුන් කෙතට මිණි පහනක්වන් උඩකැන්දවල චන්දවිමල නා හිමියෝ

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගම්මානයක් වන උඩකැන්දවල ජීවත් වූ දේවනාරායණ බ්‍රාහ්මණ මුදියන්සේලාගේ සේනාරත්න, රත්නායක මුදියන්සේලාගේ නන්දාවතී කුමාරිහාමි දම්පතීන්ට දාව කුමරකු 1963 ජූනි මස 07 වැනි දා ජන්ම ලාභය ලැබීය. ඔහු නමින් දේවනාරායණ බ්‍රාහ්මණ මුදියන්සේලාගේ ෂෙල්ටන් සේනාරත්න වන අතර ඔහු අපේ කථානායකයාණන් ය.

දස හැවිරිදි වියේ දී උඩකැන්දවල පුරාණ විහාරාධිපති මහව සරණංකර ලොකුහාමුදුරුවන් වහන්සේට හා නැලව පොත්ගුල් විහාරාධිපති තලහේන්ගොඩ චන්දානන්ද නාහිමිවරුන්ට උතුම් පැවිද්ද සඳහා භාරකෙරිණි. 1973 ඔක්තෝබර් මස 31 වෙනි දින උතුම් වූ නෛර්යාණික ශාසනයේ පැවිදි දිවියට ඇතුළත් විය.

වැඩිදුර ධර්මාවබෝධය සඳහා ආචාර්යයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කීර්තිමත් විද්‍යාස්ථාන වන කොබෙයිගනේ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනින් හා ගම්පහ, පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙනෙන් මූලික සිප් සතර හදාරා උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට (භික්ෂු විශ්වවිද්‍යාලයට) ඇතුළත් ව ත්‍රිපිටකය පිළිබඳ උපාධිය ලබා ගනිමින් දැනුම, ආකල්ප, කුසලතා පිරි භික්ෂුවක් බවට පත්වූහ. අනතුරුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්හ.

ඓතිහාසික මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී වර්ෂ, 1985 ජූනි මස 29 වන දින අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිට වූහ.

විද්‍යාස්ථාන කීපයක ම ධර්මාචාර්යයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කර අවසාන භාගයෙහි මිහින්තලේ කාල පාසාද පිරිවෙනෙහි පරිවේණාධිපති වීමේ භාග්‍යය ද උදාකර ගත්හ. එතැන් පටන් විශ්‍රාම යනතුරු ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තමන් වහන්සේගේ අත්‍යුදාර ලෝක ශාසනික සේවාව මනාව ප්‍රකට කළහ. ගිහි සමාජය මෙන්ම පැවිදි සමාජයේ විවිධ සමිති සමාගම්වල අනුශාසකයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු සිදුකරන අතර ගිහි ජනතාවගේ දුකට පිහිටවෙමින් අසරණ දරු දැරියන්ට උදව් උපකාර කිරීම, හිසට සෙවණක් නැති අසරණ ජනතාවට නිවාස පවා සාදා දෙමින් තමන් වහන්සේට ලැබෙන සෑම දේ ම අන්‍යයන්ට පරිත්‍යාග කරමින් කටයුතු සිදුකරති.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අපේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව 2012 වර්ෂයේ “ධර්ම කීර්ති ශ්‍රී සරණංකර චන්දානන්ද” යන ගෞරව නාමෝපලක්ෂිත “හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමී ය. එය ද උන්වහන්සේගේ සමාජ සේවාව සඳහා තවත් ශක්තියක් විය. එතැන් පටන් විහාරස්ථාන ගණනාවක් ගොඩනඟමින්, පැවිදි ශිෂ්‍ය බාලාදීන් රාශියක් සසුනට දායාද කරමින්, ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාපන ක්ෂේත්‍රයට අමිල සේවාවක් සිදු කරති. වර්තමානය වන විට උඩකැන්දවල ශ්‍රී චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන සේවාව පිළිබඳ නැවත ඇගයීමක් වශයෙන් ධර්ම කීර්ති ශ්‍රී සරණංකර චන්දානන්ද” යන ගෞරව නාමය සහිතව පුරප්පාඩුව පැවති හරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය” ශ්‍රීමත් අපේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පිරිනමන ලදී. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම උන්වහන්සේගේ හැටවැනි ජන්ම දිනයට හා පනස්වැනි පැවිදි දිවියට සමගාමීව පසුගිය මැයි 26 වැනි දින මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී සිදු වුණි.

මෙබඳු උදාර වූ ලෝක ශාසනික සේවාවක් සිදු කරමින් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්මයන්ගෙන් උපශෝභිත ශාස්ත්‍රපති, ගෞරවාර්හ උඩකැන්දවල ධර්මකීර්ති ශ්‍රී සරණංකර චන්ද්‍රානන්ද චන්දවිමලාභිධාන හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ දළදා වහන්සේගේ ආශීර්වාදයෙන් හා උතුම් විජය ශ්‍රී ජය ශ්‍රීමහබෝධීන් වහන්සේගේ අනුහසින් ශතවර්ෂාධික කාලයක් චිරජීවනය ලබමින් උදාර වූ ලෝක ශාසනික සේවාවක් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා'යි ආශිංසනය කරමු.

