[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

නිවන් මඟ පහසු කරවන ඉරියව් පැවැත්මේ භාවනාව පුහුණු කරමු

නිවන් මඟ පහසු කරවන ඉරියව් පැවැත්මේ භාවනාව පුහුණු කරමු

සුළු වශයෙන් හෝ භාවනාවකට වාඩි වූ පුද්ගලයකුට ඇතිවන පොදු ගැටලුවක් පවතිනවා. භාවනාවක් පුහුණු කිරීමේදී ඇතිවන කායික මානසික අලසකමයි. එනම් ථිනමිද්ධයයි.

බුදුරජාණන් වහන්සේ මේ ථිනමිද්ධය ප්‍රහාණය කරන ආකාරය පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ පංච නීවරණ ප්‍රහාන අභ්‍යාසය තුළ දේශනා කොට තිබෙනවා. එය ටිකක් ගැඹුරු කොටසක් වන බැවින්, සාමාන්‍ය භාවනාවක් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් පවත්වාගෙන යායුතු පුරුදු පුහුණු කළ යුතු ඉතා වටිනා භාවනා කණ්ඩයකට අද අවධානය යොමු කරමු.

මේ භාවනා කොටස හඳුන්වා දෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ දෙවැනි භාවනා කාණ්ඩය හැටියටයි. ඒ භාවනාව නම් ඉරියාපථ භාවනාවයි. ඉරියව් පැවැත්මේ භාවනාවයි.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා “පුන ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, මහණෙනි, භික්ෂුව යන්නේ “යන්නෙමි’යි, නුවණින් යුතුවම දනියි.

“ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති” සිටින්නේ “සිටින්නෙමි” යි නුවණින් යුතුව ම දනියි.

“නිසින්නෝ වා නිසින්නෝම්හීති පජානාති” හිඳින්නේ “හිඳින්නෙමි” යි, නුවණින් යුතුවම දනියි. සයානෝ වා සයානෝම්භීති පජානාති, නිඳන්නේ "නිදන්නෙමි"යි නුවණින් යුතුවම දනියි. යථා යථාවා පනස්ස කායෝ පණිහිතෝ හෝති, තථා තථා නං පජානාති යම් යම් අයුරින් ඔහුගේ කය පවත්නේ වේ ද, එය ඒ ඒ අයුරින් සිහි නුවණින් යුතුවම දනියි.

සාමාන්‍ය ජීවිතයේ දී අප මෙය පුහුණු කරන්නේ, කෙසේද?

අප විසින් පවත්වනු ලබන ප්‍රධාන ඉරියව් හතරක් පවතිනවා. ඒ ගමන් කිරීම, හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම සහ නිදා ගැනීම යන ප්‍රධාන ඉරියව් හතරයි. මේ ප්‍රධාන ඉරියව් හතරේ දී පළමු වැන්න ගමන් කිරීමයි. අප යම් ගමනක යෙදෙනවා නම් ඉතාම සිහිනුවණින් යුතුªව ගමන් කරනවාය යන සිහියෙන් යුතුව ගමනේ නිරතවිය යුතුයි. පෘථග්ජන පුද්ගලයා බොහෝවිට ගමනක් බිමනක් යන්නේ පුරුද්දට මිස සිහියෙන් නොවේ. ඔබම කල්පනා කර බලන්න.

ඔබත් මෙවැනි අත්දැකීම් බොහෝ විට ලබා ඇති, සමහර විටක “ගෘහණියක් ආහාර පිසින විට ව්‍යංජනයකට දැමීම සඳහා දෙහි ගෙඩියක් අවශ්‍ය වනවා. ඒ අවස්ථාවේ කුස්සියෙන් එළියට බැස දෙහි ගස ළඟට යනවා. දෙහි ගස ළඟට ගොස් කල්පනා කරනවා මම මෙතනට ආවේ ඇයි ? කියා” කල්පනා කළාට මතක් වෙන්නේ නැහැ. ඇයි? ඇය පැමිණි ගමන පිළිබඳ සිහිය පිහිටුවා නැහැ. සමහර විටක ආපසු කුස්සියට ගිය විට එහි ඉන්නා කෙනෙක් අහනවා කෝ දෙහි ගෙඩිය කියා.” ‘අනේ මට අමතක වුණා කියමින් ඇය නැවත දෙහි ගස යටට යනවා. දෙවැනි වතාවටයි දෙහි ගෙඩිය කඩාගෙන එන්නේ.

කෙනෙක් ගමනක් යන විටදී ඒ යන ගමන පිළිබඳ සිහිය පිහිටුවා ගත්තා නම් එසේත් නැතිනම් සිහියෙන් ගමන් කළා නම්, තමන් යන කාරණය අමතක වෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතය පවත්වන විට රැකියාවට, කඩයට, පාසලට ආදී මේ හැම ගමනක දී ම ගමන් කිරීමේ ඉරියව්ව ක්‍රමානුකූලව පැවැත්වීම භාවනාවක් ලෙසින් වඩන්නට පුළුවන්.

