සමාජ වර්ගීකරණය පිළිබඳ බුදු සමයේ ආකල්ප
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
රාජකීය පණ්ඩිත
පයාගල සුමනසාර හිමි
සමාජය පිළිබඳ බ්‍රාහ්මණ ආගමික චින්තනයේ මූලික ඉගැන්වීමක් වශයෙන් වර්ණ ධර්ම සැලකේ.
මිනිසාගේ ප්‍රභවය මහ බඹුගේ ශරීරාංගයන්ගෙන් සිදුවූ බව විශ්වාස කළ බ්‍රාහ්මණයෝ
උප්පත්ති ස්ථාන අනුව මිනිසාගේ උස් පහත් බව ඇති වන්නේ යැයි ප්‍රකට කළහ.
මනුස්මෘතියට අනුව මහ බඹුගේ මුඛයෙන් බ්‍රාහ්මණ වංශය ද, බාහුවලින් ක්‍ෂත්‍රිය වංශිකයෝ
ද කලවාවලින් වෛශ්‍යයෝ ද, පාවලින් ශුද්‍රයෝ ද උපන්හ. ඒ අනුව මෙකී කුල ස්ථරායනයේ උසස්
ම තැන බමුණාට ද. පහත් ම තැන ශුද්‍ර වංශිකයාට ද හිමි විය. මෙම කුල ක්‍රමයට අනුකූලව
ඔවුනොවුන් අයත් කාර්ය භාරයන් ද නිර්මණවාදී පදනම මත ම තීරණය වී තිබිණි. බමුණා
කුලයෙන් ශ්‍රේෂ්ඨ ය. අන්‍යයන් කුල හීන ය. බමුුණෝ ශුක්ල (සුදු - පැහැපත්) වර්‍ණ
ඇත්තෝ ය. සෙස්සෝ කෘෂ්ණ වර්‍ණ (කළු - නොපැහැපත්) ඇත්තෝ ය. බමුණෝ ම පිරිසුදු වෙත්.
අන්‍යයෝ පිරිසිදු නො වෙත්. බමුණෝ ම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝ ය. මුඛයෙන් උපන්නෝ ය.
බ්‍රහ්මජය. බ්‍රහ්ම නිර්මිතය. බ්‍රහ්ම දායාදය. යනුවෙන් බ්‍රාහ්මණ වංශයෙහි උසස් බව ම
වෛදික මුලාශ්‍රය ප්‍රකාශ කරයි.
ආගමික හා සමාජ කාර්යයන් හිදී බමුණා මිහිපිට දෙවියෙකි. භූසුර රජුගේ සන්නද්ධ සේනාව ද
විනාශ කිරීමේ බලයක් හා ශක්තියක් බමුණාට තිබේ. ඔහු වූ කලි සියලු වරප්‍රසාද , ගරු
සත්කාර , සම්මාන හිමිකරුවායි.
බමුණාගේ මූලිකත්වයෙන් නොපවත්වන ලද යාගය දෙවියන් විසින් ද නො පිළිගන්නේ ය යන මතය ද
තහවුරු කොට තිබිණි. ස්ව ධර්මවලට අනුව ඉගෙනීම , ඉගැන්වීම , යාග කිරීම, යාග කරවීම,
දන් දීම හා දන් පිළිගැනීම යන උසස් කාර්ය කොටස් බමුණාට නියම ව තිබිණි. බමුණාගේ
දේපළවලට කිසි ලෙසකින්වත්, කුමක් නිසාවත් අත ගැසීමට රජකුට පවා නොහැකි විය. ඔහුට
හිංසා පීඩා කරන රජතුමාට ද හානි සිදුවේ. මෙසේ සියලු කුල මැඩගෙන සිටි බ්‍රාහ්මණ
වර්ණයට සමාජයේ ඉහළ ම තත්ත්වය හිමිව තිබූ අතර ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන අනෙක්
වර්ණයන්ට බ්‍රාහ්මණ ආධිපත්‍යය යටතේ ක්‍රියා කිරිමට සිදු විය. වර්ණ ධර්ම යටතේ පහත්ම
වර්ණය ලෙස සලකන ලද්දේ ශුද්‍රයන් ය. ඔවුනට හිමිව තිබුණේ එකම කාර්යයකි. එනම් ත්‍රිවිධ
වර්ණයන්ට ඊර්ෂ්‍යා නොකොට මෙහෙ කිරීමයි. ශුද්‍රයා දාස කර්මය සඳහා ම මහබඹු විසින් මවන
ලද බැවින් මිළ දී ගනු ලැබුව හෝ මිළදී ගනු නොලැබු ශුද්‍රයා දාසකම කළ යුතු ය.
