ඉවසමු සැනසෙමු
දෙලොව ම ජය ගමු...
හලා/වෙන් වෑකඩ මහා විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති
බඩල්ගම සුමේධ තිස්ස හිමි
ඉවසීම උතුම් සීලය යි. ඉවසීම උතුම් තපස යි. ඉවසන්නා පරිපූර්ණයෙකි. පිරුණු මනසක්
ඇත්තාට ඉවසීම පහසු ය.
හැඬිය යුතු තැන හඬා නොවැටීමත්, නින්දා කළ යුතු තැන නින්දා නොකර සිටීමත්, දරාගත යුතු
තැන නිසි සේ දරා ගැනීමට සිත සකස් කර ගැනීමත් ඉවසන්නකු හඳුනාගත හැකි ප්‍රබලතම කාරණා
ලෙස දැක්විය හැකි ය.
බෝධිසත්ව අවධිය තුළ බෝධිසත්වයන්ගේ සය වසරක දුෂ්කර ක්‍රියා කාල පරිච්ඡේදය ඉවසීම
පිළිබඳ මනා පිළිබිඹුවකි. ඇසතු බෝ රුක මුල වැඩසිටි බෝධිසත්වයෝ මාගේ ශරීරයේ ඇස්,
හිස්, මස්, ලේ වියළී ගියත් බුදු වී මිස නො නැඟිටිමි යැයි අධිෂ්ඨාන කරන්නේ සාමාන්‍ය
පුද්ගල මානසිකත්වය ඉක්මවාලමිනි.
එවැනි ඉවසීමක් කළ හැක්කේ ද පාරමිතා පුරන ලද ශ්‍රේෂ්ඨයකුට පමණකි.
අධිෂ්ඨානය, ඉවසීම හා බද්ධ වූ මානවිය ගුණාංගයකි. ඉවසීම ඇති තැන අධිෂ්ඨානශීලී බවත්,
අධිෂ්ඨානය ඇති තැන ඉවසීමත් අනිවාර්යයෙන් ම පැවතිය යුත්තකි.
අංගුලිමාල දමනය, සුන්දරී පරිබ්‍රාජිකාවගේ ක්‍රියා කලාපය, මාගන්දියා බැමිණියගේ
කලහකාරි හැසිරීම, දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපය, වේරංජා නුවර වස් වාසය බුද්ධ
චරිතය තුළ ඉවසීම ප්‍රකට වන අවස්ථා කීපයකි.
විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පැවිද්දන් ඉවසිය යුතු බව පෙන්වා දෙන අතර, ඒ සඳහා
කරුණු කාරණා රාශියක් පෙන්වා දෙයි. බොහෝ කලක් මහණදම් පිරීමට ඉවසීම නැත්තකුට බැරි බව
වදාළහ. එසේම මහණකමට ඔරොත්තු දෙන පුද්ගලයකු වීමට ද, ඉවසීම අත්‍යවශ්‍යම කාරණාවක් බව
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
පැවිද්දන් විසින් සිත ඉවසීමට පුරුදු කළ යුතු ය. උෂ්ණය ඉවසීම පුරුදු කළ යුතු ය.
සාගිනි ඉවසීම පුරුදු කළ යුතු ය. පිපාසය ඉවසීම පුරුදු කළ යුතු ය. මැසි මදුරු පීඩා
ඉවසීම පුරුදු කළ යුතු ය. අනුන් කියන ඇණුම්පද ඉවසීම පුරුදු කළ යුතු ය. නින්දා ඉවසීම
පුරුදු කළ යුතු ය. ශාරිරික සුඛ වේදනා, දුක්ඛ වේදනා තර්ජන විවේචන උසුළු විසුළු ඉවසීම
ද පුරුදු කළ යුතු ය. මෙලෙස ඉවසීම පුරුදු පුහුණු නොවීමෙන් පැවිද්දන්ට මහණකම හැර
යන්නට වෙන බව බුදුන් වහන්සේගේ දේශනාවයි.