භාවනාව පුහුණු කිරීමේ දී, ගමන් කිරීමේ ඉරියව්ව තුළ ස්වභාවික නොවන කායික චලනයන් පැවැත්විය යුතු නැහැ. එනම් ඔබේ ස්වභාවික ගමන වෙනස් නොකළ යුතුයි. උදාහරණයක් ලෙස සෑ මළු, බෝ මළු වටා සමහරු ගමන් කරමින් ඉරියාපථ භාවනාවේ යෙදෙනු අපට දක්නට ලැබෙනවා. මෙහි දී ඇතැමුන් මළුව කෝදුවකින් මනින්නා සේ, තම පියවරෙන් පියවර එකිනෙකට ගැටෙමින් තබමින්, සම්පූර්ණයෙන් ම හිස බිමට නමාගෙන භාවනා කරන අයුරින් ගමන් කරනු දක්නට ලැබෙනවා. එය සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගමන් කරන ඉරියව්වක් නොවෙයි. මේ අස්වාභාවික ඇවතුම්, පැවතුම් පැවැත්වීම භාවනාව නොවේ.

හිස සම්පූර්ණයෙන් ම බිමට නමාගෙනයි ගමන් කරන්නේ නම් එය සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් ස්වභාවිකව ගමන් කරන ඉරියව්ව නොවේ. මෙසේ අස්වාභාවික ඇවතුම් – පැවතුම් පැවැත්වීම නිවැරැදි ඉරියාපථ භාවනාව නොවේ. අවශ්‍ය වන්නේ සාමාන්‍ය අපගේ ස්වභාවික ගමනයි. ඉතා වේගවත් ගමනක් හෝ ඉතා සෙමින් ගමනක් ද නොවිය යුතුයි. ඇත්තට ම ඔබට ඔබේ සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව පවතින ඔබේ ස්වභාවික ගමන විය යුතුයි.

විශේෂයෙන් ම පුරාණ කර්මස්ථානාචාරීන් වහන්සේලා මෙහි දී සිහිය පිහිටුවා ගැනීම සඳහා උපදේශයක් දී තිබෙනවා, එනම් ඉරියාපථ භාවනාවේ දී වම – දකුණ කියා හෝ තමන් පිහිටුවන තමන් තබන පියවරෙහි සිහිය පිහිටුවා ගැනීම පුහුණු වන ලෙසයි. එනම් වම් පාදය තබනවා නම් ඒ වම් පාදය තබන බවත්, දකුණු පාදය තබනවා නම් ඒ දකුණු පාදය තබන බවත්, සිහියෙන් දැනගත යුතුයි.

මේ ආකාරයෙන් ඉතා සිහියෙන් යුතුව ඔබට හැකි සෑම විටකම එනම් පාසලට, රැකියාවට, බසයට වෙළඳපොළට හෝ යනවා නම් හෝ, නොඑසේ නම් අඩි විස්සක්, තිහක් හෝ ඉතාම සිහියෙන් ගමන් කළ හැකියි. මෙසේ ගමන් කිරීමේ ඉරියව්ව තුළ සිහිය පිහිටුවාගෙන ගමන් කිරීමේ පුහුණුව ආරම්භ කළොත් ඔබට භාවනාවෙන් බොහෝ ඉදිරියට ගිය කෙනෙක් බවට පත්වෙන්නට පුළුවනි. එමෙන්ම භාවනාවේ ප්‍රතිඵල ලබන්නට සුදුසු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නට පුළුවනි.

භාවනාවට සූදානම් වන සෑම කෙනකුට ම පොදුවේ ඇතිවන ගැටලුවක් තිබෙනවා. ඒ භාවනාව සඳහා වාඩි වී ඉන්න බැහැ. කොන්ද රිදෙනවා. ශරීරයට හරි අපහසුයි. මෙවැනි අයට භාවනාව සඳහා ඉතාම හොඳ ක්‍රමය නම් “ගමන් කරනවිට ගමන් කරනවා යැයි” සිහිය පිහිටුවා ගන්නා වූ ඉරියාපථ භාවනාවේ පළමු භාවනා කාණ්ඩය අනුගමනය කිරීමයි.

මෙහි දී සිහිය පිහිටුවා ගත යුත්තේ ගමන් කරන අවස්ථාවේ දී මුළු කය කෙරෙහිම, ගමන් කිරීමේ ඉරියව්ව කෙරෙහි ය. මෙසේ ඒ බව හොඳින් අවබෝධ කර ගත යුතුයි. ගමන් කරන ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටුවිය යුතුයි. මෙය පහසු කාර්යයක් නොවේ. එබැවින් පුරාණ කර්මස්ථානාචාර්යයන්, වහන්සේගේ අනුශාසනා අපට වැදගත් වන්නේ, සමථ වශයෙන් අප පුහුණු කරන බුදුගුණ භාවනාව ධම්මානුස්සති භාවනාව, සීලානුස්සති භාවනාව, ධම්මානුපස්සනා භාවනාව, මෛත්‍රී භාවනාව ආදී වශයෙන් කුමන භාවනාවක් වඩන්නකුට වුව ද, එම භාවනාව දියුණු කර ගැනීම සඳහාත් ඒ භාවනාවේ ආධ්‍යාත්මික දියුණුව නොපිරිහී පවත්වා ගෙන යෑම සඳහාත්, ඉරියාපථ භාවනාව මහෝපකාරි වේ.