දාස බව ශුද්‍රයාට උරුම වුවකි. එබැවින් ස්වාමියා විසින් දාස බවින් මුදාහල නමුදු ඔහු
ඉන් නො මිදේ. කිසිවෙකුටත් ඔහු දාස බවින් මුදාහල නොහැකි යැයි ඉගැන් වූ බ්‍රාහ්මණ
ධර්මය ශුද්‍ර වර්ණයට හිමි කර දී තිබුණේ සමාජයේ පහත් ම තත්ත්වයකි.
භාරත සමාජයේ සිටි පඤ්චම කුලීනයන්ට හිමිව තිබුණේ මීටත් වඩා පහත් තැනකි.
වේණ, නේසාද, රථකාර, පුක්කුස, චණ්ඩාල නමින් හඳුන්වා ඇති මෙකී කුල හීනයන්ට නියමිතව
තිබූ කාර්ය භාරයක් ද විය. වේණ කුලයේ අය බට පොතුවලින් යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කොට
ද, නේසාදයෝ සතුන් මරා මස් සම්පාදනය කිරීමෙන් ද, රථාකාරයෝ සම්වලින් භාණ්ඩ නිෂ්පාදනය
කරමින් ද, පුක්කුසයෝ කසල ශෝධනය කිරීමෙන් ද , දිවි ගෙවූ අතර චණ්ඩාලයනට නියමිත
වෘත්තියක් නොවූ බැවින් සිඟාකමින් ද, දිවි ගෙවීමට සිදු විය.
මෙම කුලයන්ට අයත් මෙකී කාර්ය භාරයන් ස්වාධීන කරන්නට ඔවුහු එමඟින් බැඳී සිටියහ.
“අපි සෑම දිශාවෙන් ම දස්‍යු ගෝත්‍රිකයන් විසින් වට කරනු ලැබ සිටිමු. ඔවුහු පුද පූජා
නො පවත්වති. කිසිවක් ගැන විශ්වාස නොකරති. ඔවුහු මනුෂ්‍යයෝ නොවෙති. සතුරන් නසන්නා සේ
ඔවුන් මරා දමන්න. දාස වර්ගයා විනාශ කරන්න.” යනුවෙන් මේ දෙපිරිස අතර පැවති
සංස්කෘතිකමය වෙනස ද පිළිබිඹු වෙයි. මෙකී විෂමතාවන්ගේ ප්‍රතිඵලය වුයේ ආර්යයන්
දස්‍යුන් හෙවත් අනාර්යයන් තම සතුරන් කොට තැකීම ය.
ජාති වාදී හා කුල වාදී සංකල්පයන්ගේ ප්‍රතිඵලය වුයේ පහත් යැයි සැලකෙන ජාතීන් හා කුලය
උසස් යැයි සම්මත ජන කොට්ඨාසය විසින් තලා පෙලා දැමීමත් පහත් යැයි සම්මත ජන කොට්ඨාසයට
අනෙක් අය භුක්ති විඳීන අයිතිවාසිකම් අහිමි වීමත් ය. ජී පී මලලසේකර හා කේ එන් ජයතිලක
යන විද්වතුන් විසින් එලෙස පහත් යැයි සම්මත ජන කොට්ඨාසවලට අහිමිව ගිය අයිතිවාසිකම්
වර්ගීකරණය කොට දක්වා තිබේ.
එනම් සමාන දේශපාලන අවස්ථාවන් ලබා නොදීම,
සමාන ආර්ථික අවස්ථාවන් ලබා නොදීම,
සමාන සාමාජික අවස්ථාවන් ලබා නොදීම,
ආගමික නිදහස අහිමි කිරීම හා
අධිකරණය ඉදිරියේ සමාන අවස්ථා ලබා නොදීමය වශයෙනි.
