බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය සිදුවූයේ බක් අමාවක පෝදාක ය
ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ
දුම්රියපළ පාර, කැලණිය
බෙංගමුවේ නාලක අනු නාහිමි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලංකාදීපයට වැඩමවීම් තුනක් ගැන මහාවංශයෙහි සඳහන් වෙයි.
මහාවංශය යනු මුලදී සිංහලෙන් රචනා කර තිබී ධාතුසේන රජුගේ කාලයේ දී මහානාම හිමියන්
විසින් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයයි.
රට ජාතිය හා සංස්කෘතිය පිළිබඳ ලියැවුණු මෙවැනි කෘතියක් ලොව වෙනත් කිසිදු රටකට
නොමැත. ඉන්දියානු ඉතිහාසය ඌණ පූර්ණය කරගත්තේ ද මහාවංශය ඇසුරෙන් ය.
මහානාම හිමියන් විසින් මහාවංශයේ මුල් කොටස රචනා කළ අතර, පසු කාලීනව දෙවැනි හා
තුන්වැනි කොටස් රචනා කරනු ලැබ ඇත. එම කොටස් චූලවංශ නමින් හැඳින්වීම ද වරදකි. ඒවා
නම් කළ යුත්තේ මහාවංශයේ දෙවැනි හා තුන්වැනි කාණ්ඩ වශයෙනි.
මහා වංශයේ පළමු පරිච්ඡේදයේ බුදුරදුන්ගේ ලංකා ගමන් පිළිබඳ දෙතැනක කරුණු දැක්වේ. බෝධි
මූලයෙහි වැඩ සිටිමින් සිය අනාගත මෙහෙයුම් සිහිපත් කළ අවස්ථාවෙහි බුදු වී නවවැනි මස
දුරුතු පුර පසළොස්වක දා මහියංගණයට ද, බුදුවී පස් වසකින් බක් පුර පසළොස්වක් දා
නාගදීපයට ද බුදු වී වසර 8කින් වෙසක් පුර පසළොස්වක දා කැලණියට ද වැඩම කළ බව එහි
සඳහන්ව ඇත.
පළමු හා තුන්වැනි ගමන් ඒ වූ පරිදිම සිදු වුවත් දෙවැනි ගමනේ දින වකවානු වෙනස් වී ඇත.
ඒ පිළිබඳ මහා වංශයෙහි පළමු පරිච්ඡේදයේ 681 -684 ගාථාවල මෙසේ සඳහන් වේ.
බෝධිතෝ පංචමේ වස්සේ –
වසං ජේතවනේ ජිනෝ
මහෝදරස්ස නාගස්ස –
තථා චූලෝදරස්ස ච
මාතුලභාගිනෙය්‍යානං –
මණිපල්ලංක හේතුකං
දිස්වා සපරි සජ්ජානං –
සංගාමං පච්චුපට්ඨිතං
සම්බුද්ධෝ චිත්ත මාසස්ස –
කාලපක්ඛේ උපෝසථෙ
පාතෝයේව සමාදාය –
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං –
නාගදීප මුපාගමී
බුද්ධත්වයෙන් පස්වැනි අවුරුද්දෙහි බුදුරදුන් දෙවුරම්හි වැඩ වසන්නේ, මහෝදර හා චූලෝදර
යන මාමා බෑනා දෙදෙනාගේ මැණික් පුටුවක් අරබයා යුද වැදීමට යන සංග්‍රාමය දැක නාගයන්ට
අනුකම්පා පිණිස බක් අමාවක් පෝය දා නාගදීපයට වැඩම කළ සේක.
මහාවංශයේ ඓතිහාසික සටහනෙහි දැක්වෙන්නේ බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක් අමාවක්
පෝය දා නාගදීපයට වැඩම කළ බවයි. එම සටහන වෙනස් කර ලිවීමට හෝ දේශනා කිරීමට කිසිවකුටත්
අයිතියක් නැත.
චූලෝදර, මහෝදර දෙදෙනාගේ සංග්‍රාමය ඇරඹුණේ බක් අමාවක් පෝය දා වුව ද බොහෝ පිරිස් ලියන
විටත්, දේශනා කරන විටත් සඳහන් කරන්නේ බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන බක් පුර
පසළොස්වක් දා සිදුවූ බවයි. මෙය නිවැරැදි විය යුතුමයි.
