[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

රෑ දුම් දමන දහවල ඇවිළෙන තුඹසේ කතාව

රෑ දුම් දමන දහවල ඇවිළෙන තුඹසේ කතාව

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහාරයේ වැඩ සිටි කාලයේ දී අන්ධ වනයේ වැඩ සිටි කුමාර කස්සප තෙරුන් වහන්සේ හමුවීමට පැමිණි දෙවි කෙනෙක් පිළිබඳ කතා පුවතක් මජ්ක්‍ධිම නිකායේ වම්මික සූත්‍රයේ සඳහන් වෙනවා.

තමන්ට පැමිණි එක්තරා ගැටලුවක් නිරාකරණය කර ගැනීමේ අදහසින් මධ්‍යම රාත්‍රියේ දී කුමාර කාශ්‍යප තෙරුන් වෙත පැමිණි එම දේවතාවා කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ ඉදිරියේ එකත්පස්ව සිටිමින් මේ ආකාරයෙන් කරුණු විමසා සිටියා.

“ස්වාමීනී මේ තුඹස රෑ දුම් දමයි. දවල් ඇවිළෙයි” මෙසේ කීවිට බ්‍රාහ්මණයෙක් සුමේධය,අවියකින් සාරව යි කීය.

සුමේධ ආයුධයකින් සාරයි. හේ දොර අගුලක් දැක දොර අගුලකැ යි කිය යි.

බමුණා දොර අගුල ඉවත දමා,අවිය ගෙන නැවත සෑරීමට කියයි. “සුමේධ සාරයි. පිම්බෙන මැඩියෙකැ”යි කියයි. මැඩියා ඉවත ලා නැවත සෑරීමට බමුණා කියයි.

සුමේධ එසේ කරයි. දෙමංසන්ධියෙකැ යි කියයි. දෙමංසන්ධිය අස්කර නැවත සෑරීමට බමුණා කියයි. සුමේධ එසේ කර අළු පෙරහනක් දැක ඒ බව දන්වයි. අළු පෙරහන ද ඉවත්කර නැවත සෑරීමට බමුණා උපදෙස් දෙයි. සුමේධ නැවත සාරන්නේ ඉදිබුවකු දැක “ඉදිබුවෙකැ” යි කියයි. බමුණා ඉදිබුවා ඉවත්කර නැවත සෑරීමට කියයි. සුමේධ නැවත සාරන්නේ මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දැක ඒ බව දන්වයි.

ඒවා ඉවත් කර නැවත සෑරීමට බමුණා නියම කරයි. නැවත සාරන සුමේධ මස් වැදැල්ලක් දැක ඒ බව දන්වයි. බමුණා මස් වැදැල්ල ඉවත්කොට ඉදිරියට සෑරීමට කියයි.

සුමේධ එසේ සාරන්නේ නාගයකු දැක “නාගයෙකැයි” කියයි

“නාගයා සිටීවා, නාගයාට හිරිහැර නොකරව, නාගයාට නමස්කාර කරව“ යි බමුණා කියයි.

මේ ආකාරයෙන් කුමාර කාශ්‍යප තෙරුන්ගෙන් විමසූ කරුණු බුදුරජාණන් වහන්සේට දන්වන ලෙසත් එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳ ලබා දෙන පිළිතුර මතක තබා ගන්නා ලෙසත් කුමාර කාශ්‍යප තෙරුන්ගෙන් ඉල්ලීමක් කළ දේවතාවා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ස්වාමීනී ,තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයකුගෙන් හෝ මේ සසුනෙන් අසා දැන පවසන්නකු හෝ හැර මුළු සදේවක ලෝකයෙහි මේවා විස¼දීමට සමතෙක් ඇතැයි මම නොසිතමි යි යනාදී වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණා.

දිව්‍ය පුත්‍රයාගේ ඉල්ලීම පරිදි කුමාර කාශ්‍යප තෙ‌රුන් වහන්සේ ද බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරමින් දිව්‍ය පුත්‍රයා අසා සිටි ප්‍රශ්න එකින් එක නිරාකරණය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නට වුණා.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස තුඹස නම් කුමක්ද? රෑ දුම් දැමීම නම් කුමක් ද? දහවල් ඇවිළීම නම් කුමක්ද? බමුණා නම් කවරෙක් ද? සුමේධ නම් කවරෙක් ද? ආයුධ නම් කවරෙක් ද? සෑරීම නම් කුමක් ද? දොර අගුල කුමක්ද? මැඩියා කවරෙක් ද? දෙමංසන්ධිය කුමක් ද? අළු පෙරහන කුමක් ද? ඉදිබුවා නම් කවරෙක් ද? මස්කපන කැත්ත හා මස් ලොඹුව නම් කුමක් ද? මස් වැදැල්ල නම් කුමක් ද? නාග රාජයා නම් කවරෙක් ද?

ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළ එම ප්‍රශ්න කුමාර කාශ්‍යප තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දෙමින් වදාරනු ලැබුවේ

මහණ, තුඹස යනු මව්පියන්ගෙන් හටගත්, කෑම්බීම්වලින් වැඩුණා වූ ,නිත්‍ය නොවන්නා වූ, සුවඳ ගැල්වීම්, ඉලීම්, පිරිමැදීම් ආදියෙන් පෝෂණය කළ යුතු වූ කැඩෙන, බිඳෙන, වැනසෙන ස්වභාවය ඇත්තා වූ සතර මහා භූතයන්ගෙන් හට ගත්තා වූ ශරීරයට කියන නමෙකි.

රාත්‍රියෙහි දුම් දැමීම නම් දවල් කළ යුතු වැඩ ගැන රෑ කල්පනා කරමින් සිටීමයි. රෑ කල්පනා කරමින් සිටි දේවල් දවල් කාලයෙහි කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ ක්‍රියාත්මක කිරීම දවල් ඇවිළීම නම් වේ.

බ්‍රාහ්මණයා නම් තථාගතයන් වහන්සේට නමෙකි. සුමේධ යනු යක්ෂයාට නමෙකි. ආයුධය යනු ආර්යයන්ගේ ප්‍රඥාව ය. වීර්යවන්තව ක්‍රියා කිරීම සෑරීමයි.

දොර අගුල යනු අවිද්‍යාවයි. ආයුධය නම් ආර්යයන්ගේ ප්‍රඥාවයි. මෙහෙදී ආර්ය මාර්ගය නමැති ආයුධය ගෙන වීර්යයෙන් අවිද්‍යාව ඉවත් කරව යන්න ආයුධයෙන් සාරා දොර අගුල ගලවා දමන්නැයි කීමෙන් අදහස් කරන ලදී.

පිම්බෙන මැඩියා නම් බලවත් ක්‍රෝධයයි. සුමේධය මැඩියා ඉවත් කරවයි යන්නෙන් ආර්ය මාර්ග ඤාණයෙන් බලවත් ක්‍රෝධය නැතිකරව යනු අදහස් කෙරේ.

‍දෙමංසන්ධිය නම් විචිකිච්ඡාවයි. සුමේධය ආයුධයෙන් සාරා දෙමංසන්ධිය උපුටා දමන්නැයි යනු මාර්ග ප්‍රඥාවෙන් විචිකිච්ඡාව නැසිය යුතු බව පැවසූ අන්දමයි.

අළු පෙරහන ඉවත ලනු යනු කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ඡ, විචිකිච්ඡා දුරු කරන්න යන්නයි.

රූප ,වේදනා,සඤ්ඤා ,සංඛාර,විඤ්ඤාණ යනු උපාදාන ස්කන්ධ පස ඉදිබුවා යන්නෙන් අදහස් කෙරේ. ඉදිබුවා ඉවත් කරවයි කීමෙන් ආර්ය මාර්ගයෙන් පංචස්කන්ධය නැති කරව යන්න ඉගැන්වේ.

මස් කපන කැත්ත හා මස් ලොඹුව යන්නෙන් පංච කාමය දැක්වේ. ඇසින් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ, රූපය, කනින් ඇසිය යුතු එසේ ම ඉෂ්ට වූ ශබ්දය, නැහැයෙන් දත යුතු වූ ඉෂ්ට වූ ගන්ධය, දිවෙන් දත යුතු එසේම වූ රසය, කයින් විඳිය යුතු වූ එසේ එසේම වූ පහසය යන පස්කම් ගුණ නිරූපණය වේ. මස් කපන කැත්ත හා මස් ලොඹුව ඔසවාලව යන්නෙන් පංච කාම ගුණය දුරු කරව යන අදහස් කරයි.

මස් වැදැල්ල යනු නන්දි රාගයට නමකි. මස් වැදැල්ල ඉවත ලෑම නම් නන්දි රාගය දුරු කිරීමයි.

නාගරාජයා යනු නිකෙලෙස් වූ රහතන් වහන්සේ ය. නාගයා සිටීවා. නාගයා නොගසව, නාගයාට නමස්කාර කරව යනු රහතන් වහන්සේට නමස්කාර කරව යනුයි.

ඉහත සඳහන් ආකාරයට දෙවි කෙනකු විසින් කුමාර කස්සප තෙරුන් මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේගෙන් අසා පැහැදිලි කර ගත් බුද්ධ දේශනාවට කුමාර කස්සප තෙරුන් වහන්සේ බොහෝ සේ සතුටට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේට දේශනා කළ මෙම ධර්ම කාරණා මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වම්මික සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සිංහල මැදුම් සඟිය ඇසුරිනි.

වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]