ඊළඟ පියවර නම් සිටගෙන සිටීමේ ඉරියව්වයි. ඒ ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටුවන විට හිසේ සිට පාදාන්තය දක්වා ම සිහියෙන් ම දැන ගත යුතුයි. යම් තැනක දී සිටගන්නා විට ම “ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති” මම දැන් සිටගෙන ඉන්නවා යැයි සිහිය පිහිටුවිය යුතු ය. මේ ආකාරයෙන් සිහිය පිහිටුවීම තුළින් කාලයත් සමඟ ඔහුට හෝ ඇයට සිතේ බලවත් එකඟතාවක් හට ගනු ලබයි. මෙම භාවනා ක්‍රමය සුළුකොට තැකිය යුතු නොවන අතර, නිවැරැදිව පුහුණුූ කරන්නේ නම් එය ඒකායන නිවන් මඟට හේතුවන විදර්ශනා භාවනාවකි.

ඔබ නිදහසේ යම් තැනක වාඩි වී සිටිනවා ද? එය පරියංකයෙන් වාඩිවීම අත්‍යවශ්‍ය නැහැ. පුටුවක, ගලක් උඩ, දුම්රියක, බස් රථයක හෝ වෙනයම් තැනක හෝ විය හැකියි. අවශ්‍ය වන්නේ “නිසින්නෝ වා නිසින්නෝම්හීති පජානාති” ඉඳගෙන ඉන්නවිට ඉඳගෙන ඉන්නවා යන ඉරියව්වට සිහිය පිහිටුවීමයි.

ඒ වගේ ම නිදා ගැනීමේ ඉරියව්වේ දී ද ඉරියාපථ භාවනා ක්‍රමය අනුගමනය කළ හැකියි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ, භාවනා යෝගියෙක්, භික්ෂුවක් සයනය කිරීමේ දී සිංහසෙය්‍යාව අනුගමනය කළ යුතු බවයි. මෙසේ දකුණු ඇලයට හැරී සයනය කරන විට හිසේ සිට පාදාන්තය දක්වාම මෙම සැතපීමේ ඉරියව්ව සිහියෙන් දැක බලවත්ව සිහිය පිහිටුවා ගත යුතුයි. මේ ඉරියාපථ භාවනා ක්‍රමය තුළිනුත් කාලයත් සමඟ සිතේ බලවත් එකඟතාවක් හට ගනු ලබයි.

මෙසේ කායානුපස්සනා, භාවනාවන් පුරුදු පුහුණූ කිරීමේ දී එහි මූලික ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. එනම් කායානුපස්සනාවට අයත් මේ ඉරියාපථ භාවනාවට අවශ්‍ය වන්නේ “කෙලෙස් තවන වීර්යයෙන් යුතු බලවත් නුවණින් යුතු, බලවත් සිහිය (සතිමා) ඇලීම හා ගැටීම දුරු කරමින් පැවැත්විය යුත්තේ ය.”

මේ ඉරියාපථ භාවනාව නිවසේ දී හොඳින් පුහුණු කළ හැකි භාවනා ක්‍රමයක් මෙසේ නිවැරැදි පිළිවෙලින් යුක්තව පුරුදු – පුහුණු කරන විට කාලයත් සමඟ ඔබට ම වැටහේවි. පුදුමාකාර සංසිඳීමක්, සංයමයක් ජීවිතයට ලැබෙන බවයි. එය ජීවිතයට ලැබෙන මහඟු සැනසීමක් බව තමන්ට ආධ්‍යාත්මිකව සුවයක් අත්විඳිනවා ය කියන සතුට දැනෙන්නට පටන් ගන්නවා.

ඉරියාපථ භාවනාවේ දී ඉරියව් කෙරෙහි සිහිය පිහිටුවන විට වාඩි වී කරන භාවනාවක් වුව ද හොඳින් සිදු කළ හැකියි. මෙසේ කොයි භාවනාවකින් වූවත් ඒ ආධ්‍යාත්මික දියුණුව ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා මේ ඉරියාපථ භාවනාව මහෝපකාරි වෙනවා. උතුම් ඒකායන නිවන් මඟ වන සතිපට්ඨාන ධර්මය පුරුදු පුහුණූු කර ජීවිතයේ උතුම් ආධ්‍යාත්මික සුවපත් භාවයට පමුණුවා ගන්නට ඔබත් උත්සාහ කරන්නේ නම් ඉතා අගනේ ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]