පාපයෙහි විපාක දන්නා පුද්ගලයා
කුඩා වරදෙහි වුව ද බිය වෙයි
නොපමා වූයේ භෝග සම්පත් ලබයි. බොහෝ පිරිසක් මැදට වුව ද තේජස් ඇතිව පැමිණෙයි. සිල්වත්
හෙවත් සදාචාරවත් පුද්ගලයාගේ යසස, කීර්තිය පැතිරෙයි. සිල්වත් පුද්ගලයා නොමුලාව
කළුරිය කරයි. මරණින් පසු මනා ගති ඇති සුගතියෙහි උපතක් ලබයි.
සීලය නම් සංවර බවයි. කයින්, වචනයෙන් සංවර වීමයි. පුද්ගල කය, වචනය හික්මවා ගැනීමයි.
කය, වචනය හික්මවා ගත් කල පුද්ගල සන්තානයම දමනය වෙයි.
නිවන් මඟෙහි පළමු පියවර සීලයයි. ගෘහස්ත ජීවිත ගත කරන පෘතග්ජනයා පංචසීලය, උපෝසථ
සීලය, ආජීව අට්ඨමක සීලය වශයෙන් සීලයන්හි පිරිපුන් විය යුතු බවට අපි විශ්වාස කරමු.
එපමණක් නොවේ. ආචාර ගෝචර සම්පන්න වීම හෙවත් සිරිත් විරිත් අනුගමනය කරන්නා වූ අයෙක්
වීම ද අවශ්‍යයයි. මෙහි දී චාරිත්‍ර වාරිත්‍ර හෙවත් සිරිත් විරිත් මොනවා දැයි සේඛියා
ධර්ම නම් වූ ශික්ෂා පද සැත්තෑ පහ විමසා බැලීමෙන්, තේරුම් ගත හැකි ය. උදාහරණයක්
ලෙසින් ආහාර ගැනීමේ දී මේ ආකාරයෙන් ආචාරශීලිවීමේ අගය පෙන්වා දී ඇත.
පිටතට ශබ්දය ඇසෙන සේ තලු මරමින් ආහාර අනුභව නො කරන්නෙමි’යි හික්මිය යුතු ය. ආහාර
අනුභවයෙන් පසුව අත ලෙවකමින් ආහාර අනුභව නොකරන්නෙමි’යි හික්මිය යුතු ය. මේ ආකාරයෙන්
සිවුරු පරිහරණය, ගිහි අයෙක් නම් ඇඳුමෙන්, පැළඳුමෙන්, ගමනෙන්, බිමනින්, වැසිකිලිය,
කැසිකිළිය පරිහරණය කිරීම වශයෙන් ද සංවරය, හික්මීම, ආචාරශීලිවීම උගන්වා තිබේ.
ඒ වගේ ම කුඩා අනු කුඩා වරදෙහි පවා බිය දකින්නා වූ අයකු විය යුතු බව ය. බුදු දහමෙහි
එය පෙන්වා දෙන්නේ ‘හිරි ඔතප්’ යනුවෙනි. එනම්, වරදක් කිරීමට ඇති ලජ්ජාව සහ බියයි.
වරදක් කිරීමට ඇති ලජ්ජාව මෙන් ම බිය අවබෝධයෙන් ම ඇති කරගත යුත්තක් විය යුතු ය.
කෙනෙක් අනුන්ට රහසේ වැරැදි කිරීමට පෙළඹිය හැකි ය. අනුන් ඉදිරියේ, ප්‍රසිද්ධියේ වරද
නොකළත් ඉඩ ලද අවස්ථාවේ රහසේ වරදට යොමු විය හැකි ය.
එහෙත් පාපයට බිය පුද්ගලයා, ලජ්ජා සහගත පුද්ගලයා රහසින්වත් පව් කරන්නේ නැත. ඒ පවෙහි
බියජනක බව, අයහපත් ආදීනව දන්නා බැවිනි.
එය මෙලොවට සහ මරණින් මතු ජීවිතයට ද නරක ලෙස බලපාන බව හේ දනී. එහෙයින් තමන්, තමන්ට ම
අපවාද කර ගැනීමේ බිය ඇති කරගත යුතුය.
එනම්, අත්තානුවාද භයයි. මීළඟට අන් අය දොස් පවසාවි යැයි ඇති කර ගන්නා පරනුවාද භය,
දඬුවම් විඳින්නට සිදුවන බව දන්නා දණ්ඩ භය, මරණින් මතු නිරයක උපතක් ලබන්නට සිදුවේ
යැයි දන්නා දුග්ගති භය ඇති කර ගන්නේ නම් පවින් වැළකීම පහසු ය. මේ පිළිබඳ අපට
දැනුමක් නො තිබේ යැයි පැවසිය නොහැකි ය. එහෙත් ආධ්‍යාත්මික වශයෙන් සීලය හෙවත් සංවරය
පිළිබඳව මෙනෙහි කරන්නට සහ සිත පුරුදු කරන්නට පුරුදු නො කිරීම හේතුවෙන් “ආවේග“
ඉදිරියේ දී පෘතග්ජන පුද්ගලයා හික්මීමෙන් බැහැර වෙයි. ආවේග ලෙසින් හඳුන්වනු ලැබුයේ
ලෝභ, දෝෂ, මෝහයන් මුල්කරගෙන බලවත් ලෙස මතුවන සිතිවිලි ය.
