[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහින්දාගමනයට පෙර ලක්දිව ඇදහිලි හා පුදසිරිත්

මහින්දාගමනයට පෙර ලක්දිව ඇදහිලි හා පුදසිරිත්

බුද්ධකාලීන භාරතය තුළ මිථ්‍යා දෘෂ්ටික ආගම් සැට දෙකක් පැවති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මෙකී ආගම් අතර, බ්‍රාහ්මණාගම, ජෛනාගම, ආජීවක, පරිබ්‍රාජක හා අචේලක යන ආගමික කොටස් දඹදිවින් පිටස්තර දේශවල ද ශීඝ්‍ර ලෙස පැතිර ගිය බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවතියේ ද දඹදිව පැවති එකී ආගමික ඇදහිලි හා පුදසිරිත් බව විශ්වාස කළ හැකි ය.

ලක්දිව දඹදිවට ඉතා සමීපව පිහිටි රටක් වීම එරට පැවති ඇදහිලි හා පුදසිරිත් මෙරට පැතිරී යාමට මූලික වශයෙන් බලපා ඇත. එසේම දඹදිවින් පැමිණි ජන කොට්ඨාසයකින් ලක්දිව ජනාවාස වීමත්, ආසන්න පිහිටීමත් හේතුවෙන් දෙරට අතර, සිදු වූ වෙළඳ ඥාති මිත්‍ර හා තානාපති වශයෙන් විවිධාකාර වූ සබඳතා රැසක් ඇතිවීම ද ඊට තවත් හේතුවකි.

බුදුරදුන් ජීවමාන සමයෙහි ම ලක්දිව පිහිටුවා වදාළ බුදුදහම ශත වර්ෂ කිහිපයක් ඇවෑමෙන් මෙරටින් අතුරුදන් වීමට මූලික වශයෙන් බලපෑ හේතු සාධක කවරේදැයි, නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කිරීම අපහසු ය. එසේ වුව ද බෞද්ධ පිළිවෙත යටපත් කරගෙන අනෙක් ඇදහිලි හා පුදසිරිත් ඉදිරියට පැමිණීමත්, රජ මැති ඇමැති යනාදී ප්‍රභූන්ගේ අනුග්‍රහය බුදුදහම කෙරෙහි නොලැබීමත්, බුදු දහම මඟින් අනුමත කළ ජීවන රටාව අනාදිමත් කාලයක පටන් ලක්වැසි ජනතාව හුරුපුරුදු වූ ජීවන රටාවට අනුගත නොවීමත් යනාදී කරුණු ලක්දිවින් බුදුදහම තුරන් වී යාමට හේතු සාධක වූ බව අනුමාන ලෙස පෙන්වා දිය හැකි ය.

චිත්තරාජ කාලවේල ප්‍රේතාත්ම ද?

මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ප්‍රධාන ආගමික විශ්වාසයක් නම් යක්ෂයන් ඇදහීම යි. පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙන් නැඟෙනහිර දිසාවෙහි කාලවේල යක්ෂයාටත්, අභය වැවෙන් පහළ ප්‍රදේශයෙහි චිත්තරාජ යක්ෂයාටත් දේවාල ඉදිකරවා වාසය කරවාගත් බව මහාවංසයේ විස්තර වේ.

පණ්ඩුකාභය රජු උපතේ සිටම ඔහුට ආරක්ෂකයින් ලෙස මෙම යක්ෂයන් දෙදෙනා සිටි බව එකල විශ්වාසය විය. ඔහු රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව මෙම දෙදෙනාට විශේෂ ගරු සැලකිලි දක්වා වාසය සඳහා ද පහසුකම් සලස්වා දුන්නේ ඊට කෘතගුණ සැලකීමක් ලෙසයි. චිත්තරාජ යක්ෂයා උදෙසා පුද සත්කාර කිරීම එකල දඹදිව ජනතාව ද තදින් ම හුරුපුරුදු වී සිටි ඇදහිල්ලකි.

