වෙසක් පුර අටවක 2023-04-27
උතුම් ජීවිතයකට හිමිකම් කියමු
සමාජ විවිධත්වය නිර්මාණය වන්නේ පුද්ගල විවිධත්වය අනුව ය. හිතකාමී පරිසරයත්,
කලකෝළාහල පිරි ගැටුම් සහිත පරිසරයත් සැකසෙන්නේ මේ විවිධත්වයට අනුව ය.
ඔවුනොවුන්ගේ ආකල්ප හා චර්යාවන් මත නිර්මාණය වන මේ විවිධත්වය මිනිසාට, සතා
සිවුපාවුන්ට සේ ම ගහකොළවලින් සුසැදි ස්වභාවික පරිසරයට ද හිතකර ලෙස ගොඩනඟා ගැනීමේ
වගකීම ඇත්තේ ද මිනිස් සත්ත්වයා අතේ ම ය.
සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ ඒ යහපත් සමාජය ගොඩනඟන්නට ය. ඒ සමාජය තුළ දුසිල්වතුන්
නැත. සුසිල්වත්හු ම වෙති.
යො චෙ වස්සසතං ජීවෙ
දුස්සීලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනො
ධම්මපදයේ එන මෙම ගාථා රත්නයට
අනුව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ දුසිල්වත් පුද්ගලයෙක් ව වසර සියයක් ජීවත්
වනවාට වඩා සිල්වත් දැහැමි පුද්ගලයකු ලෙස එක් දිනක් හෝ ජීවත්වීම උතුම් බව ය.
සිල්වත්වීමේ අගය ප්‍රමාණය කළ නොහැකි බව එයින් ම පැහැදිලි වන්නේ ය.
සම්බුදු දහමට අනුව දුසිල්වතා නම් ගිහියන් විසින් රැකගත යුතු පන්සිල්, අටසිල්
නොරකින, නොවඩන පුද්ගලයා ය. පැවිදි වී නම් පැවිදිවත නොපුරන, නොවඩන භික්ෂූහු ය.
සැබෑ බෞද්ධයා සුසිල්වතකු මිස දුසිල්වතකු නොවන්නේ ය. පවෙහි විපාක සේ ම පිනෙහි අනුසස්
ද දන්නා හෙතෙම දැහැමි දිවිපෙවෙතක් ගත කරයි.
පන්සිල් සුරකින සමාජයක් වේ නම් එහි මරණ බිය නොදැනේ. මිනිසා සේ ම සතා සිවුපාවුන් ද
නිදහසේ ජීවත් වේ. අතීතයේ අපේ මුතුන් මිත්තන් අතර නොවූ විරූ ලෙස අද සමාජයේ මරණ බිය
වැඩි වී ඇති සැටි පෙනේ. එක් තැනෙක ආදරය වෛරයට පෙරැළී පෙම්වතා අතින් පෙම්වතිය ඝාතනය
වේ. කිරි දරුවන්ට අම්මාගේ ආදරය අහිමි කරමින් සැමියා විසින් බිරිඳ ඝාතනය කරන
සිදුවීම් අපමණ ය. පැළ ඉනි වැටේ සීමාවට ජීවිතයෙන් වන්දි ගෙවන අය මොන තරම් ද? සමාජයම
ව්‍යසනයට හෙළන මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ජය තමන්ට අත්පත් කර ගන්නට තවත් එවැනිම ජාවාරම්
කරුවන් බිල්ලට ගන්නා අවස්ථා ලෝකයට ම පොදුය. මේ ආදී ලෙස මිනිස් ජීවිතයක අගය මායිම්
නොකරන පාපතර දැඩි සිත් ඇත්තෝ මේ සමාජය අපවිත්‍ර කරන ආකාරය අද වන විට සුලබ දසුන් ය.
ජන මාධ්‍යයන් ඔස්සේ එවැනි සිදුවීම් නිරන්තරයෙන් අපගේ ඇස ගැටේ. මේ පාපයේ අහිතකර
බලපෑම් දුසිල්වතුන්ට අහිතකර වනවා පමණක් නොවේ. ඔවුන්ගේ පාපකාරී වැඩ නිසා අසරණ වන,
ජීවිතයම කඩා වැටෙන අය මොනතරම් ද? එවැනි සමාජයක් ජීවත්වීමට කෙසේ නම් හිතකර වන්න ද?
සොර සතුරු බිය නැති, කාමය වරදවා නොහැසිරෙන, බොරුව රජනොයන, මත්ද්‍රව්‍ය - මත්වතුර
නැති සමාජය මොනතරම් විශ්වාසවන්ත ද? එහෙත් යම් පිරිසක් අතින් මේ සිල්පද ආරක්ෂා
කිරීමේ වගකීම දිනෙන් දින ගිලිහී යන නිසා ම සමාජය තුළ විද්‍යමාන වන්නේ අසහනකාරී
බවකි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම පීඩාකාරි බවෙන් ජීවත්වන ස්වභාවයකි.
මානසික පීඩාකාරි බව කායික රෝගවලට ද හේතුවේ. දෛනික ජීවිතයේ සාමාන්‍ය කටයුතු පමණක්
නොව රැකියාව, අධ්‍යාපනය ආදි සියලු කටයුතුවලට වක්‍ර ලෙස බලපෑම් කරයි. ඒ අහිතකර බලපෑම
මෙලොවට පමණක් නොව මරණින් මතු ජීවිතයට ද හිතරක නැත.
මේ වෙසක් සමයේ හෝ මේ පිළිබඳ අවධානය යොමුකර යහපත් සමාජයක පෙර මං ලකුණු දකින්නට
දුසිල්වත්කම් හැර පියා සිල්වත්කම් ප්‍රගුණ කරන්නට ඇප කැප විය යුතු ය. |