[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුණධර්මයන්ගෙන් සුපෝෂිත සමාජයක අවශ්‍යතාව පොසොන් උදාවේ අධිෂ්ඨානය කර ගනිමු

ගුණධර්මයන්ගෙන් සුපෝෂිත සමාජයක අවශ්‍යතාව පොසොන් උදාවේ අධිෂ්ඨානය කර ගනිමු

ක්‍රි.පූ. 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පෝදා බුදු දහම ලංකාවට හඳුන්වා දුන් දවස ය.

බුදු දහමට අනුව ජීවත්වන ජනතාවක් මේ රටේ ඇති කරන්නට එදා මූලික වශයෙන් අඩිතාලම දැමූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ බොහෝ අය ඒ වෙනුවෙන් ම ම කැප වූ ජීවිත මෙන් ම ශාසනික බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නට ඉදිරිපත් වූ බව සඳහන් ය.

පළමු වස් කාලය එළැඹීමේ දී රජතුමා විසින් මිහින්තලයෙහි සූ සැට ලෙන් කරවූ බව සඳහන් ය. ඒ බුද්ධ ශාසනයට ඇතුළත් වූ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේටත් සමඟයි. ඒ ආකාරයට ශාසනය ආරම්භ වූවා පමණක් නොව අනුලාවන් වැනි රාජ මෙහෙසියන්ටත් මේ ශාසනයට ඇතුළත්වීමේ අවශ්‍යතාව පැහැදිලි කළහ.

ඒ කළ ඉල්ලීම නිසා සංඝමිත්තා තෙරණියගේ වැඩම වීමේ අවශ්‍යතාව මිහිඳු මහ රහතන් වහන්සේ දුටු සේක. ඒ නිසා දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහය යටතේ ධර්මාශෝක රජතුමා වෙත පණිවුඩකරුවකු යැවීය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ තම සොහොයුරිය සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා ලංකාවට වැඩමවා ගැනීමට කටයුතු කළ බව සඳහන් ය.

උඳුවප් පුර පසළොස්වක පෝදාක ලංකාවට වැඩම කළ සංඝමිත්තා මහ රහත් තෙරණිය, අනුලාවන් ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවන්ට බුද්ධ ශාසනයට ඇතුළත් ව භික්ෂුණීන් වහන්සේ හැටියට ධර්මයෙහි හැසිරෙන්නට අවස්ථාව සලසා දුන්හ. මේ ආකාරයට භික්ෂු ශාසනය හා භික්ෂුණී ශාසනය ලංකාවේ ස්ථාපිත කිරීමෙන් පසු මෙරට ධර්මද්වීපයක් බවට පත්වෙන්නට, පත් කරන්නට අවශ්‍ය කරන මූලික පහසුකම් හා අවශ්‍යතාවයන් ඉටු කරනු ලැබූහ.

එදා දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයෙහි අටමස්ථානයන් පිහිටුවන ස්ථාන පිළිබඳ සලකුණු කර නගර සැලැස්ම හඳුන්වා දී තිබුණි. මේ ආකාරයට විහාරාරාමයන් ආරම්භ වුණි. ඉතිහාසගතව ලක් දෙරණේ අලුත් නම්‍යතාවයක් ඇති විය. ඒ කැලෑබදව වන සතුන් ජීවත් වූ ගල්ගුහාවන් සුපේෂල ශික්ෂාකාමී මහ රහතන් වහන්සේ වැඩ සිටින බවුන් වඩන සෙනසුන් බවට පරිවර්තනය වූයේ ය. මහා කළු ගල් කරුණාව,දයාව, මෛත්‍රිය පිළිබිඹු කරන නිසංසල ශාන්ත බුදුපිළිම වහන්සේ බවට පත් විය. පොලොන්නරුව ගල්විහාරය, අනුරාධපුර සමාධි පිළිම වහන්සේ, අවුකන පිළිම වහන්සේ නෙත ගැටෙන විට ඒ බව මනාව පැහැදිලි වේ.

