[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දෙලොව වැඩ අවැඩ සලසන පින් පව්

දෙලොව වැඩ අවැඩ සලසන පින් පව්

මිනිසත් බව ලැබීම දුර්ලබය. එහෙත් බොහෝ උසස් ප්‍රයෝජන ලැබිය හැකි වන්නේ ද මිනිසත් කමින් ය. ලොව්තුරා බුදු බව, පසේ බුදු බව,රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් සේ ම සකල ලෞකික සම්පත්තින් ද ලැබීමේ මඟ සාදා ගැනීමට උතුම් මිනිසත් බව ඉවහල් වන්නේ ය.

බොහෝ ධනය, ගේ දොර, වතු පිටි, නෑ හිත මිතුරන් පිරිවරාගෙන තම අඹුදරුවන් හා සමඟින් පස්කම් සැප විඳීම් පමණක් මිනිසත් බවින් ලබන්නට හැකි උසස් ප්‍රයෝජනය යැයි නො සැලකිය යුතු ය. පස්කම් සැප විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකි. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම්, අනාගත සංසාරයෙහි දී පිහිට වීමට ශීලසමාදානාදි කුසල ක්‍රියාවන් කර ගැනීම ය.

පස්කම් සැපය සිහිනයක් බඳු ය. කොතරම් උසස් ලෙස පස්කම් සැප ලැබුයේ ද ඒවායින් අනාගත සංසාරයට අවැඩක් මිස වැඩක් නැත. තෙරුවන් සේවනය නො කරන, ශීල සමාදානාදී පින්කම් හි නො යෙදෙන, පස්කම් සැපයෙහි ම ඇලී ගැලී ජීවත්වන නිසා සැප සොයා යමින් අනේක පාප කර්ම සිදු කරයි.

එවැනි පුද්ගලයා මරණින් පසු ඔසවාගෙන ගොස් බිමින් තබන්නා සේ අපායට වැටෙන්නේ ය. අපායෙහි උපන් ඔහුගේ මළ සිරුර නෑ හිතමිතුරන් විසින් සැරසූ මඟ පාවාඩ උඩ මහ පෙරහරින් චිතකය කරා ගෙන ගොස් නන් අයුරින් විවිධ පුද්ගලයන් විසින් ගුණ කියා ආදාහනය කළේ ද, ඒවා අපායේ සිටින්නාට දැනෙන්නේ හෝ පෙනෙන්නේ නැත.

මිය ගිය තැනැත්තාගේ ගුණ වර්ණනා කරන කථිකයන් ද, භික්ෂූන් වහන්සේ ද, නෑ හිත මිතුරෝ ද අපායට ගිය තැනැත්තා අපායෙන් ගොඩගැනීමට සමත් නොවෙති. මරණයට පත් පුද්ගලයා ඉතා දීර්ඝ කාලයක් කළ අකුසලයන්ගේ විපාක විඳින්නේ ය. අවුරුදු කෝටි ගණනකින් හෝ ඔහුට නැවත මිනිසත් බවක් නො ලැබිය හැකි වන්නේ ය.

රිසි සේ ආහාරපාන නො ලබන, ඇඳුම් – පැළඳුම් නො ලබා අමාරුවෙන් තම අඹුදරුවන් පෝෂණය කරන, දුෂ්කර වූ ජීවිකාවක් ගත කරමින් ජීවත්වන දුගියකු වුව ද, තෙරුවන් සේවනය කරන්නේ නම්, අකුසල කර්මයන්ගෙන් වළකින්නේ නම්, පොහොය දින සිල් සමාදන් වන්නේ නම්, ඔහු හෝ ඇය මරණින් මතු නින්දෙන් අවදි වූවකු පරිද්දෙන් දෙව්ලොව දෙවියන් අතර, පෙනී සිටින්නේ ය. ඔහුගේ මළ සිරුර පැදුරු කැබැල්ලක ඔතා ගෙන ගොස් වළ දැමුයේ ද එයින් දෙව්ලොව දෙව් සැපතින් කල් ගෙවන ඔහුට වන හානියක් නැත. ඔහු තමා ලැබු මිනිසත් බව සඵල කර ගත්තෙක් වන්නේ ය.

අඹුදරුවන් පෝෂණය කරමින් ජීවත්වන මිනිසාට සැමදාම කුසල් වැඩීමේ ක්‍රියාවන් හි යෙදෙන්නට අවස්ථාවක් නැත. එබැවින් පැරැන්නෝ මසකට දින හතරක් කුසල් වැඩීමේ ක්‍රියා කිරීම සඳහා වෙන්කර ගත්හ. ඒ පෝය දිනයන් ය. ඒ ආකාරයෙන් සතර පෝය දිනයන් නියම කරගෙන තිබුණේ තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමටත් පෙර සිට ය. උන්වහන්සේ ද එම පෝය දින ඒ ආකාරයෙන් ම පිළිගෙන ඒ දිනයන් හි දී පෙහෙවස් සමාදන් වීම අනුදැන වදාළ සේක. එබැවින් බෞද්ධ ජනතාව ද ඒ දිනයන්හි දී සිල් සමාදන්වීම පුරුද්දක් ලෙසින් පවත්වා ගත්හ. සැදැහැති නුවණැති බෞද්ධ ජනතාව අන් කටයුතුවල නොයෙදී පොහොය දිනයෙහි සිල් සමාදන් වෙති. පොහොය දිනය දෙව්ලොව දෙවියන්ගේ ද සැලකිල්ලට භාජනය වී ඇතැයි සඳහන් වේ. දෙවියෝ මිනිස් ලොව ඇවිද පින් රැස් කරන මනුෂ්‍යයන් දෙස බලන බව ලෝකානු විවරණ සූත්‍රයෙහි වදාරා ඇති බව කියැවේ.

වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]