සැනසීමෙන් ජීවත් වන්න
පුරුදු කළ යුතු
සතර සංග්‍රහ වස්තු
අයන්ති විතාන
සමාජයේ ජීවත් වන ස්ත්‍රී - පුරුෂ, ගිහි - පැවිදි සෑම පුද්ගලයකුට ම මෙලොව ජීවිතය
සැනසීමෙන් ගත කිරීමට උපකාර වන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
පළමුවැන්න දානයයි. දානය යනු දීමයි. පරිත්‍යාගය යනුවෙන් ද මෙය හැඳින්වේ. දානය යන
වචනය කියත් ම අපට සිහිපත් වන්නේ ආගමික මුහුණුවරකින් කෙරෙන පින්කමක් ලෙස ය. ආම්ෂ
දානය, අභය දානය, ධර්ම දානය යනුවෙන් ත්‍රිවිධාකාර වේ.
ආමිෂ දානය යනු ආහාර වස්ත්‍ර ආදිය දීම ය. අභය දානය ලස සැලකෙන්නේ මරන්නට සිටි සතුන්
බේරාගැනීම, කූඩුවල සිරකර සිටින සතුන් නිදහස් කිරීම, ගින්නෙන්, දියෙන්, සතුරන්ගෙන්
විපත් සිදු වන්නට සිටින පුද්ගලයන් ඒවායින් බේරා ගැනීම හා ආරක්ෂා කිරීම ආදියයි.
ලාභ, කීර්ති, ප්‍රශංසා ආදිය ගැන නොතකා පින් පව් හඳුන්වා දෙමින් දහම් දෙසීම ධර්ම
දානයයි. ධර්ම දේශකයාණන් වහන්සේ ලවා ධර්මය දේශනා කරවීම, බණ පොත් ලියැවීම, හා ඒවා
මුද්‍රණය කර පූජා කිරීම, බණ අසන්නට අකැමැති අය ඒ සඳහා උනන්දු කරවීම, ධර්මය හදාරන
අයට නොමිලයේ බණ පොත් ලබාදීම ආදී සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා කරන කටයුතු ධර්ම
දානය ලෙස හැඳින්වීමට හැකි ය.
දානයන් අතුරෙන් මෙම ධර්ම දානය උසස්ම දානය වේ.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසෝ ජිනාති
සබ්බ රතිං ධම්ම රතී ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති
යනුවෙන් ධර්ම දානය සියලු දානයන්ට වඩා උසස් බව බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳු ඇසු
ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වදාළහ.
පාලකයා - රටවැසියාට යහපත අභිවෘද්ධිය උදාකිරීමට පන්ති භේදයකින් තොරව කරන දීමනා ද
දානය ලෙස නම් කළ හැකි ය. සෞඛ්‍ය සේවා, අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම, ආහාරපාන,
ඇඳුම්-පැළඳුම් සැපයීම මින් අදහස් කෙරේ. කෘෂි කර්මාන්තයට අවශ්‍ය පොහොර බීජ වර්ග සහන
මිලට සපයා දීමත්, සුදුසුකම අනුව රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීමත් රජය මඟින් කළ
යුතු මා හැඟි දානයි.
මිනිසාගේ මූලික අවශ්‍යතා වශයෙන් සැලකෙන්නේ ආහාර, නිවාස, ඇඳුම් - පැළඳුම්, බෙහෙත්
ආදියයි. මිනිසා දිවා රෑ වෙහෙසෙන්නේ ද මේවා සපුරා ගැනීමටයි. එනිසා රට පාලනය කරන්නන්
මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කිරීම මහඟු දානමය පින්කමකි.