භාරතීය සමාජයේ උසස් කුලවලට පැවරී තිබුණ රාජ්‍ය පාලන බලතල එකල පහත් කුලවල අයට හිමි
නොවීය. පාලන බලතල ලබා ගැනිම තබා පාලන කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීම ද තහනම්ව
තිබූ බව පෙනේ. ශුද්‍රයා සිය ස්වාමියා විසින් නිදහස් කරන ලද්දේ නමුදු ඔහු ශුද්‍ර
තත්වයෙන් ම සිටිය යුතු යැයි නියම කිරීමෙන් කුල හීනයන්ට තම තත්ත්වය අභිබවා යෑමේ ඉඩ
අහිම වී තිබූ ආකාරය තේරුම් ගත හැකි ය.
පහත් කුලවල අයට ස්වයං ජීවන වර්ධනයකට, ජීවන තත්ත්වය දියුණු කර ගැනීමට අවකාශ
නොලැබුණි. ඉගෙනීම, ධනය ඉපැයීම හා උසස් වැඩ කිරීම ශුද්‍රයාට තහනම් විය. යම්
ශුද්‍රයකු ධනයක් රැස් කළ හොත් ඒ ධනය රාජ සන්තක කරන අතර, ශුද්‍රයා රටින් පිටිවහල් කළ
යුතු ය. ඒ ධනය බමුණා විසින් ද පැහැර ගනු ලැබේ. ශුද්‍රයන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය
සම්පුර්ණනේ අහිමි විය. වේද පාඨ කීම බරපතළ වරදක් ලෙස සලකන ලදී. ශුද්‍රයන්ට අධ්‍යාපනය
දීමට ඉදිරිපත් වන බමුණා ද දඬුවම් ලැබිය යුත්තෙක් විය. මනු නීතියට අනුව
බ්‍රාහ්මණයන්ට ශුද්‍රයන්ට ඇසෙන සේ වේද ග්‍රන්ථ කියවීම පවා තහනම් කොට තිබිණි.
ශුද්‍රයකු වේදය ඇසුව හොත් ඔහුගේ කන්වල ඊයම් හෝ ලාකඩ පිරවිය යුතු යැයි ද, වේදය කිව
හොත් දිව කැපිය යුතු යැයි ද, වේදය පාඩම් කර ගත හොත් මරා දැමිය යුතු යැයි ද සඳහන්
වේ.
බ්‍රාහ්මණික කුල ස්තරායනයේ ඉහළ කුලවලට හිමිව තිබූ අධ්‍යාපනය ලැබීමේ වරම් ශුද්‍රයන්ට
ලබා දී නොමැති බව ස්වභාධර්මයෙන් ද ප්‍රකට ය.
ආගමික වශයෙන් පහත් යැයි සම්මත කුලවලට කිසිදු අයිතියක් හිමි නොවීය. මනු නීතියට අනුව
ශුද්‍රයකුට ආගමික චාරිත්‍ර විධි හා තපස්ක්‍රම යම් බ්‍රාහ්මණයකු උගන්වන්නේ නම් ඔහු
අසංවෘත නම් අපායේ වැටෙන බව සඳහන් වේ. වේද ඥානය ලැබීමට අවකාශයක් නොමැති නිසා තමා
උදෙසා ආගමික වතාවත් කර ගැනීමට ද අවසර නොලැබුණි. මේ නිසා ශුද්‍රයන්ට ආධ්‍යාත්මික
සහනයක් ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ද අහිමි විය.
මිනිසුන් උස් පහත් වශයෙන් වර්ග කිරීමට ගන්නා ලද උත්සාහයේ හෝ කිසියම් විශ්වාසයක්
නිසා හෝ මෙලෙස ඇති වූ මානව වර්ගීකරණය පුද්ගලයා සමානාත්වයෙන් නොසැලකීමටත්, එක් ජන
කොට්ඨාශයක් භුක්ති විඳීන වරප්‍රසාද හා අයිතිවාසිකම් තවත් ජන කොට්ඨාශයකට භුක්ති
විඳීමේ අවකාශයක් අහිමි කළේ ය. මෙකී සමාජ ව්‍යුහයත් එහි ක්‍රියා කාරිත්වයත් දැඩි ලෙස
විවේචනයට ලක් කරන බුදුසමය මානව වර්ගයාගේ ඒකත්වයත් කුල වාදයේ ජන්මීය පදනමත් යුක්ති
සහගත හා තර්කානුකූල නොවන බව පෙන්වා දෙමින් සමාජයේ සියලු මිනිසුන්ට සමාන
අයිතිවාසිකම් ලබා දීමට උත්සාහවත් වී තිබේ. |