ඒ ආකාරයෙන් නිර්මාණයන් බිහි කළේ අපේ හෙළ කලාකරුවා ය. ඒ ආකාර නිර්මාණ ලංකාවේ තැන් තැන්වල බිහි වූයේ ඒ ඒ ස්ථානවල ආරණ්‍යගතව, ග්‍රාම ගතව පූජනීය මහා සංඝරත්නය වැඩ සිටි නිසයි.

ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩම කළ පසු අෂ්ඨඵලරුහ, දෙතිස්ඵලරුහ බෝධින් වහන්සේ ලංකාවේ විවිධ ස්ථානයන් හි රෝපණය කළහ. ඒ වගේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවන් රෝපණය කර පූජනීය ස්ථාන ගොඩනැඟුණි. ආගමික මධ්‍යස්ථාන ඉදි වුණි. ඒවා ඉදි වුණේ මහා සංඝරත්නය වැඩ සිටි ස්ථානයන් හි ය. එයින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ මේ මුළු මහත් ලංකා ධරණි තලය තුළ ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරවමින්, ධර්ම දේශනාවලට අනුව ගැමි ජනතාවගේ ජීවිත හසුරුවමින් මහා සංඝරත්නය වැඩ සිටි ආකාරයයි.

වැවයි – දාගැබයි, ගමයි – පන්සලයි යන සංකල්පය මත බෞද්ධ සිද්ධස්ථාන ඇති විය.

ඒවා පුදුමාකාර නිසංසල පරිසරයන් විය. එක් පැත්තකින් වැව හැදුණි. වැවට පහළින් කුඹුරු සෑදුණි. අනෙක් පසින් විහාරස්ථානය ගොඩනැඟුණි. විහාරස්ථානයට පහළින් ගම ගොඩනැඟුණි. මේ ආකාරයෙන් ධර්මයට අනුව ගොඩනැඟුණු ජීවිත සකස් වුණේ මිහිඳු මහ රහතන් වහන්සේ ගේ වැඩමවීමෙන් පසුව ය.

එදා ඒ මිස්සක පර්වතය මුදුනෙන් ගලා ගිය ධර්ම ගංගාව මුළු මහත් ලංකාව ම ආවරණය වන පරිදි සිව් දිශාවට ම ගලා ගිය බව නො රහසකි. සිව් දිශාවට ම ගලා ගිය මේ ධර්මය, ධර්ම මධ්‍යස්ථානය, ධර්මය බෙදා දෙන තැන් හැටියට විහාරස්ථාන ඉදිවෙමින් මහා සංඝරත්නය එහි වැඩ විසූහ. ඒ ගමේ ඒ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ධර්මය උගන්වමින් ධර්මයට අනුව හැසිර වූ නිසා මුළු මහත් ලංකාව ම ධර්මද්වීපයක් බවට පත් විය.

එපමණක් නොව එහි මහා ප්‍රතිඵලයක් ලෙස අපේ ජනතාවගේ දෛනික ජන ජීවිතය ආගමානුකූලව සරලව නිර්මාණය වුණි.

