දියුණුවන්නාගේ රහස අප්‍රමාදී බවයි
“අප්පමාදය” නම් දාන ශීලාදී කුසලයන් සිදු කිරීමෙහි පවතින්නා වූ යහපත් සිහියයි. මෙය
ආර්ය අෂ්ඨාංග මාර්ගයෙහි දී සම්මා සති ලෙසින් හඳුන්වා දී ඇත. මෙම යහපත් සිහිය සෑම
තැනක දී ම, සෑම අවස්ථාවක දී ම පවත්වා ගත යුතු මංගල ධර්මයකි. එසේ නැතිවීම තුළ
නිර්මාණය වන්නේ ම ප්‍රමාදයයි.
ආර්ය සමාධිය හා ප්‍රඥාව වැඩීමෙන් සංවර නොකළා වූ පෘථග්ජන පුද්ගලයාගේ සිත කායාදි
ත්‍රිවිධ දුශ්චරිතයන් කෙරෙහි මෙන් ම පස්කම් සුව විඳීමෙහි ද නැමී බර වී පවතී.
දුශ්චරිත සිදු වන්නේ යමකුගේ සිත සිහියෙන් තොර වූ විටය. එමෙන් ම ඒ පුද්ගලයා පස්කම්
රසයෙහි ඇලීමෙන්, ගැටීමෙන් දෙලොව ම මහත් වූ දුකට පත් කර ගනී. එහෙයින් ප්‍රමාදය දෙලොව
ම පරිහානියට ගෙන යන පාප ධර්මයක් සේ වටහා ගත යුතු ය. එමෙන්ම අප්‍රමාදය දෙලොව
අභිවෘද්ධිය සලසාලන ආර්ය ධර්මයක් බව ද හොඳින් අවබෝධ කර ගත යුතු ය.
ආහාර, වස්ත්‍රාභරණ, යාන – වාහන, මිල මුදල් ඇතිව, සිහි නුවණින් යුතුව, නොයෙක් සිප්
සතර ඉගෙන යහපත් වූ දරු පවුලක් ඇතිව, බොහෝ නෑ – හිතමිතුරන් ඇතිව, ගරු බුහුමන් ලබමින්
සත්පුරුෂ ගුණධර්ම ඇතිව ජීවත්වීමට ලැබීම මෙලොව දියුණුවයි.
මරණින් මතු අපායට නොවැටී සුගතියක උපත ලබා සම්පත්තීන් හිමි කර ගනිමින් සතුටු වන්නට
ලැබීම පරලොව දියුණුවයි.
නුවණැති පුද්ගලයා මේ දෙයාකාර වූ දියුණුව ම ලබා ගන්නේ ය. නුවණ මද තැනැත්තාගේ මෙලොව
ජීවිතය අභාග්‍ය සම්පන්න ය. ආහාර, ඇඳුම් – පැළඳුම්, වාසස්ථාන අවශ්‍ය තරම් නොලබන්නේ
ය. ණයගැති ය. එහෙයින් දුකින්ම කල් ගෙවයි. පව්කම්හි බිය නොදැකීම නිසා මරණින් මතු ද
අපායට පැමිණේ. මෙලෙස දෙලොවින් ම පිරිහේ.
ඇතැමෙක් කළ යුතු දෙය අමතක කරති. ඇතැමෙක් මෙලොව සැප විඳීමට පමණක් බලාපොරොත්තු වෙති.
ඒ සඳහා පව පින නොසලකති. එසේ බලාපොරොත්තු වන්නා මෙලොව යම්කිසි භෞතික සැපයක් ලැබුව ද,
පරලොව පිරිහීම නම් නියතය.
වැරැදි මාර්ගයකින් ලබන මෙලොව දියුණුවත් අවදානම් ය. වැරැදි මාර්ගයකින් ලබන දියුණුව
ආපසු පෙරළා එන කල්හි මුළු කාලය තුළ ම හරි හම්බ කරගත් ධනය විනාශයට පත්වේ. සමහරවිට
ජීවිතය පවා නැති වේ. මෙලොව වශයෙන් සැප සඳහා කරන පාපී ක්‍රියා නිසා ඔහු නරකයට ගෙන
යයි. අවුරුදු දහස් ගණනින් අපා දුකක් විඳින්නට සිදුවෙයි. සිය ගණන් ජාතීන්හි පේ‍්‍රත
බවට, තිරිසන් බවට පැමිණ දුක් විඳින්නට ද සිදුවේ.
