[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

යහපත් ඇසුර යහපත ම ගෙනදෙයි

යහපත් ඇසුර යහපත ම ගෙනදෙයි

රහතන් වහන්සේ වැඩියෙන් ම වැඩ සිටි යුගයක් තමයි අනුරාධපුර යුගය කියන්නේ. මේ කාලයේ ශ්‍රී ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධියට පත් වූ ජනපදයක් තිබුණා. සුරට්ඨ ජනපදය කියලා.

ජීවන තත්ත්වය අතින් ගොඩක් හොඳ වගේම ගුණ ධර්මවලින් පොහොසත් ජනතාවක් සිටීම මෙයට හේතුවක් වුණා. මේ ජනපදයේ තිබුණා උපසිංහ විහාරය නමින් විහාරයක්. එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගේ ධර්මෝපදේශත් මෙයට බලපෑවා.

දවසක් එක් සොරකුට හිතුණා මේ විහාරය බලන්න යන්න. ඔහු සංඝයා වහන්සේ අඩු අවස්ථාවක් බලලා විහාරයට ගොඩ වුණා. බුද්ධ මන්දිරයටත්, දාගැබ් මළුවටත්, බෝධීන් වහන්සේ සමීපයටත් ගිහින් සැදැහැති බෞද්ධයකු වගේ නමස්කාර කළා. දෙවැනියට කළේ ආරාමයේ අවට සෝදිසි කරලා බලන එක. ඔහුට දකින්න ලැබුණා විශාල දාන ශාලාවක්. භික්ෂූන් වහන්සේ අඩුවෙනකම් ඉඳලා හෙමින් හෙමින් දාන ශාලාවට ඇතුළු වුණා. විශාල ලෝහ භාජනයක් ශාලාව මැද, ඒක බලන බලන අතින් බබළනවා. මෝස්තර කැටයම්වලින් යුක්ත යි. මේකේ වටිනාකම කියා නිම කරන්න බෑ. කොහොම හරි මේ භාජනය අරගෙන යන්න තියනවා නම් හොඳයි. ඒත් ගිහියකු විදියට නම් කවදාවත් මේක අරගෙන යන්න නම් ලැබෙන්නේ නෑ. කරන්න තියන හොඳම දේ තමා මේ විහාරයේ මහණවෙලා මේක අරගෙන යාමයි. එසේ කල්පනා කර ප්‍රධාන තේරුන් වහන්සේ හමුවෙලා

‘ස්වාමීනි, මම ගිහි ජීවිතය ගැන බොහෝ ම කලකිරීමට පත් වෙලා ඉන්නේ. මා කෙරෙහි අනුකම්පා කර සසරෙන් එතෙරවීම පිණිස මට පැවිද්ද ලබා දෙන්න’යි ඉල්ලා සියා.

තෙරුන් වහන්සේත් තවදුරටත් විස්තර දැනගෙන පැවිදි කළා. හැම වෙලේම මතක් වෙන්නේ, කල්පනා කරන්නේ විශාල ලෝහ භාජනය සොරකම් කර ගන්නා උපක්‍රමයක් ගැනයි. මෙහෙම නිතර නිතර කල්පනා කරන, හුදකලාව ඉන්න මේ භික්ෂුව ගැන හොයා බලන්න උපාධ්‍යායන් වහන්සේ කල්පනා කළා. දවසක් තමන් වහන්සේගේ කුටියට වැඩම කරවාගෙන.

‘ඔබ දැන් බුද්ධ ශ්‍රාවකයෙක්. සම්බුදු සසුනට ඇතුළත් වුණහම වීර්යවන්තව භාවනා කරන්න ඕන. ධර්මය අධ්‍යයනය කරන්න ඕන. මම කියන විදිහට වැඩ කරන්න’යි ඉතා කාරුණික වදන්වලින් ආමන්ත්‍රණය කරලා උපදෙස් දුන්නා.

ඔහු ඒ කිසිවක් ගණන් ගත්තේ නෑ. එතැනදීත් කළේ තමන්ගේ අදහස ඉටු කර ගන්න ක්‍රමයක් හිතන එකයි. තවත් දවසක් මේ විදිහට ම කතා කරලා ධර්මාවවාද වගේම භාවනා කමටහන් දුන්නා. එදාත් ඒවා ගණනකට ගත්තේ නෑ. මෙහෙම මාස ගණනක් උත්සාහ කළා. ලෝහ භාජනය සොරකම් කරගෙන පිටවෙන්න. ඒත් පුළුවන්කම ලැබුණේ නෑ.