මෙසේ වැරැදි ලෙස සඳහන් කිරීමට හේතු විනැයි සිතිය හැකි කරුණු කිහිපයක් ඇත.
පළමුවැන්න නම් ඉතිහාසය නිවැරැදිව දැන නොසිටීමයි.
දෙවැන්න නම් පසුව සඳහන් වන නිවැරැදි කරුණ නොතකා බෝධි මූලයේ දී කළ අධිෂ්ඨානය අනුව
බක් පුර පසළොස්වක් දා නාගදීපයට වැඩම කළ බව සඳහන් කිරීමයි.
තුන්වැන්න නම් බුද්ධ චරිතයට අදාළ බොහෝ වැදගත් කරුණුූ පසළොස්වක දා සිදුවී ඇති හෙයින්
ඒ අනුව සිතා බක් පසළොස්වක දා වැඩම කළ බව සඳහන් කිරීමයි.
මහාවංශය වීර කාව්‍යක් ලෙස ද සමහරු හඳුන්වති. බුදුරදුන්ගේ මෙන් ම හෙළ රජදරුවන්ගේ වීර
ක්‍රියා වර්ණනා කරන බැවින් එසේ හැඳින්වීම වරදක් නැත. එහෙත් එය පැහැදිලිව ම අපේ
රටේත්, ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් ඉතිහාසය අනුපිළිවෙළින් සඳහන් වන ඉතිහාස
ග්‍රන්ථයකි. එහි සඳහන් කරුණූ සෙල්ලිපි හා වෙනත් වංශ කතා මඟින් ද තහවුරු වේ.
ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ සෙනරත් පරණවිතාන ශූරින් බුදුරදුන්ගේ ලංකා ගමන් පිළිබඳ
පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතැයි කියා එම ගමන් පිළිනොගනී. එහෙත් වර්තමාන ලෝකයේ
ඓතිහාසික කරුණු සියල්ලම පුරාවිද්‍යා සාධක මත පිළිගැනෙන ඒවා නොවන බව ද අප වටහාගත
යුතු ය. එබැවින් සෙනරත් පරණවිතානයන්ගේ මතය ප්‍රතික්ෂේප වෙයි. මහාවංශයේ සඳහන් මතය
පිළිගැනීමට සිදු වෙයි.
බුදුරදුන් අප රටට වැඩම කිරීම තරම් වෙනත් කිසිදු කෙනකුගේ පැමිණීමක් අපට වැදගත් වන්නේ
නැත. එම වැඩම කිරීම් පිළිබඳ දින වකවානු සහිතව මහාවංශයේ එන සඳහන් පිළිගෙන රටට ජාතියට
හා බුදුසසුනට ද වැදගත්කමක් ලැබෙන ලෙස වාර්ෂිකව එම බුද්ධාගමනයන් සිදුවූ දිනවල
පින්කම් හා උත්සව පවත්වා සැමරීම් කළ යුතුයි.
එහෙත් බටහිර ආක්‍රමණිකයන්ගේ හා බටහිර ගැත්තන්ගේ බලපෑම් නිසා දෝ ඒවා ද වෙනස් වී ඇත.
පළමු බුද්ධාගමනය සිදුවූ දුරුතු පුරපසළොසවක් දා මහියංගණයේ උත්සව හා පින්කම් පවත්වා
මුළු මහත් ජනතාවගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතු ය.
දෙවැනි බුද්ධාගමනය සිහිකරමින් වාර්ෂිකව බක් අමාවක පෝ දා නාගදීපයේ දී ප්‍රධාන උත්සව
හා පින්කම් සිදු කළ යුතු ය.
තුන්වැනි බුද්ධාගමනය සිහි කර සෑම වසරකම වෙසක් පුර පසළෝවක දා කැලණි විහාරයේ දී
ප්‍රධාන උත්සවය හා පින්කම් පැවැත්විය යුතු ය.
එසේ කිරීමෙන් බෞද්ධ ජනතාව තුළ බුද්ධාලම්බන පී‍්‍රතිය ඉතා ඉහළින් ඇති වන අතර, එය රටේ
හා ජනතාවගේ අභිවෘද්ධියට ද හේතු වේ. එසේ නොකිරීම මෙන්ම දින වකවානු වරද්දා
බුද්ධාගමනයන් සිහිපත් කිරීම රටේ හා බොදු ජනතාවගේ පරිහානියට හේතු වේ. |