බක් පුර පසළොස්වක 2023-04-05
සැබෑ දිනුම
උතුම් බක් පුන් පෝ දිනය අද යි. බක් මාසයේ සිදු වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ
දෙවැනි ලංකා ගමනය හා සබැඳි ශ්‍රේෂ්ඨතම සිදුවීමක් ගැන සාකච්ඡාවට බඳුන්වන දිනය යි.
තෘෂ්ණාව නිසා ඇති වූ ක්‍රෝධයේ කෝපයේ ගිනි දැල්වලින් දැවි දැවී මහා යුද්ධයකට සූදානම්
වූ චූලෝදර මහෝදර නා රජවරුන් අතර ඇති වූ ගැටුම සමනය කොට ඔවුන්ට ශ්‍රී සද්ධර්මාවබෝධය
ලබා දීම එම සම්බුද්ධ චාරිකාවේ අරමුණ විය.
දිවා රෑ නොබලා ජීවිතයේ ලෞකික සැප පසුපසම හඹා යන, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලා
වී සිටින සමාජය මේ මහාර්ඝ සිදුවීම සිහිපත් කරමින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට
වෙහෙසිය යුතු වන්නේ අඳුරු පටලයකින් වෙළී පවතින ජීවිතයට ආලෝකය උදාකර ගැනීම සඳහා ය.
ශ්‍රී සද්ධර්මය සෑම කල්හි ම නො පවතී. අබුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබුව ද දහම්
පදයක් හෝ අසන්නට අපට අවස්ථාව ලැබෙන්නේ නැත. බුද්ධෝත්පාද කාලයක, උසස් මනසක් සහිතව
උපත ලබන්නට අපි වාසනාවන්ත වී සිටිමු. බෞද්ධ රටක, බෞද්ධයන් ලෙස උපදින්නට ද
භාග්‍යවන්ත වී සිටිමු. මැණික් ගලේ පය හැපුණත් කණාට එහි වටිනාකමක් නො දැනෙන්නා සේ
ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වුණත්, ඒ දහම ජීවිතයට බද්ධ කර ගන්නට නොහැකි ලෙස
අන්ධ වූවෝ, නමට පමණක් බෞද්ධකම උරුම කර ගත්තෝ මේ සමාජයේ අපමණ වෙසෙති.
ධම්මං විනා නත්ථි පිතාච මාතා
ධර්මය හා සමාන මව් කෙනෙක් නැත. ධර්මය හා සමාන පිය කෙනෙක් ද නැත. මවුපියන් දරුවන්ට
මොනතරම් සෙනෙහෙබර වුවද ඔවුන්ගේ රැකවරණය මෙලොවට පමණි. පරලොව ගිය කල නොලැබේ. එහෙත්
ධර්මයේ පිහිට, ආරක්ෂාව සංසාර ගමනට ම ය. එහෙයින් බුද්ධෝත්පාද කාලයේ මේ ජීවිතයට
වටිනාකමක් දෙන්නට, දෙලොවම රැකවරණය සලසා ගන්නට 'සුනාථ ධාරෙථ චරාථ ධම්මේ' මැනවින්
ධර්මය ශ්‍රවණය කළ යුතුව ඇත. ඇසූ දහම මනාව ග්‍රහණය කරගත යුතුව ඇත. ග්‍රහණය කරගත් දහම
දැනුමට සීමා නොකොට ජීවිතයට පුරුදු පුහුණු කළ යුතුව ඇත.
බොහෝ දෙනෙක් ජීවිතය දිනුවා යැයි සිතන්නේ අඹුදරුවන්, දැසි දස්සන්, ධන ධාන්‍ය පිරිවරා
ගැනීමට ය. නිලතල ලැබීමට ය. ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් කර ගනිමින් කෝපය,
ක්‍රෝධය වැඩිදියුණුකර ගනිමින් ගැටුම් ඇති කර ගන්නේ ඒ සම්පත් තව තවත් තර කර ගන්නට ය.
එවැනි තත්ත්වයක් දහම හා කෙසේ නම් එකඟ වන්න ද? එවැන්නෝ අද සේ ම බුද්ධ කාලයේ ද වූහ.
ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයේ ධනිය සූත්‍රයේ එන ධනිය ගෝපාලගේ චරිතය සෑම බෞද්ධයකුම
කියවිය යුතු ය. ධනිය ගෝපාල ධනවතෙකි. වස්සාන සමයේ මහී ගං තෙර උස්බිමක අලංකාර නිවෙසක
තනා ගත් ඔහු ඒ නිවස තුළට වී සතුටු වන්නේ මහා මේඝ ගර්ජනාවන්ට ආමන්ත්‍රණය කරමිනි.
'පිසින ලද බත් ඇත. දොවාගත් කිරි ද ඇත. අඹු දරුවන් පිරිවරා සිටිමි. මහ ගං තෙර මගේ
නිවහන හොඳින් සෙවිළිකර ඇත. මහා මේඝය, කැමැති නම් වසින්න' යනුවෙනි.
මේ සිතිවිලි නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ධනිය ගෝපාලට ඇසෙන සේ දේශනා කොට වදාළේ
“මම ක්‍රෝධය, කෝපය දුරුකර සිටිමි. කෙලෙස් නැමැති මුල් උදුරා දැමුවෙමි. මගේ කුටිය
විවෘත යි.
ඔබ කැමැති නම් වසින්න” යනුවෙනි.
මේ සම්බුදු වදන් නුවණින් විමසනවා නම් ජීවිතයේ සැබෑව දකින්නට අපහසු වන්නේ නැත.
ආශාවන් පසුපස දුවමින් කෝපයේ ක්‍රෝධයේ ගිනි දැල්වලින් වෙළී අනුන් හා ගැටෙනවා වෙනුවට
නො ගැටීමේ, නො ඇලීමේ සුවය සදාකාලික බව වටහා ගැන්ම අපහසු වන්නේ නැත. මේ පෝ දා ඒ
උතුම් අරමුණට එන්නට අදිටන් කර ගනිමු. |