දස අනුස්සති සීලයන් අතර, සීලානුස්සති භාවනාවෙන් පෙන්වා දෙන්නේ තම සීලය පිළිබඳ නැවත
නැවත මෙනෙහි කරමින් වරදින් වළකින්ටත් ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය, බොරුව,
මදය සහ ප්‍රමාදයට හේතුවන ලජ්ජා බිය නැතිවන රහමෙර පානයෙන් වැළකීම ආදී වශයෙන් තම
කායික සහ වාචසික සංවරය සිතට පුරුදු කිරීම ය. ඒ වගේ ම පාපයක් හෙවත් වරදක් සිදුවීමෙන්
ඇතිවන විපාකය පිළිබඳ මෙනෙහි කරමින් සීලයෙහි පිහිටීමෙන් සිදුවන යහපත් වූ අපමණ සුන්දර
විපාකය පිළිබඳවත්, එසේ නොවීමෙන් සිදුවන අපමණ කටුක ප්‍රතිවිපාක පිළිබඳවත් සිත ඔසවා
තැබිය යුතු ය.
දුස්සීලයෙක්, පව්කාරයෙක් වීම නිසා මෙලොව වශයෙන් තමාගේ ආධ්‍යාත්මයේ පටන් අත්විඳීමට
සිදුවිය හැකි භයානක විපාක නිතර සිහිපත් කළ යුතු ය.
වරදෙහි විපාක ලෙසින් සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස, පරිළාහ ආදී ලෙසින් කටුක
විපාක පිළිබඳව තම සිත අවදි කළ යුතු ය. එමෙන් ම සීලයෙහි සුන්දර විපාක පිළිබඳවද
සිතිවිලි අවදි කළ යුතු ය.
අප තථාගත බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙලෙස දේශනා කොට වදාළ සේක. නොපමා වූයේ භෝග
සම්පත් ලබයි. බොහෝ පිරිසක් මැදට වුව ද තේජස් ඇතිව පැමිණෙයි. සිල්වත් හෙවත්
සදාචාරවත් පුද්ගලයාගේ යසස, කීර්තිය පැතිරෙයි. සිල්වත් පුද්ගලයා නොමුලාව කළුරිය
කරයි. මරණින් පසු මනා ගති ඇති සුගතියෙහි උපතක් ලබයි.
මේ ආකාරයෙන් තමන්ගේ චිත්ත සන්තානය සීලයට අනුගත වන විට බාහිර පරිසරය කෙරේ ද
සැලකිලිමත් වෙයි. මංගල සූත්‍රයේ දී “අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා” දහමින්
පෝෂණය නො වූ අසත්පුරුෂ දුර්ජනයන්ගේ ඇසුරින් බැහැරවීමත්, දහමින් පෝෂණය වූ
සත්පුරුෂයන්ගේ ඇසුර පැවැත්වීමත් කළ යුතු බව දක්වා ඇත. අපවිත්‍ර දෑ එකතු වෙන්නේ
අපවිත්‍ර ගොඩටම ය. දුසිල්වත් පාපී පුද්ගලයෝ එවැනිම පිරිස් කණ්ඩායම්වලට එකතු වෙති.
එනමුත් සුවඳ සුවඳට ම එකතු වන්නා සේ සදාචාරවත්, ගුණ යහපත් සුසංයත මනුෂ්‍යයෝ එවැනි ම
අය සමඟ එකතු වෙති.
සීලයෙන් යුතු පි‍්‍රයශීලි සුපසන් මනුෂ්‍යයාගේ වචනයෙහි ද ඇත්තේ මනුෂ්‍යත්වයේ සුවඳයි.
ඔහු “ගූථභාණී” නම් වූ දුගඳ හමන වචන කතා නොකරයි. “පුප්ඵභාණී” මල් සුවඳ මෙන් සුවඳැති
වචන ද, මධුභාණී මී පැණි මෙන් මිහිරි වචන ද කතා කරයි. ඒ වගේම හැකිතාක් දුරට නිදොස්,
සභ්‍ය වචන ද, කනට සුවදායි වචන ද පි‍්‍රය බව ඇතිවන වචන ද, සිත් ඇදගන්නා වූ හදයංගම
වචන ද, බොහෝ දෙනා කැමැති වන්නා වූ යහපත් වචන ද, බොහෝ දෙනාට මනාප වචන ද කතා කළ යුතු
ය.
කුඩා,අනුකුඩා වරදෙහි පවා අවබෝධයෙන් බියක් ඇති කර ගන්නා වූ පුද්ගලයා කයෙන් සහ
වචනයෙන් හික්මීමක් ඇතිකරගත යුතු වන්නේ ය.
අවබෝධයෙන් යුතුව ම තම පැවැත්ම කෙරේ සිහිය පිහිටුවන යම් පුද්ගලයෙක් වේ ද ඔහු හෝ ඇය
ප්‍රඥාව වඩන පුද්ගලයෙක් බවට පත්වෙයි.
දීපා පෙරේරා |