එලෙසම ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙස හෙළ බොදුනුවන්ගේ ජීවිතය සියලු චාරිත්‍ර ධර්ම පදනම් වූයේ ධර්මයට අනුවයි. අපට ආහාර ගන්න පිළිවෙළක් තිබේ. අඳින – පළඳින පිළිවෙත් තිබේ. කතා – බහ කරන පිළිවෙළක් තිබේ. අපේ මව්පියන් දරුවන් උස් මහත් කරන විට පුංචි අවධියේ සිට උගන්වන්නේ ඒ සිරිත් විරිත් ය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මයෙන් මේ සමාජය ඒකාලෝක වූ ආකාරය ඉතා වැදගත් ය. හෙළයා දන් දීමට හුරු පුරුදු වුණි. සාමූහිකව වැඩ කරන්න හුරුපුරුදු වුණි. එකමුතුව ජීවත්වෙන්න, සාමකාමීව ජීවත්වෙන්න හුරු පුරුදු වුණි. සාමකාමී සමාජයක්, ගැටුම් විරහිත සමාජයක්, ඊර්ෂ්‍යා නොවන සමාජයක්, කරුණාව, දයාව, මෛත්‍රිය, ලෙන්ගතුකම පැතිරුණු සමාජයක්, එකට ජීවත්වූ සමාජයක් එදා අපට දකින්නට ලැබුණි. ඒ මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මයෙන් මේ සමාජය ඒකලෝක වූ ආකාරයයි.

අපේ සමාජයේ කියමනක් තිබුණා “නව යොවුන් තරුණියකට සූ සැට බරණින් සැරසී දකුණේ දෙවුන්දර තුඩුවේ සිට උතුරේ පේදුරුතුඩුව දක්වා තනිපංගලමේ අමාවක පෝදා රාත්‍රී කාලයේ ගමන් කිරීමට පුළුවන්කම තිබූ බව, කිසිදු ආකාරයේ හිංසනයකට, පීඩනයකට, විපතකට ඇය ගොදුරු නොවුණි.

එනම්, සොරකමකට ලක් වූයේ නැත. අපයෝජනයකට ලක්වුණේ නැත. දූෂණයකට මුහුණ පෑවේ ද නැත. කිසිදු ආකාරයක ශාරීරික පීඩාවකට පත්වන්නේ ද නැත. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනා තුළින් හික්මුණූ ජනතාවක්, ජීවිත සකස්කර ගත් පිරිසක් සිටි බවයි මෙයින් පැහැදිලි වන්නේ.

මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනක වැඩම කර එදා ලංකාවේ ඇති කළ ඒ සාමකාමී පරිසරය, සාමකාමී සමාජය, භේද බින්න නොවූ සමාජය, කිසිදු බියක් සැකයකින් තොරව ජීවත් වූ ඒ සමාජය නැවත අපට ඇති කර ගන්නට හැකි නම් එයයි වාසනාව.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන සිහි කරන පොසොන් පුර පසළොස්වක පෝය දවසේ ලංකාවාසී හැම දෙනාම මිහිඳු මහ රහතන් වහන්සේගේ පණිවුඩය හදවතට ගනිමු. එසේ ගෙන සොරකම, වංචාව, බොරුව නැති, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර, කාමමිච්ඡාචාරයෙන් දූෂණ අපහරනයෙන් තොර සාමකාමී සමාජයක් බිහිකරමු.

ඒ වගේම අන්‍යය ජීවිතවල ඇති වටිනාකම අගයමු. සැමගේම නිදහස, නිවහල් බව, බියෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනඟා ගන්නට අප සැමට ම හැකියාව පුළුවන්කම තිබෙනවා නම්, අධිෂ්ඨානය ශක්තියක් ඇති කර ගන්නවා නම්, එයයි පොසොන් උදාවේ අප කරනු ලබන හොඳ ම අධිෂ්ඨානය. එයයි මිහිඳු මහ රහතන් වහන්සේට කරන ලොකු ම ගෞරවය.

එදා මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් මිහින්තලා පව්වෙන් පැන නැඟි ධර්මාලෝකය, ධර්මය නමැති ගංගාව මුළු මහත් ලංකාධරණී තලයේ පැතිරී ගලා ගියේ ය. ඒ පැතිරීමේ ප්‍රතිඵලය අපි භුක්ති වින්දෙමු. නැවතත් ඒ තත්ත්වය උදාකර ගනිමින් සතුටෙන් – සාමයෙන් ජීවත්වන්නට අවශ්‍ය්‍ය කරන පරිසරය ගොඩනඟා ගනිමු.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]