පුරාතන ලක්දිව යක්ෂ වන්දනාව පිළිබඳ විමසීමක යෙදෙන මහාචාර්ය වල්පොල රාහුල හිමි ලක්දිව බුදු සමයේ ඉතිහාසය කෘතියෙහි දක්වා ඇත්තේ චිත්තරාජ හා කාලවේල ලක්දිව ආදිවාසීන්ගේ හෝ වැද්දන්ගේ හෝ නායකයන් දෙදෙනකුවත්, පණ්ඩුකාභය සැබැවින් ම සියැසින් දැක හඳුනන ප්‍රාණීන්වත් නොව අද දවසේ පවා මිථ්‍යා විශ්වාසීන්ගේ මනඞකල්පයෙහි වෙසෙන යක්ෂ භූතාදීන් මෙන් එකල මිනිසුන්ගේ මනඞකල්පයට අරක්ගෙන සිටි පේ‍්‍රතාත්මයන් බව යි.

බණ්ඩාර ඇදහිල්ල

පේ‍්‍රතාත්ම ආදහිල්ල හෙවත් මියගිය නායකයන් හා විශිෂ්ට ආදි පුරුෂයන් පිදීම බණ්ඩාර ඇදහිල්ල වශයෙන් ආදි කාලයේ පටන් අද දක්වාම ලක්දිව පැවත එන සිරිතක් බව වල්පොල රාහුල හිමියෝ පෙන්වා දෙති.

මළවුන් පිදීම පිළිබඳ චාරිත්‍රය ලක්දිව තදින් ම මුල්බැස තිබූ බවට ප්‍රබල ම සාධකයක් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට සැපත් වීමෙන් පසු දේශනා කළ ධර්ම කොට්ඨාසයන් ය. ලක්දිව ජනතාව පේ‍්‍රතාත්ම ගැන විශ්වාසය තබා ඇති බව දත් මිහිඳු මාහිමි ඔවුන්ගේ මිථ්‍යා විශ්වාස තුරන් කිරීමේ අරමුණෙන් පේතවත්ථු, විමානවත්ථු ආදිය මුල් කරගෙන ධර්ම දේශනා කළ බව පැහැදිලි ය.

නාග ඇදහීම

මහින්දාගමනයට පෙර පැවති ඇදහිලි හා පුදසිරිත් ගැන සඳහන් කරන මහාවංස කතුවරයා නාගයන් ඇදහීම ගැන කිසිදු තොරතුරක් ඉදිරිපත් නොකරයි. එහෙත් එහි නාග ගෝත්‍රිකයන් ගැන විස්තර හමුවෙයි. පුරාතන ලංකාවාසීහු නාග නමැති භූතයන් විශේෂයකට වැඳුම් පිදුම් කළහ. චූලෝදර - මහෝදර යන නා රජුන් ගේ අරගලයක් සංසිඳවීම සඳහා බුදුරජාණන් වහන්සේ වරක් ලක්දිව නාගදීපයට වැඩම කළ බව අපි දනිමු. මෙම නාගදීපය හෙවත් නාග දිවයින නාග ගෝත්‍රිකයන් විශාල වශයෙන් පදිංචිව සිටි ප්‍රදේශය විය යුතු ය.

පුරාතන ලක්දිව ගල් කැටයම්වල නාග රූප බෙහෙවින්ම යෙදීමෙන් පෙනී යන්නේ නාගයන් පිළිබඳ විශ්වාසය ලංකාවාසීන්ගේ සිත්වලින් බැහැර නොගිය බවයි.

වෘක්ෂ විශ්වාසය

පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ නමැති යක්ෂ රාජයා නගරයේ බටහිර වාසල නුග රුකක වාසය කර වූ බව කියැවෙයි. ඒ අනුව ප්‍රාග් මහින්ද යුගයේ වෘක්ෂ වන්දනාවට ද ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබේ. නූතනයේ පවා විශාල ලෙස වැඩුණු නා, නුග, ඇසතු යනාදී වෘක්ෂයනට අරක්ගත් දෙවි දේවාතාවන් ඇතැයි, ඇතැමෙක් විශ්වාස කරති.