සත්පුරුෂයා කිසිම කලෙක නොකිපෙන බවත්, කිපුණත් පරුෂ වචන නොකියන බවත්, තරවටු නොකරන
බවත්, යමෙක් කිපිය යුතු කාරණායන්හි දී කිපෙන්නේ නැතිනම් එම තැනැත්තා ශ්‍රමණයකු බව
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙයි.
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී. අරහත් යන සතරමඟ සතර ඵලවලට පත්වීම මූලික කරගෙන ඉවසීම
ප්‍රගුණ කිරීම පැවිද්දකුගේ කාර්යභාරය වෙයි.
බුදුන් වහන්සේ හමුවට පැමිණි පුණ්ණ හිමියන් බුදුහිමියන් අමතා ස්වාමීනී, භාග්‍යවතුන්
වහන්ස, මම හුදකලාව මහණදම් පිරීමට කැමැත්තෙමි. ඒ සඳහා කෙටි අවවාදයක් කළ මැනවයි ඉල්ලා
සිටියහ. බුදුහිමියන් කෙටියෙන් අවවාද කොට මහණදම් පිරීම සඳහා කවර ජනපදයක් තෝරාගන්නේ
දැයි විමසූහ. එවිට පුණ්ණ හිමියන් පවසන්නේ සුනාපරන්තය තෝරාගත් බවයි. පුණ්ණය
සුනාපරන්තය නම් දරුණු මිනිසුන්ගෙන් ගහන ය. එහිදී බැන්නාහු නම් කුමක් කරන්නෙහි දැයි
ඇසූහ.
“ස්වාමීනි සුනාපරන්තයේ මිනිසුන් හොඳ ය. බණින නමුත් ඔවුන් මට අතින් නො ගසිතියි”
සිතමි.
“පුණ්ණය, සුනාපරන්ත වැසියන් අතින් ගසත්නම් කුමක් කරන්නේ’ද?
ස්වාමීනි, ඔවුන් මට අතින් ගසන නමුත් ගල්මුල්වලින් නො ගසතියි’ සිතමි. ‘පුණ්ණය, ඔවුන්
ගල් මුල්වලින් ගැසුවොත් එවිට කුමක් සිතන්නේ’ද?
‘ස්වාමීනී, ඔවුන් ගල්මුල්වලින් ගසතත් පොලුවලින් නො ගසතියි’ සිතමි.
‘පුණ්ණය, ඔවුන් පොලුවලින් මුගුරුවලින් පහර දුන්නොත් කුමක සිතන්නේ’ද?
‘ස්වාමීනි සුනාපරන්ත වැසියන් හොඳ ය. පොලුවලින් පහර දුන්න ද කැති පිහි ආදි ආයුධවලින්
නො කටිතියි සිතමි.
‘පුණ්ණය කැති පිහි වලින් ඔවුන් නුඹට පහර දුන්නොත් නුඹ කුමක් සිතන්නෙහි’ද?
ස්වාමීනි. සුනාපරන්ත වැසියෝ හොඳ ය. ඔවුන් මා නො මරතියි’ සිතමි.
‘පුණ්ණය. ඉදින් සුනාපරන්ත වැසියන් මරහි නම් නුඹ කුමක් සිතන්නෙහි ද?”
‘ස්වාමීනි, ශරීරයත්, ජීවිතයත් පිළිකුල් කරන ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ශරීරය ගැනත්,
ජීවිතය ගැනත්, කලකිරී තමන් මරවා ගැනීමට මිනිසුන් සොයති. ඉතින් මම එසේ නොයාම
මිනීමරුවන් ලදිමි’යි සිතමි.”
මේ සංවාදයෙන් අනතුරුව බුදුන් වහන්සේ සාධුකාර පැවැත්වූහ. පුණ්ණ හිමියන් අගය කළහ.
වර්ණනා කළහ. සුනාපරන්තයට ගොස් බවුන් වඩන ලෙස අනුදැන වදාළහ.