උත්සාහය අත්නොහැරම අවුරුද්දක් ගත කළා. එහෙත් පුළුවන්කමක් ලැබුණේ ම නෑ. මේ කාලය පුරාවට ම උපාධ්‍යායන් වහන්සේ ඔහුට කරුණාවෙන් ධර්මය කියා දුන්නා. භාවනාව පුරුදු කළා.

තවත් දවස් කිහිපයක් ගත වෙන කොට හැමෝම පුදුම කරමින් හැමදාම උදේටත්, දවාලටත්, සවසටත් මේ ලෝහ පාත්‍රය ළඟ විශාල මල් වට්ටියක් තබා එයට වන්දනා කරන්න පටන් ගත්තා. මේ පුරුද්ද සතියක්, දෙකක්,තුනක් වශයෙන් මාස ගණන් ගත වුණා. උපාධ්‍යායන් වහන්සේ එයට හේතු විමසුවා. එහෙත් උත්තරයක් දුන්නේ නෑ. මෙහෙම හැමදාම පාහේ එක් අයෙක් හෝ මේ කාරණයට හේතු විමසුවත් කවදාවත් ඒකට උත්තර දුන්නේ නෑ. දායකයිනුත්, අවට විහාරවල භික්ෂුන් වහන්සේත්, මේ ගැන විමසන්න පටන් ගත්තා.

වැඩිහිටි භික්ෂුන් වහන්සේ උපදෙස් දුන්නා. ‘ඇවැත්නි, ඔබ මේ කරන ක්‍රියාව වැරැදියි. බුදුන් වහන්සේ වැඩ සිටින විහාරයට හෝ දාගැබ් මළුවට ගිහින් හෝ බෝධීන් වහන්සේ වෙත ගිහින් මේ මල් පූජා කරන්න. මේ ලෝහ පාත්‍රයට මේ වගේ දෙයක් කරන්න එපා. එය බුදුන් වහන්සේ අනුදැන වදාළ දෙයක් නොවෙයි’යි කියමින් අවවාද අනුශාසනා කළා.

නමුත් මේ භික්ෂුව අපවත්වෙන්න ඇදට වැටිලා ඇවිද ගන්න බැරි වෙනකම්ම මේ කටයුත්ත නො නවත්වා නො කඩ කොට කරගෙන ගියා.

දිනක් තමන් වහන්සේගේ ආයු කාලය අවසන් බව හොඳින් ම දැනගෙන විහාරයේ අනෙක් භික්ෂූන් වහන්සේලාටත්, දායකයින්ටත්, හිතවතුන් සියලු දෙනාටත් ඇසෙන සේ ‘බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේත්, ආර්ය මාර්ග ප්‍රතිපදාවේත් යම් සැකයක් යමෙකුට තියනව නම් මගෙන් විමසා දැනගන්න. ඒ හැම කරුණක් ම හොඳින් පැහැදිලි කර දෙනවා’යි සිංහනාදයක් කළා.

මේක අහපු විහාරවාසී තෙරුන් වහන්සේලාත්, දායකයිනුත්, හිතවතුනුත් ඉක්මනින්ම එකතු වුණා. තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. හැමෝටම ඕනකම තිබුණේ එකම ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න. ඉතින් තෙරුන් වහන්සේ සමීපයට පැමිණි හැමෝම

‘ස්වාමීනි, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ගැනත්, ආර්ය ප්‍රතිපදාව ගැනත් දැන ගන්න පුළුවන්. එහෙත් ඔබ වහන්සේ පිරිනිවන් පෑවායින් පසුව අහල දැනගන්න කෙනෙක් නැති ප්‍රශ්නයක් තියනවා’යි කියා සිටියා.

තෙරුන් වහන්සේ කියා සිටියා එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් මම එයට පිළිතුරු දිය යුතුම වෙනවා. තිබෙන ප්‍රශ්න අහන්න’යි නැවතත් කියා සිටියා. හැමෝම වෙනුවෙන් එක් භික්ෂුවක් තෙරුන් වහන්සේට වන්දනා කරලා

‘ස්වාමීනි, වසර ගණනාවක් ම ගෙවිලා ගියා. එහෙත් ඔබ වහන්සේ ඇඳට වැටිලා ඇවිද ගන්න බැරිවෙනකම්ම තුන්වතාවක් දාන ශාලාවේ ලෝහ පාත්‍රයට මල් පූජා කර වන්දනා කරනවා. ඒකට හේතුව අද පහදා දෙන්න’යි ඉල්ලා සිටියා.