අලෝභ, අදෝෂ, අමෝහ යන හේතුවලින් යුක්ත ඒ මසුරුමල සෝදාහරිමින් දානයක් පිළියෙල කරන
අවස්ථාවේ, ආරම්භයේ සිටම සතුටු සිතින් එය කිරීමත්, දීමෙන් සිත පහදවා ගැනීමත්, ඉන්
පසුව ද තමා දුන් දානය ගැන සිතමින් සතුටු සිත් ඇති කර ගැනීමත් කළ යුතු ය. ඉන් ලැබෙන
ඵලය අති මහත් ය. වස්තුව ලැබීම, සෑම කෙනකුම ඔහුගේ ආශ්‍රය පි‍්‍රය කිරීම, කීර්තියට
පත්වීම, සතුටු සිතින් ජීවත් වීම, මිතුරන් ඇතිවීම සහ මරණින් මතු සුගතියෙහි ඉපදීම
දානයේ ආනිශංසයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවැනි කරුණ නම් පි‍්‍රය වචනයයි. එය අප කාගේත් සිත්
සතන් පිනවන්නකි. පවුලක්, රටක්, භේද භින්න වූ සමාජයක් නැවත එකමුතු කිරීමට පි‍්‍රය
වචනය මහත් පිටුවහලක් වේ. පි‍්‍රය වචනයෙහි ඕනෑම පුද්ගලයකු දමනය කිරීමේ බලයක් ඇත.
බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අපහසු පුද්ගලයන් බොහෝ දෙනකු දමනය කළේ සුභාෂිත
වචනයෙන් මෛත්‍රී සහගත වදන්වලිනි.
වචනය දෙපැත්ත කැපෙන ආයුධයක් මෙනි. එහි හොඳ පැත්තක් හා නරක පැත්තක් ඇත. සුමුදු
පි‍්‍රය ජනක මටසිලිටි වචන කතා කිරීම හොඳ පැත්ත ය. ඉන් අසන්නාගේ සිත තෘප්තිමත් වේ.
සුහදත්වය ගොඩනැඟේ. මංගල සූත්‍රයේ 'සුභාෂිතාච යාවාචා' යැයි පෙන්වා වදාළේ එයයි.
එමෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා යනුවෙන් ද දක්වා ඇත්තේ මෙයයි.
නරක පැත්තෙන් කෙරෙනුයේ මුසාවාද, පිසුනාවාචා, පරුෂාවාචා වැනි දේ කීමෙන් මිනිසුන් භේද
භින්න කිරීමයි. සිත් තැවුල් ඇතිවීම හා සතුරන් ඇති කර ගැනීමයි. අහිංසක නමැති දක්ෂ
පි‍්‍රයමනාප පුද්ගලයා අංගුලි මාල බවට පත් කළේ සිදු නොවූ දෙයක් වාර්තා කිරීමෙනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා කතා කරන දෑ පි‍්‍රය වන්නට නම් අන්‍යයන්ට මිහිරි
වීම හා පි‍්‍රය වීම, කතා කරන දෑ නිතරම සත්‍ය වීම, අනුන් කෙරෙහි මෙත් සිතින් කතා
කිරීම, සුදුසු අවස්ථාවේ දී පමණක් කතා කිරීම, සුදුසු බවයි. කරුණා පෙරදැරිව මෙත්
සිතින් පි‍්‍රය වචන කතා කරනු ඇසීමට සතුන් වුවත් ආශා කරන බව නන්දි විසාල ජාතකයෙන්
පැහැදිලි වේ.
අර්ථචර්යාව දියුණුවේ තුන්වැනි මඟයි. එය පරාර්ථය සඳහාම විය යුතු ය. පාලකයා විසින්
තමාගේ බුද්ධිය හා ශක්තිය යොදවා රටවැසියාගේ දියුණුවට හේතුවන කරුණු සිදු කරවිය යුතු
ය. එය ඔහුගේ පරම යුතුකම වෙයි. වැරැදි මඟෙහි ගිය පුද්ගලයන් සුමගට ගැනීම උතුම්
සත්පුරුෂ ගුණයකි. එමෙන්ම නැති බැරි කෙනකු හමු වූ විට ඔහුගේ තරාතිරම නොබලා පිහිට
වීමට ඉදිරිපත් වන පුද්ගලයා ද උතුම් කෙනෙකි. හැකි සෑම අවස්ථාවක දී ම කෙනෙකුට
දියුණුවීමේ මාර්ගය කියා දීමත් අගනා ගුණයකි. පුද්ගලයාගේත් සමාජයේත් අභිවෘද්ධිය තකා
කටයුතු කිරීම මින් අදහස් කෙරේ.