****

සුසමාදර්ශී ශාසනික සේවාවක නිරත ස්ථවිරයන් වහන්සේ නමකි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පෙරියකඩු නැලව පුරාණ පොත්ගුල් විහාරය, අනුරාධපුර තම්මැන්නාගල රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය උසුලන හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී උඩකැන්දවල චන්දවිමල ස්ථවිරයන් විසින් සිදුකරනු ලබන ලෝකශාසනික සේවය ප්‍රශංසාර්හ ය.

ස්වකීය ශාසනික පදවි තානාන්තර ප්‍රකාරව තමන් වෙත පැවරෙන ශාසනික වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් තත්පරව කටයුතු කරන උඩකැන්දවල චන්දවිමල නායක ස්ථවිරයන් ප්‍රදේශයේ විවිධ සමිති සංවිධානයන්ගේ වගකිව යුතු නිලතල ද උසුලමින් සමාජ ප්‍රගමනය උදෙසා නිසි මාර්ගෝපදේශ ලබා දෙමින් සිදුකරනු ලබන පුළුල් ආගමික, සමාජීය හා ශාසනික සේවය සුසමාදර්ශී ය.

පරිවේණාචාර්යවරයකු ලෙස මෙන්ම පරිවේණාධිපතීන් වහන්සේ නමක් ලෙස ද සුවිසල් ධර්ම ශාස්ත්‍රීය සේවයක නිරතව සිටි උඩකැන්දවල චන්දවිමල නායක ස්ථවිරයන් ස්වකීය ආධිපත්‍ය යටතේ පවත්නා වෙහෙර විහාර සකලාංග පරිපූර්ණ දර්ශනීය විහාරස්ථානයන් ලෙස සංවර්ධනය කරමින් තත් ශාසනෝන්නතියෙහිලා ප්‍රතිබල සම්පන්න භික්ෂු පිරිසක් සසුනට දායාද කිරීමට කටයුතු කර තිබීම ද විශේෂයෙන් අගය කළ යුතු ය.

අප මල්වතු මහා විහාරීය ශාසනික සම්ප්‍රදායන් මනාව ආරක්ෂා කරමින් ප්‍රදේශයේ ගිහි පැවිදි සියලු දෙනාගේ චිත්තාරාධනය කරමින්, පරෝපවාද රහිතව සුසමාදර්ශි භික්ෂු ජීවිතයක් ගත කරමින් සිය ප්‍රවෘජ්‍යාවෙන් 50 වන වියට හා 60 වන ජන්ම දිනයට පා තබන උඩකැන්දවල ධර්මකීර්ති ශ්‍රී සරණංකර චන්දානන්ද චන්දවිමලාභිධාන හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරපාදයන් වහන්සේට ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’ යි ආශිංසනය කරම්හ.

****

ථෙරවාදි බුද්ධ ශාසනයේ උන්නතියට කැප වූ ස්වාමීන් වහන්සේ නමකි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන අනුරාධපුර ඉදුප්පුකුලම ශ්‍රී සුදර්ශනාරාමය, තම්මැන්නාගල රාජමහා විහාරය ඇතුළුකොට ඇති සිව් මහා විහාරාධිපති උඩකැන්දවල චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මාගේ සුබ පැතුම් පළකරමි.

උඩකැන්දවල චන්දවිමල නාහිමියෝ ථෙරවාදී බුද්ධ ශාසනයේ උන්නතියට කැපවූ ස්වාමීන් වහන්සේ නමකි. එමෙන්ම සමාජීය, ආගමික සහ පොදු ජන හිත සුව පිණිස මහත් මෙහෙවරක නිරත වන උඩකැන්දවල චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේගේ අධිපතීත්වයේ පවතින විහාරස්ථාන සංවර්ධනය කිරීමත්, නව විහාරස්ථාන ගොඩනැංවීමත්, දැන උගත් ශිෂ්‍ය හිමිවරුන් සම්බුදු සසුනට දායාද කිරීමත්, පාසල් හා දහම් පාසල් ගුරු සේවයේ යෙදෙමින් දරු පරපුර යහමඟට ගැනීමත් උදෙසා සිදු කර ඇති මෙහෙවර ප්‍රශංසනීය වෙයි.

පි‍්‍රයශීලී, නිහතමානී ගුණයන්ගෙන් සමන්විත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කා අතරත් ප්‍රසාදයට පත් වී සිටින උඩකැන්දවල චන්දවිමල නා හිමියන් හට අභිනව තනතුරේ වගකීම් මැනවින් ඉටු කරමින් තවත් ලෝක ශාසනික කටයුතුවල නිරත වීමට හැකි වේවා'යි ප්‍රාර්ථනා කරමි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]