වෙසක් අව අටවක 2023-05-12
නිවැරැදි කළ යුතු
වරදින්නට පළමුව ය
මහා වෘක්ෂයක ඇරඹුම කුඩා පැළෑටියකිනි. එය අතු ඉති ලා විසල් වෘක්ෂයක් ව වැඩෙන්නේ මහ
වැස්සෙන්, කාෂ්ඨක අවු රශ්මියෙන් ආරක්ෂා වී ජලය, පොහොර හා අනෙකුත් සාධක නිසි කලට
නිසි ලෙස ලැබීමෙන් ය. මිනිස් දරුවා ද එසේ ය. ඔහු නිරෝගීව වැඩෙන්නේ, යහපත්
පුරවැසියෙක් ව සමාජයට පිවිසෙන්නේ කුඩා කල නිසි පෝෂණය, ආදරය, රැකවරණය සේ ම යහපත් මඟ
පෙන්වීම නො අඩුව ලැබුණේ නම් ය. ඒ සාධක දුර්වල වන තරමට ඔහු කායිකවත්, මානසිකවත් කඩා
වැටේ. ඒ ඇදවැටීම ඔහුගේ මෙලොව ජීවිතයෙන් කෙළවර නොවී පර ලොවටත්, ඔහුගෙන් කෙළවර නොවී
ජීවත්වන සමාජයටත් නරක බලපෑම් ඇති කරයි.
මිනිසා ඇතුළු සියලු සත්ත්ව ජීවිත ආරක්ෂා කරන්නට සමස්ත පරිසරය ම රැක ගන්නට ගසක
මෙහෙවර අනල්ප ය. එවන් වෘක්ෂයක් සේ මේ මිනිස් සමාජයට අර්ථදායීව කටයුතු සලසන්නට,
මිනිස් සාමාජිකයකුට ද කළ හැකි මෙහෙවර වෙසෙස් ය. එසේ අර්ථාන්විත ජීවිතයක් ගෙවීමට නම්
ළමා වියට අදාළ සෑම සාධකයකින් ම තෘප්තිමත් විය යුතු ම ය. එහි වගකීම්කරුවන් අතර
ප්‍රධානත්වය මව්පියන්ට ය. භාරකරුවන්ට ය.
මහින්දාගමනයත් සමඟ සම්බුදු දහමින් සුපෝෂිත ලාංකේය බොදු සමාජයේ පෙරදා ළමයාට
සුවිශේෂත්වයක් ලැබුණි. ඒ කුඩා දරුවාගේ කය සේ ම මනස ද පෝෂණය කිරීමටයි. මනස පෝෂණය
කිරීමේ දී අධ්‍යාපනයට සේ ම ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කිරීමෙහි ලා ප්‍රමුඛත්වය
ලැබුණි.
අද අප ඇස ගැටෙන, ප්‍රතිඵල අත්විඳින අහස සිඹින මහා දාගැබ්, විහාරාරාම, සයුර පරදන මහා
වැව්, ලොවක් විස්මිත කරන අපූර්වතම කලා කෘති ඇතුළු නේක විධ උරුමයන් ඒ සමාජ රටාවේ
ප්‍රතිඵලයන් ය.
එකල ස්වර්ණාභරණයෙන් සැරසුණු රුවැති කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව
දක්වා තනි මඟ ගියත් නිරුපද්‍රිත ව ඒ ගමන අවසන් කරන්නට තරම් හැකියාව තිබුණ බව පැවසේ.
ඒ හෙළයා සතු වූ හැදියාවේ මහිමයයි. එහෙත් විවෘත ආර්ථිකයත් සමඟ ටිකෙන්ටික අභාවයට ගිය
මේ හර පද්ධතීන් විද්‍යාවේ දියුණුවත් සමඟ වේගයෙන් විනාශ වී යන සැටියක් පෙනේ. එදිනෙදා
වාර්තාවන විවිධ සිදුවීම් එයට නිදර්ශන ලබා දෙයි. නො ඇසිය යුතු දේ, අදහාගත නොහැකි දේ
අසන්නට ලැබේ. මෙවැනි තත්ත්වයක අපේ සමස්ත සමාජයට යන පණිවුඩය යහපත් නොවන්නේ වැරැදි දේ
සාමාන්‍යකරණය වීමට ත් ඉඩ ඇති නිසා ය.
අනෙක් අතට කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධයා දක්වා ම හිංසාවෙන්, පීඩාවෙන් තොරව නිදහසේ
ජීවත්වීමට ඇති අයිතිය කවරෙක් විසින් හෝ උදුරා ගත්තේ නම් ඔවුන්ට දැඩි ලෙස නීතිය
ක්‍රියාත්මක විය යුතු ය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නොවන්නා සේ මෙහිදී
ප්‍රධාන තැනක් දිය යුතු වරදින්නට පෙර වළකා ගැනීමටය. එය කළ යුතු මිනිස් දරුවා බහ
තෝරන වයසේ සිට ය. මවුපියන්ට කීකරු, ගුණ ධර්ම සුපෝෂිත, සරලව කියනවා නම් මිනිස්
ජීවිතයේ වටිනාකම හඳුනන පරපුරක් නිර්මාණය කිරීමෙහි ලා ප්‍රායෝගික තීන්දු තීරණ වහා ගත
යුතුව තිබේ. නිවෙසේ පටන් පාසල, පන්සල ප්‍රධාන කොට අදාළ සෑම ආයතනයක ම වගවීම ඊට
අත්‍යවශ්‍ය වේ. |