කර්මාන්තයන්ටත් දෙවියෙක්

එක් එක් කර්මාන්තවලට ප්‍රධාන වූ කිසියම් දෙවි කෙනෙක් සිටින බවක් එකල ජනතාවගේ සිත් සතන් තුළ තදින් ම මුල්බැස ගත් විශ්වාසයකි. ස්වකීය කර්මාන්තවලට යාමට පෙර ඒ ඒ දේවතාවා වෙනුවෙන් පුදසිරිත් ඉටුකර යාම සිරිතක් ව පැවතිණි. උපුල්වන්, සමන්, විභීෂණ, සතරවරම්, ස්කන්ධකුමාර ආදී දෙවියන් ද තවත් දේවතාවියන් ද වෙනුවෙන් එකල ජනතාව පුද සත්කාර කළ බවට සාධක තිබේ.

බමුණන්ට උසස් තැනක්

එදා ලක්දිව ජන සමාජයේ බමුණාට ඉතා උසස් තැනක් හිමි වී තිබූ බව වංසකථා විස්තරවලින් හෙළි වෙයි. උගත් බමුණෝ පාලක පක්ෂයට අවවාද අනුශාසනා කරමින් පුරෝහිත තනතුර ඉසිලූහ. විජය කුමරු සමඟ පැමිණි උපතිස්ස බමුණා ඔහු ලක්දිව රජ බවට පැමිණි පසු පුරෝහිතයා විය. පණ්ඩුකාභය ශිල්ප උගත්තේ ත්‍රිවේදයේ පරතෙරට පත්”පණ්ඩුල” නම් බ්‍රාහ්මණයාගෙනි. දෙවනපෑතිස් රාජ්‍ය සමයේ ශ්‍රී මහා බෝධි ශාඛාව මෙහි වැඩමවා ගෙන ඒමේදී තිවක්ක බමුණූ ගමේ පුද සත්කාර පිණිස වඩාහිඳ වූ බව සඳහන් වෙයි.

ජෛනාගම පැමිණි අයුරු

මහින්දාගමනයට පෙර සමයේ ලක්දිව ජෛනාගම ද සුළු වශයෙන් හෝ ව්‍යාප්තව පැවතිණ. චන්ද්‍රගුප්ත රාජ්‍ය සමයේ උතුරු ඉන්දියාවේ ඇති වූ දුර්භික්ෂයක් නිසා දකුණූු ඉන්දියාවට පැමිණි ජෛන මහාවීරගේ අනුගාමිකයන්ගෙන් කොටසක් ලංකාවට ද සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු පෙන්වා දෙති.

ශිව දෙවියන් වන්දනය

ශිව දෙවියා හා ශිව ලිංග වන්දනාව මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බවට සාක්ෂි තිබේ. පණ්ඩුකාභය රජු ඒ ඒ තන්හි සිවිකා ශාලා හා සොත්ථි ශාලා කර වූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. සිවිකා යනු ශිව ලිංග පිහිටුවා තිබූ ශාලාව වශයෙන් මහාවංස ටීකාකරුවෝ අරුත් සපයති. මහසෙන් රජු ලක්දිව සෑම තැනෙකම තිබූ ශිව දේවාල හා ශිව ලිංග විනාශ කළ බව වංසකථාවෙහි සඳහන් ය.

මෙම කරුණුවලට අනුව ඉඳුරාම නිගමනයකට බැසිය යුත්තේ මහින්දාගමනයට පෙර ලක්වැසියන් මෙම ඇදහිලි හා පුද සිරිත් අනුගමනය කළ බවත් එහෙත් ඔවුන්ගේ ජීවිතය හා බලපෑ සැබෑ ආගමක් නොතිබුණු බවත් ය.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]