අසවලා මට බැන්නේ ය. මට පහර දුන්නේ ය. මා පැරදවූයේ ය, මා සතු දෙය පැහැර ගත්තේ ය
යනුවෙන් යම් අය නැවත නැවත සිතමින් වෛර බඳිද්ද ඔවුන්ගේ වෛරය නො සන්සිදේ. අසවලා මට
බැන්නේ ය. මට පහර දුන්නේ ය. මා පැරදවුයේ ය . මා සතු දෙය පැහැර ගත්තේ ය යනුවෙන් යම්
අය නැවත නැවත සිතමින් ක්‍රෝධ නොකරන්නේ ද ඔවුන්ගේ වෛරය සන්සිඳේ. ඉවසිලිවන්තයාගේ හා
ඉවසිලි නොමැත්තාගේ ස්වභාවය මෙයින් පෙන්වා දෙයි. ඉවසීම සදාතනික කාරණාවක් බවට පත්
කිරීමට ධම්මපදය තුළ උගන්වන මෙම කරුණු ප්‍රායෝගික කර ගැනීම ඉතාමත් වැදගත් වේ.
පුද්ගල ජීවිතය තුළ ඉවසීම දුරස්වීමට හේතුවන ප්‍රධාන කාරණාවන් වන්නේ රාග, ද්වේශ, මෝහ
යන ක්ලේශයන් ඉස්මතු වීමයි. කෙලෙස් බහුල තැන ඉවසීම නොමැත. කෙලෙස් නැති තැන ඉවසීම ඇත.
මොහොතකට නමුත් යටපත් කරන ක්ලේශයන් තුළ ඉවසීමක් ගොඩනැඟේ. කුසල සිතක් වර්ධනය වීම සඳහා
ද මෙය මහෝපකාරි වේ.
ඉවසීමේ ගුණධර්මය ප්‍රගුණ කරන තැනැත්තා තුළ කරුණාව හා උපාය කුසලතාව නිතැතින් ම
ගොඩනැඟේ. අන් අයගෙන් තමන්ට සිදුවන වැරැදි ඉවසිය හැක්කේ එවිට ය. අටලෝ දහමින් කම්පා
නොවීමේ හැකියාව බුදුන් වහන්සේ තුළ පැවති ලෝකෝත්තර හැකියාවකි. අප ද අටලෝ දහමට
මැදහත්ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කර ගත යුතු ය. තමාට පැමිණෙන බාධාවලින් කුපිත වී
හෝ එකට එක කීමට නොගොස් පළිගැනීමට නොගොස් තමා යහපතෙහි සිත ක්‍රියාත්මක වීම ම ඉවසීම
වේ.
පිරිසක් සමඟ කටයුතු කිරීමේ දී අන් මත පිළිගැනීම, අන් මතවලට ඇහුම්කන් දීමට සිදුවේ.
සමගි සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඉවසීම ප්‍රගුණ කළ යුතු ම ගුණධර්මයක් වේ.
ගිහියෙක් වශයෙන්, පැවිද්දෙක් වශයෙන්, මවක් වශයෙන්, පියෙක් ලෙස, දරුවකු ලෙස, සිසුවකු
ලෙස, උපාසක උපාසිකාවක් ලෙස මෙම ගුණධර්මය තුළ මනසින් ප්‍රායෝගික වීම අත්‍යවශ්‍ය
කාරණාවක් වේ.
අභ්‍යන්තරික සිතුම් පැතුම් වහා අවදි විය හැකි ය. එය පුහුදුන් මිනිසාට සාමාන්‍ය
සංසිද්ධියකි. එහිදී ඒ පිළිබඳ පළමුවර දෙවනවර, තෙවනවර සිතා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය
කාරණාවක් වන්නේ ය.
ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යන පුරාණ මත සමාජගත කිරීමට
මිනිසුන් වශයෙන් උත්සුකවීම සමාජ ශෝධනයට සේ ම පුද්ගල ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයට ද
මනා පිටුවහලක් වේ. පාරමිතාවක් ලෙස සලකා සැම කාර්යයක දී ම ඉවසීම ප්‍රගුණ කරමු. |