ජාතිය, ආගම, කුලය, වර්ණය, භාෂාව ගැන තැකීමක් නොකොට සියලු දෙනාට ම සමානව කටයුතු
කිරීම සමානාත්මතාවයි. එය මෙලොව ජීවිතය සරු කරන සතර වන කරුණයි. බොහෝ දෙනා බාහිර
පෙනුම, උගත්කම, රැකියාව අනුව වෙනස් ක්‍රමවලට සැලකීමට පුරුදුව සිටිති. එය සමාජ
සංවර්ධනයට බාධාවකි. බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ විසූ බමුණන් අතර මේ කුල භේදය
උග්‍ර ලෙස තිබිණි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් මිනිසුන් කොටස් කර
තිබිණි. බ්‍රාහ්මණයින් උසස් පුද්ගලයන් ලෙස සැලකූ අතර ශුද්‍ර ඉතා පහත් කුලය ලෙස
හැඳින්විණි. ශුද්‍ර කුලයේ අය මුණ ගැසීමත් ඉතා අසුබ දර්ශනයක් සේ සැලකූහ.
අග්ගික භාරද්වාජ බමුණා තමන් වහන්සේට වසලයා යන්නෙන් ආමන්ත්‍රණය කළ විට වසලයා යනු
කවරෙක් දැයි පහදා දුනි.
න ජච්චා වසලෝ හෝති
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
කම්මහා හෝති බ්‍රාහ්මණෝ
යනුවෙන් කෙනකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොවේ. ඔවුන් කරන ක්‍රියා නිසා
වසලයකු වන බවත් පිරිසුදු ක්‍රියා කිරීමෙන් බ්‍රාහ්මණයකු වන බවත් වදාරමින්
බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය දේශනා කළ සේක.
තමන් ඉදිරියට වඩිනා බුදුරජාණන් වහන්සේ සැඩොල් කුලයේ උපන් සුනීත තමා ගෙන යන අසුචි කද
පසෙක තබා කාණුවට බැස්සේ තමන් මුණගැසීම දෝෂාරෝපණයට කරුණක් වන හෙයිනි. බියෙනි. එහෙත්
අප මහා කාරුණිකයාණන් වහන්සේ සුනීත දෙස කරුණාවෙන් බලා “පුත සුනීත ඔබ මහණ වන්නට
කැමැති දැයි ඇසුවේ කුල භේදය පිටුදකිමිනි.”
උන්වහන්සේ කුල භේදය නොසලකා රජ නිවසටත්, බමුණු නිවසටත් පිඬු සිඟා වැඩියහ. උපතිස්ස,
කෝලිත බමුණු තරුණයන් දෙදෙනාට මෙන්ම උපාලි කරණවෑමි තරුණයාටත් එක සේ සැලකූහ. ඔවුහු
බුදු සසුනේ තනතුරු ලැබුවේ කුල භේදයෙන් තොරව ය.
බුද්ධ කාලයේ කාන්තාවට ද හිමිව තිබුණේ පහත් තත්ත්වයකි. පවුලක ගැහැනු දරුවකු ඉපදීම
පවා අසුබ දෙයක් ලෙස සැලකිණි. දිනක් කොසොල් රජතුමා බුදුන් වහන්සේ සමීපයෙහි සිටියදී
පණිවිඩකරුවකු රජතුමාට දැන්වූයේ දේවියට දියණියක ලැබුණු බව ය. මෙයින් කොසොල් රජතුමා
අසතුටට පත්වී සිටින ආකාරය දුටු බුදුන් වහන්සේ කාන්තාවකගේ අති උතුම් බව වටහා දුන්හ.
පුරුෂයාට මෙන්ම කාන්තාවට එක හා සමාන අයිතීන් තිබිය යුතු බව වදාළහ. බුදුදහම නිසා
කාන්තාවට ද උසස් තත්ත්වයක් ලැබිණි. නිවන පසක් කර ගැනීමේ භාග්‍යය ද උදාවිය.
සෑම මනුෂ්‍යයකුට ම තම අයිතීන් හා හිමිකම් ඇත. ඒ අනුව සැමට නිදහසේ සිතීමට, ක්‍රියා
කිරීමට ආගමක් ඇදහීමට නිදහස තිබිය යුතු ය. එයට බුදු දහම මඟින් ඉඩ සලසා දී ඇත.
සතර සංග්‍රහ වස්තු වශයෙන් දේශනා කළ කරුණු සතර මෙලොව ජීවිතය වාසනාවන්ත කර ගැනීමටත්,
පරලොව සුගතියෙහි ඉපදීමටත් හේතුවන බව බුද්ධ දේශනාවයි. |