[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

උතුම් පුරුෂාර්ථයන්ගෙන් විසිතුරුවන භාග්‍යවන්ත මාසයේ සූර්ය මංගල්ලය

රක්ත වර්ණ එරබදු මල් විකසිතවැ, කෝකිල කූජනයේ චමත්කාරයෙන් පරිසරය එළිවෙන භාග්‍යවත් මාසය බක් මාසයයි. සිරිලක් සමාජයට බුදු දහමේ ආලෝකය – බුදුන් වහන්සේ සිරිලක් ධරණී තලයට දායාද කළ හර පද්ධතිය හා මුසුවී හෙළ සිරිත් විරිත් වඩාත් ඔපවත් විය. මිස්සක පව්වෙන් දේශය සිසාරා ගලා ගිය ආමාදම් මාරුතය හෙළ බොදු දිවි පෙවෙත හැඩ කළේ ය. සරල, චාම් වුව සුන්දර ජීවන රටාව, සෞභාග්‍ය සම්පන්න – සිරිදෙව් දුව දිවැස් හෙළන, කොයි කාටත් සැනසිල්ල දානය කරන අපේ ඇත්තන්ගේ ඇවැතුම් පැවැතුම් ක්‍රමය – කල්ක්‍රියාව ලොව කාගේත් නෙත සිත යොමු වීමට හේතුවිය. මිස්සකපව්ව අබියස දී එදා දේවානම් පියතිස්ස මහ නිරිඳු ප්‍රමුඛ හතළිස් පන්දාහක ජනයා මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන් වූහ. පන්සිල් මත පදනම් වූ ජීවන ධාරාවකින් එදා අපේ ඇත්තෝ මෙලොව එලොව සුබසෙත උදාකර ගත්හ. කෙතින් බඩ වියත ද, දාගැබින් ආධ්‍යාත්මික දියුණුව ද ඔවුහු ළඟා කර ගත්හ. සිංහල හින්දු අලුත් අවුරුද්ද – සූර්ය මංගල්‍යය සිරිලක් සමාජයේ හැඩරුව මනාව පිළිබිඹු කරන අපේ සමාජ ක්‍රමයේ උත්කර්ෂවත්ම මංගල්‍යයයි. සොබා දහම හා මොනවට ඒකාත්මික වූ ලක්වැසි ජනතාව සොබාදම් මෑණියන්ගේ ආශීර්වාදය නොමඳව ලබන්නට භාග්‍යයවන්ත වූහ. බක් මස ඒ බැව් මැනවින් තහවුරු කරන මාසයයි. භාග්‍යය කැන්දු මාසය වූ නිසාම එය බක් මාසයයි. තුරුලිය පැහැයෙන්, පලඵල්ලවයන්ගෙන්, සියොත් නදින් මෙන්ම සමඟි දමින් බැඳුණු සිවු හෙළයේ මිනිස් පවුරෙන් සූර්ය මංගල්‍යය විසිතුරු වෙයි. හෙළයන්ගේ අහිංසක දිවිපෙවෙත, ආදර්ශ සම්පන්න ගති සොබා තුළින් බුදු දහමේ හරයන් – සම්මා ආජීවය, ලක්වැසි ජීවන දර්ශනය මූර්තිමත් කරයි. වසරක් පුරා ගතේ දහඩිය මහන්සිය කුඹුරේ අස්වැන්නට කැප කළ “මඩ සෝදා ගත් කල රජකමට සුදුසු” ගොවියාගේ අභිමානය කියාපෑවේ සිරිලක් සමාජයේ ස්ව ශක්තියයි. කලට වේලාවට වැඩ කිරීමේ කලාව බක් මහ අවුරුදු චාරිත්‍රයන්හි මොනවට අරුත් ගන්වයි. ස්වභාවික හිරු සඳු ගමනේ සංසිද්ධිය මනාව ග්‍රහණය කරගත් අපේ ඇත්තෝ වෙලාවට කලාවට මොනවට ක්‍රියා කළහ. යල කන්නය, මහ කන්නයන්හි සරු අස්වැන්නකින් අටුකොටු පුරවන්නට අපේ ගොවි නෑසියන් මොනවට පේ වූහ. සිරිලක් සමාජයේ ජාතිය ජීවත් කරවීමේ යෝධ උත්කෘෂ්ට ව්‍යායාමයක අහිංසක ගොවි ජනතාව නිරත වූහ. නැකතට වැඩ කිරීමේ අවුරුදු සිරිත කියාපාන්නේ මේ යථාර්ථයයි. බුදුසිරිතෙන් දිනචර්යාවකට වැඩකිරීම අරුත් ගැන්වුණි. ඒ අනුව අපේ හෙළ සිරිතට විරිතට බුදු දහමින් පණ ලැබුණි.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]