පින්වත් ස්වාමීනි, පින්වත් ඇවැත්නි, පින්වත් දායකයිනි, මම අද එයට හේතුව පහදලා දෙන්නම්. මීට වසර ගණනාවකට පෙර මම මේ විහාරයට ආවේ විහාරයේ ප්‍රසිද්ධිය නිසා බලල යන්න හිතාගෙන. එදා විහාරයටත්, දාගැබ් මළුවටත්, බෝධියටත් ගිහින් බොරුවට වන්දනා කළා. මගේ හිතේ තිබුණේ විහාරයේ මොනයම් දෙයක් හෝ හොරකම් කරගෙන යන්න. ඉතින් ඒ අදහසින් ඇවිදින මට දාන ශාලාවේ තිබෙන, කැටයම් මෝස්තරවලින් බබළන, මේ විශාල ලෝහ පාත්‍රය දකින්න ලැබුණා. ගිහියකු විදිහට කවදාවත් මේ පාත්‍රය හොරකම් කරගෙන යන්න බැරි බව දැනගෙන මම පැවිදි වුණා.

ධර්මය හැදෑරීමටවත්, භාවනාවේ යෙදීමටවත් මට කවදාවත් හිතක් පහළ වුණේ නෑ. සොරකම් කරන්නමයි හැම වේලාවක් ම යෙදෙව්වේ.

දවසක් මගේ උපාධ්‍යායන් වහන්සේ මා කුටියට කැඳවලා ධර්මාවවාද කළා. භාවනා කමටහන් දුන්නා. එහෙත් වසර ගණනාවක් ම මම ඒවා හිතින් ස්පර්ශ කිරීමක්වත් කළේ නෑ. මගේ අදහස වුණේම ලෝහ පාත්‍රය හොරකම් කරගෙන යන එක. එහෙත් ක්‍රමයෙන් මම ධර්මයට නැඹුරු වුණා. භාවනා කළා. පාත්‍රයට වඳින්න පටන් ගත්තේ මම සෝවාන්, සකෘදාගාමී, අනාගාමි යන මාර්ගඵල ලබා ගෙන අර්හත් බව ලැබූ දා සිටයි. බොහෝ වසර ගණනකට පෙර මම ආර්ය සංඝ ගණයට අයත් වුණා. මම අද පිරිනිවන් පාන්නේ අරහත් තෙරනමක් විදිහට යි. ඒ පී‍්‍රතිය මම දැන් විඳිනවා. මේ ලෝහ පාත්‍රය නිසයි මම සසරෙන් මිදුණේ. ඒ නිසයි මම එයට වන්දනා කළේ’යි කියමින් තෙරුන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු දි අවසන් වනවාත් සමඟ පිරිනිවන් පෑවායි” පැරැණි සිංහල කථා පුවතක් සීහළවත්ථු නම් ඉපැරැණි බණ කථා පොතේ සඳහන් වෙනවා.

පාපී සිතිවිල්ල ම අර්හත් භාවය ලබා ගැනීමට උපකාර වුණා. හොඳ ගුරු, ඇසුරත්, යහපත් මිනිසුන්ගේ ඇසුරේ ජීවත් වීමට ලැබීමටත් වැරැදිවලින් මිදී යහපත් වීමට ඉවහල් වන බව මේ කථා පුවත අපට ආදර්ශ සපයනවා.

කොතරම් නපුරු, පවිටු හෝ අසත්පුරුෂ කෙනෙක් වුවත් හොඳ මිනිසුන්ගේ සහ ධර්මයේ ඇසුර ලබනවා නම් මෙලොවත්, පරලොවත් ආලෝකවත් කර ගන්නා බවත් පෙන්වා දෙනවා. හැම මොහොතකම තවත් කෙනෙක් යහපත් මාර්ගයට ගැනීමට උත්සාහ කිරිම බෞද්ධයන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙනවායි මේ පුවත තවදුරටත් අපට ආදර්ශ සපයා දෙනවා.

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]