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නේ ඉතාමත්ම කලාතුරකිනි. එය සිතා ගැන්ම පවා අපහසු
ය. මිනිස් ජීවිතයක් ලැබීම ඒ සා දුර්ලභ ය. එසේ ලැබූ ජීවිතයත් ඉතා කෙටි කාලයකි. එහෙත්
ඒ මනුෂ්‍යයාට පරලොවට අයත් වූ කාලය අවුරුදු ගණනින් තබා කල්ප ගණනින් ද දැක්විය නොහැකි
දීර්ඝ වූ කාලයකි. එබැවින් අනාගතයේ අපායට යන්නට නොවන පරිදි කටයුතු සිදු කරගත හොත්
මෙලොව ජීවත්වන කෙටි කාලය දුකින් ජීවත් වූවාට කම් නැත. කෙටි කාලයක සැපයක්, සතුටක්
හේතුවෙන් දීර්ඝ කාලයක් විඳිය යුතු දුකක් අත්පත් කර ගන්නේ ඇයි?
මනසින් දියුණුවක් ලැබූ තැනැත්තා සුළු සැපයක් හේතුවෙන් විශාල සැපයකට හානියක් කර
නොගනියි. මනස දියුණු ඇත්තන්ගේ ස්වභාවය නම් විශාල සැපය නිසා සුළු සැපය අත්හැරීම ය.
පරලොව පිළිබඳ කාලය ඉතා දීර්ඝ බැවින් මෙලොව සැපයට ද, මෙලොව දියුණුවට ද වඩා පරලොව
යහපත පරලොව දියුණුව ගැන බැලිය යුතු ය. පරලොව විඳින්නට වන මහා පරිහානිය නො බලා මෙලොව
ස්වල්ප වේලාවකට ලැබෙන සැපය සඳහා අකුසල් කිරීම හරියට ශීත කාලයේ දී ජීවත්වන ගෙට ගිනි
තබා ගිනි තැපීම වැනි අනුවණකමකි. ඒ නිසා මෙලොව කොපමණ මහත් වූ දෙයක් සඳහාවත් මරණීන්
මතු අපාගත වන්නට සිදුවන දෙයක් නො කළ යුතුයි.
මිනිසාට මෙලොව සැපය ද මෙලොව දියුණුව ද අවශ්‍යයයි. ඒ සැප හා දියුණුව පරලොව පිරිහීමට
හේතු නො වන පරිදි නුවණින් සිදුකර ගත යුතු ය.
මෙලොව දියුණුව මෙන් ම පරලොව දියුණුව ලබා ගන්නා වූ මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨ පුද්ගලයා ය.
නියම මනුෂ්‍යයා ය. එම ජීවිතය ම සඵල වූ හිස් නොවූ ජීවිතයක් වන්නේ ය. නුවණැත්තන්ගේ
ප්‍රශංසාවට භාජනය වූ ජීවිතයක් වන්නේ ය. බුද්ධාදි උතුමන්ගේ වර්ණනාවට පාත්‍ර වූ උතුම්
ජීවිතයක් වන්නේ ය.
මෙලොව, පරලොව දෙලොව දියුණුවට කැමැති වුවත් දියුණුූවේ නියම මාර්ගය, දියුණුවේ රහස තත්
වූ පරදි නොදැන, නොමඟ ගමන් කළහොත් ඒ දියුණුවට පැමිණිය නොහැකි වන්නේ ය.
ඒ නිසා දෙලොව දියුණුව ප්‍රාර්ථනා කරන අය විසින් දියුණුවේ නියම මාර්ගය සොයා ගත යුතු
ය. දියුණූවේ එකම මාර්ගය අප්‍රමාද බව හෙවත් කුසල් කිරීමේ නොපමා බව යැයි දත යුතු ය.
- දීපා පෙරේරා |