වෙසක් අමාවක 2023-05-19
ප්‍රතිපත්තිගරුක වීම
අතීතයේ ලක්දිව අම්බරිය නම් විහාරයක් විය. පිංගල බුද්ධරක්ඛිත නම් තෙරුන් වහන්සේ එහි
වැඩ විසූහ. නිතර එම විහාරස්ථානයට යන එන ගොවියෙක් උන්වහන්සේගෙන් පන්සිල් සමාදන් විය.
ඒ ශීල ප්‍රතිපත්තිය උතුම් කොට ආරක්ෂා කළේ ය.
දිනක් කුඹුරේ වැඩට ගිය ගොවියාගේ ගොනුන් නැති විය. උන් සොයා ගිය ගොවියා අවසානයේ
උත්තර වර්ධමාන පර්වතය දෙසට ද ගියේ ය. මහා වනාන්තරයේ දී ඔහු පිඹුරකු විසින් වෙළා ගනු
ලැබුවේ ය. තමන් අත වූ වෑයෙන් පිඹුරාට පහර දී ගැලවී යන්නට ගොවියාට සිතුණි. එහෙත් ඒ
හා සමඟම අම්බරිය වෙහෙර වැසි බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ සිහියට නැඟුණි. සමාදන් වූ
සිල්පද මතක් වුණි. ඔහු පිඹුරා නැසීමේ අදහස වෙනස් කළේ ය. පිඹුරා වෙළුම තව තවත් තද
කරන්නට විය. ගොවියාට දැඩි වේදනාවක් දැනුණි. එය බලවත් වෙත්ම නැවත ද වෑයෙන් පහර දී
පිඹුරා මරා දමන්නට ආවේගයක් ඇති වුණි. ඒ හා සමඟම ගොවියාට තමන් සමාදන් වූ සිල්පද
සිහියට නැඟුණි. බුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ සිහිපත් වුණි. පිඹුරා මරා දැමීමේ අදහස
එවර ද ගිලිහී ගියේ ය. පිඹුරා ද සිත් සේ වෙළුම තද කරමින් සිටී. දැන් ගොවියාට දැනෙන
වේදනාව ඉවසුම් නොදෙන තරම් ය. තෙවැනි වර ද පිඹුරා මරා දමන්නට සිතීය. එහෙත් සිල්පද
සිහියට නැඟුණි. පිඹුරා මරා දමන්නට සිතෙන්නේ මේ ආයුධය මා අත වන නිසා ය. මගේ දිවි තොර
වුව ද සිල් බිඳ ගන්නට නොහැකි යැයි සිතූ ගොවියා තමන් අත වූ වෑය ඉවතට විසි කර දැමුවේ
ජීවිතය ගැන වූ ආශාව අත්හරිමිනි.
සිදු වූයේ මහා පුදුමයකි. පිඹුරා ක්ෂණයෙන් සිය ග්‍රහණය බුරුල් කළේ ය. උපාසක අතහැර
වනයට ම ඇදී ගියේ ය. ඒ සිල්පද රැකීමේ අනුසස් ය. සාන්දෘෂ්ටිකව ම ලැබූ ඵලයන් ය.
මේ කතා පුවත බෞද්ධයින් අතර නොදන්නා කෙනෙක් නොමැති තරම් ය. උතුම් තෙරුවන් සරණ ගිය,
සිල් ආරක්ෂා කරන උපාසකයකු සතු ප්‍රතිපත්තිගරුක බව මොනවට විද්‍යමාන වන මෙවැනි කතා
පුවත් දැන ගැනීමට පමණක් සීමා වූ කල වන සුගතියක් නොවේ. ඒ කතාර්ථයන් ජීවිතයට
ප්‍රායෝගික විය යුතු ය.
අද බෞද්ධයන් බොහෝ දෙනෙක් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳ දැනුමෙන් සුපෝෂිත
ය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සමාජ මාධ්‍යයන් ඔස්සේ ධර්මය පිළිබඳ
අසන්නට, කියවන්නට, දැනගන්නට ලැබේ. එසේ සන්නිවේදන මාර්ග පුළුල් වී තිබුණ ද ඉන්
ප්‍රයෝජන ගන්නා පිරිස් විරල බව කුඩා දරුවකුට වුව පසක් වන තරමට ඇතැම් තැනෙක
කනගාටුදායක හැසිරීම් දක්නට ලැබේ.
තථාගත ධර්මයට අනුව ජීවත්වන්නා ය දැහැමි පුද්ගලයකු වන්නේ. ඔහු කිසිදු අවස්ථාවක දහමට
පිටු නොපායි.
ශ්‍රී සද්ධර්මය තුළ ගිහියාට නිත්‍ය ශීලයක් හඳුන්වා දී තිබේ. ඉන් එහාට යමින්
සිඟාලෝවාද, මහා මංගල, ව්‍යග්ඝ පජ්ජ ආදී බොහෝ සූත්‍ර දේශනාවන් තුළින් මේ සමාජය තුළ
ජීවත්විය යුතු ආකාරය පහදා දී තිබේ. ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ගින්නෙන් දැවෙන සිත
අලෝභ, අදෝෂ, අමෝහ ආදී කුසල චේතනාවන්ගෙන් නිවා සනසා ගන්නා සැටි සම්බුද්ධ දේශනාවේ
උගන්වා තිබේ.
ඉදින් බෞද්ධයකුට සම්බුදු සරණ හැර, සදහම් සරණ හැර, පින්වත් සංඝරත්නයේ සරණ හැර අන්
කවර සරණක් ද? ඒ රැකවරණය ලබන්නට නම් දිවි තොර වුව ද දහමට පිටු නොපෑ යුතු ය. පෙර කී
උපාසක මෙනි. එවිට කවර විපතක් හමුවේ වුව ද ජීවිතාරක්ෂාව වියැකී නොයනු ඇත.
කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ පිරිස් දක්වා ම දහමට අනුව ජීවිතය හසුරුවා ගැනීමේ වටිනාකම
නැවත නැවත මනසට ගෝචර කළ යුතු කාලය එළඹ තිබේ. |